වෙන් වී ගියත් ලෝ නියාවෙන්, ආකාස තලයේ ඔවුහු සරන්නෝ දෙවි දේවතාවුන් විලාසෙන්

සිංහල සිනමාවේ කිවිඳිය දිවි සිනමාවෙන් නික්ම යන්නීය ………………………

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් ගෞරවාදරයට පත්වන ශ්‍රී ලාංකේය සිනමාවේ ජේෂ්ඨතම සිනමා නිර්මාණවේදිනිය වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය අද දින සිය ජීවන ගීතය ලියා අවසන් කළ අතර අභාවප්‍රාප්ත වන විට ඇය 87 වැනි වියෙහි පසුවීය.

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ දිවි සෙවණැල්ල වෙමින් ඇය මහා යුග පුරුෂයෙකුට බිරිඳක වීමේ භාග්‍ය ලද්දීය. “Mrs. Peiris” ලෙසින් අප සෙනෙහසින් ඔබ අමතන අතර ඔබේ ළෙන්ගතුභාවය සහ නිහතමානීත්වය අතිශය වටිනේය. සුමිත්‍රා පීරිස් සිනමා භාවිතාව තුළ “ගැහැණු ළමයි” චිත්‍රපටය මගේ සිත සොරාගත් චිත්‍රපටයකි. එතුමියගේ මෙහෙයවීමෙන් එම චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව රංගනය කළ වසන්ති චතුරාණි මගේ සිත පැහැරගත්තාය. එතරම් ඒ චිත්‍රපටය වෙත මම ආශක්ත වීමි.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ “සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලබන ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් “ගම්පෙරළිය”, “දෙලොවක් අතර”, “රන්සළු”, “අක්කර පහ”, “ගොළු හදවත” සහ “බක්මහ දීගේ” වැනි චිත්‍රපට ඔස්සේ සිනමාවේ නම් දැරුවාය. “ගැහැණු ළමයි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේදිනියක ලෙස ක්ෂේත්‍රයට එක්වන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා” (1984), “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි සම්මානනීය නිර්මාණවලියකින් සිනමා අඹර සැරසුවාය. “ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලි නිර්මාණවේදිනියක ලෙසින් ද ක්ෂේත්‍රයට එක්වන ඇය සිය සැමියා වන ලෙස්ටර් සූරීන් සමගින් “ගොළු හදවත” ටෙලිනාට්‍ය සම අධ්‍යක්ෂණය කළෝය. සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙසින් ජනාධිපති, සිග්නීස් සහ විචාරක සම්මානයන්ගෙන් පිදුම් ලද ඇය 1978 වසරේ ලන්ඩන් සිනමා උළෙලේ කැපීපෙනෙන සිනමාපටය උදෙසා “ගැහැණු ළමයි” වෙනුවෙන් සිනමා ඩිප්ලෝමාව දිනා ගත්තාය. ඉන්පසු එම වසරේ එම චිත්‍රපටය වෙනුවෙන්ම කාතේජ් අන්තර්ජාතික සම්මාන උළෙලේ ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් දිනූ ඇය, “ගඟ අද්දර” චිත්‍රපටය වෙනුවෙන් ටෝකියෝ දකුණු ආසියානු සිනමා උළෙලේ ඩිප්ලෝමාවද, “යහලු යෙහෙළි” චිත්‍රපටය වෙනුවෙන් ලොස් ඇන්ජලීස් ෆිල්මෙක්ස් චිත්‍රපට උළෙලේ ඩිප්ලෝමාව සහ මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ ඩිප්ලෝමාව දිනා ගත්තාය.

තවද “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්ඳා” චිත්‍රපටය වෙනුවෙන් යළිත් ටෝකියෝ ජාත්‍යන්තර සම්මාන උළෙලේ ඩිප්ලෝමාවකින් පිදුම් ලත් ඇය නැන්ටෙස් ජාත්‍යන්තර සිනමා උළෙලේ “ලොකු දුව” චිත්‍රපටය වෙනුවෙන් ද ඩිප්ලෝමාවක් දිනුවාය. අද සිනමාවට ආශිර්වාදයක් බඳු සුමිත්‍රාවන්,ආධුනික සිනමාකරුවන්ට පවා නිර්ලෝභීව ආශිර්වාදය කරමින් මගපෙන්වා දෙන්නට තරම් උතුම් කලාකාරිණියකි.

ඉකුත් වසරේ ගෞරව ආචාර්ය උපාධියකින් ද ඇගේ මෙහෙවර පිදුම් ලත් අතර ඒ ආසන්න කාලයේ දීම අයිරාංගනී සේරසිංහයන් වෙනුවෙන් පැවැත්වුණු ‘ජීවිතයට ඉඩ දෙන්න’ වැඩසටහනට මා ඇය සමග සහභාගී වූ අවස්ථාවේ සහ ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණු අවස්ථාවේ ද මා ඇය හමුවෙමින් ඇගේ නවතම ඡායාරූප රැසක් ගත්තෙමි.

#සටහන උපුටාගැනීම දයාන් විතාරණ facebook ගිණුමෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *