ඩොනල්ඩ් ද ඩොප්-Donald the DOP“උඹට මේකට කරගහන්ට පුළුවන් ද? කලංසූරිය (අමරසිරි කලංසූරිය) මිත්රරත්නගෙන් (මිත්‍රරත්න හේරත්) ඇහුවා. පියල් (පියල් බී. හේරත්) විද්‍යොදයේ හිටියේ. අය්යා කැමතිය කියලා පතීට කියන්න කිව්වා. ඩොනල්ඩ් (ඩොනල්ඩ් කරුණාරත්න) කේමේ (ප්‍රේමසිරි කේමදාස) මුණ ගැහුණා. තෙන්නේ (දයා තෙන්නකෝන්) සරච්චන්ද්‍ර (සරච්චන්ද්‍ර සමරක්කොඩි) විජේ (විජය කුමාරතුංග) සිරිල් (සිරිල් වික්‍රමගේ) බෝ (වික්‍රම බෝගොඩ) හා සෝමේ (සෝමසිරි දෙහිපිටිය) යාළුවො කව්රුත් එකතු කරගන්න ඕන. හොඳ වැඩක් දෙන්න. පියසේන (පියසේන අහංගම) මූලික වුණා. හැම දෙයක් ම සොයා බලලා වැඩේ වෙන විදියට ලැහැස්ති කළා. අහස් ගව්ව හැදුණා”
අහස් ගව්ව සමරු කලාපයේ තියෙන්නේ එහෙම.හදවත ලොකු – සාක්කු හිස් ඒ පිරිස අපේ ඇදුරු මිතුරු උදාර මිනිස්සු වූහ. කඳුලත් සුසුමත් හැදින් ගලන තුරු එකට ම සිටි ඒ පිය මිතුරු සමාගමෙන් බොහෝ අය දැන් නික්ම ගොසිනි. විශිෂ්ට සිනමා කැමරා අධ්යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න ද දැන් ඒ අතර ය. පතී සර්ගේ නිත්‍ය කැමරාකරුවා බඳු වූ ඩොනල්ඩ් ගැන මේ දින දෙකේ බෙහෙවින් ලියැවිණි. ඒවා අසන්නට දැන් ඔහු නැත. මේ ශිල්පියා එකිනෙකට වෙනස් සිනමා කවීන් රැසක් සමග වැඩ කර ඇත. හුස්ම බෙදාගෙන ඇත. ඒ , අමාරු දෙයකි. මේ කුඩා සටහන ලෙස්ටර් පීරිස් සමග වැඩ කළ ඩොනල්ඩ් ගැන ය.
සිනමාව මතු නොව අන්‍ය බොහෝ ක්ෂේත්රවල ද තිරයෙන් පිටුපස කාර්මික දෙපාර්තමේන්තු ගැන ලියැවී ඇත්තේ මඳ වශයෙනි. කැමරාව, ආලෝකකරණය, අංගරචනය, කලා අධ්‍යක්ෂණය, විශේෂ ප්‍රයෝග හෝ වර්ණ-ශබ්ද-ෆොලි ඇතුළු අවසන් නිර්මාණයේ බලගතු සම්මාදන්කරුවන් බොහෝ දෙනා ගැන කවුරු දනිත් ද? මෙය වරදක් තරමට බරපතළ කරුණකි. එහි දී ජීවන්ත දයානන්ද සහ ප්‍රසන්න පරණවිදාන මිතුරන් සංස්කරණය කළ “ඩොනල්ඩ්: අසිරිමත් සිනමා රූපාවලිය “ කෘතිය වැදගත් ය. ජීවන්ත දයානන්ද සහෘදයා මෙවැනි අනගි වැඩ කිහිපයක් කර ඇත. එය ඩොනල්ඩ් නම් ඩොප් ගැන ලියැවුණු ලිපි එකතුවකි. මා තෝරා ගත්තේ “අහසින් පොළොවට-1978” ගැන ලිවීම ය. මගේ ලිපියේ මාතෘකාව වූයේ, “සිතිවිලි කියවීමේ යතුරක් බඳු අහසින් පොලොවටහි රූප රිද්මය” යන්න යි. සුමිත්ත අමරසිංහ, විලී බ්ලේක්, ඩී. බී. නිහාල්සිංහ, සුමින්ද වීරසිංහ, ඇන්දෘ ජයමාන්න, ඇම්.එස්. ආනන්දන්, එම්. ඩී. මහින්දපාල, ජයනාත් ගුණවර්ධන, පාලිත පෙරේරා, චන්න දේශප්‍රිය, රුවන් කොස්තාගේ සිට ධනුෂ්ක ගුණතිලකගේ අලුත් පරපුර තෙක් අපමණ ගෞරවයෙන් සිහි කළ යුතු සිනමා ප්රභාලේඛනයේ පිකාසෝලා ගැන සුදුස්සෝ ලියත්වා.
ඇන්දෘ ජයමාන්නගෙන් සිග්නීස් සිනමා පාඨමාලාව කළ අපට කැමරාකරණයේ අයම විතර කියා දීමට එතුමා ගත් වෑයම ද සිහි වේ. මගේ ලිපියේ කොටසක් මෙපරිදි ය.
“සමස්ත චිත්‍රපටය පුරා ම සුදු රජයන වර්ණය වී ඇත. කළු-සුදු සිනමාවක සුදු වර්ණය භාෂාවක් සේ පුළුල් අර්ථ රැගෙන එන විට කැමරාවට ලැබෙන අභියෝගය අමුතුවෙන් කිව යුතු නැත. නැන්දනිය (රුක්මණී දේවී) මිදුලේ තැබූ තොටිල්ලක දරුවා නළවයි. සුදු පැහැ මල් පොකුරු අතරින් දර්ශනය පෙනෙන ලෙස රාමු සංරචනය (Composition of the Frame) නිම කර ඇත. සුදු කේන්ද්‍රීය වර්ණය වුව ද කළු පාට හිටි ගමන් රාමුව තුළ කඩා වැටෙයි. කිසියම් සංවාද ඛණ්ඩයක් , සන්ධිස්ථානයක් නිශ්චල ව ස්ථාපිත කරන රාමුව; එසේ කළ අවධාරණය අවසන් වන විට ධාවනය වීම ඇරඹේ. කළුගල් බිත්ති, ජනෙල් ලීස්තර රාමු, දිගු බරාඳ, එළිමහන හෝ පරිසරය හසු කර ගනියි. ඇතැම් විට අවධාරණයෙන් පසු අතීතාවර්ජනවලට පිවිසීම ද මෙසේ ම ය. මේ ඇතැම් චර්යා කරුණාරත්නගේ ම නිශ්චය කිරීම් බවට අනුමාන කරමි. එහෙත් ලෙස්ටර්ගේ සාකල්‍ය ශෛලීය ද මීට අසන්න ය. මල් පෝච්චි, සුදු බිත්ති, සුදු දොර රෙදි හරහා යන කැමරාව රාමුවේ අන්තර්ගතයට ගැලපෙන ඉඟි බිඟි, අතිරේක විස්තර, හෝ මෙවලම් සහිත බොහෝ දර්ශන ඉතා දැනුම්වත් ව කළ පූර්ව සැලසුම් අනුව ම කළ බව පෙනී යයි. සරත් විනීතාගේ නිවසට පැමිණි මුල් දිනය එබන්දකි.
සරත් ඉස්තෝප්පුවේ සිටියි. විනීතා මිදුලට පැමිණ කල්පනා කර වත්ත පහලට යයි. දැන් ඇය ව බීරළු අතරින් පෙනෙයි. සරත් දිගට ම අසුන් ගෙන පොත බලයි. සරත්ගේ මුහුණ ප්රමුඛ ලෙස රාමුවට ගෙන ක්ෂේත්‍ර ගැඹුර තුළ, විනීතා ඈත මල් කඩයි. Deep Focusing ක්‍රමය තුළ Gregg Tolland නම් කැමරා අධ්යක්ෂවරයා Citizen Kane හි කළ පුරෝගාමී රූපරාමු ඇතැම් විට අපට සිහි වේ. විනීතා මල් කඩාගෙන කන්ද නැග සරත් සිටින තැනට පැමිණේ. මේ සියල්ල අඛණ්ඩ ව දිගු අනාවරණයක් Long Take ලෙස සිදු වන විට කරුණාරත්නගේ පෙර පුහුණු සහිත නිපුනතාව මනා ව සාක්ෂාත් වේ”.
ඩොනල්ඩ් කරුණාරත්න මතකය දිනේවා.
සටහන – Hiniduma Sunil Senevi