ටෙනිසන් කුරේ කියන්නෙ මට පීචං විහිලුකාරයෙක් නෙමෙයි. මං ආසම විහිලුකාරයෙක්. මූන පුරා රැවුල වවාගෙන එක්ස්ප්‍රෙෂන් දෙන්න බෑ කිව්වට ටෙනී රැවුල කැපුවෙ නෑ. සම්මත වේදිකාවෙ කොටු අටේ තියරිවල හැටියට ටෙනී නාට්‍ය කලේ නෑ. හඬ පාලනය ගැන මාරාන්තික වර්ක්ෂොප් කරනවා වෙනුවට ටෙනී එෆ්එම් මයික් පාවිච්චි කළා. හැම ආර්ට් න්‍යායක්ම විහිලුවට ගත්ත ටෙනීගෙ විහිලුවලට හිනාවෙන්න මිනිස්සු පිරිලා හිටියා. මං අතනෑරම ටෙනීගෙ වේදිකා නාට්‍ය බලන්න පෝලිමේ හිටියා.
”මාළු අස්වැන්න වැඩි කරන්නෙද? ඒක කරන්නෙ මෙහෙමයි. ඔය බුද්දිමත් බට්ටෙක්ව ඉස්සෙල්ලා තෝරගන්නවා. ඊට පස්සෙ ඒ බට්ටව දැනුවත් කරනවා මේ ආර්තිකේ ගැන. ඔන්න එතකොට මේ බට්ටා අනිත් මෝඩ බට්ටන්ව දැනුවත් කරනවා. ඒ බට්ටා අනිත් බට්ටව. ඒ බට්ටා අනිත් බට්ටව. ඔන්න ඔහොම ඊට පස්සෙ බට්ටො රංචු පිටින් වේලි උඩින් පැන පැන මාළු දැල්වලට එකතු වෙනවා..”
ටෙනී මේ විහිලු කරන්නෙ බන්දු වගේ ඇඟ අඹර අඹර නෙමෙයි. එයාගෙ තියෙන්නෙ ගොඩක් ඩයලොග් කොමඩි. ඒ ඩයලොග් කිසිම තාර්කිකබවක් නැතුව ඒත් අදහසක් ඇතුව පෙලගැහෙනවා. ඒවායෙ තියෙන අභූතරූපී බව හින්දම බඩපැලෙන්න හිනායනවා. ඒකට ටෙනීගෙ තියෙන පොඩි එකෙක් වගේ කටහඬත් උදව් වෙන්න ඇති.
මං පැල්බැඳගෙන ටෙනීගෙ රේඩියෝ කොමඩි ඇහුවා. ජුරාසික් පාර්ක් එකේ ඉඳගෙන හිටපු කොමඩිය මං තාමත් තැන තැන කියනවා. එකපාරක් ටෙනී බස්වල විතරක් නින්ද යන කෙනෙකුගෙ ප්‍රශ්නෙකට උත්තර දෙනවා.
”ඕකට විසඳුම හරිම ලේසියි. ඇඳ වෙනුවට බස් සීට් එකක් වගේ අංශක අනූවට ලෑලි දෙකක් ගහගහන්න. ඒකෙ ඉඳගන්න. කන පැලෙන්න හොඳ සිංදු ටිකක් දාගන්න. පොඞ්ඩක් රත්වෙන්න දුංගඳ ගහන්න දුංකබලකුත් යටින් තියාගන්න. කරලා බලන්න. නින්ද යයි බස් එකේ තරම්ම සැපට.”
සම්භාව්‍ය විහිලු කරන අය අතරෙ ටෙනීගෙ එලෝමෙලෝ නැති විහිලු මට මාව විහිලුවක් කළා. කිසිම රූලකට ප්‍රමිතියකට ගාල් නොවී ටෙනී තමන්ගෙ ආර්ට් එක තමන්ට ඕන විදිහට කළා. මොලේ කලම්බන දාර්ශනික විහිලුවලට වඩා නිර්දාර්ශනික ටෙනීමය විහිලු මාව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගියා.
ටෙනීගෙ විහිලු පත්තුවෙන දුර ටෙනීවත් දැනගෙන ඉන්න නැතුව ඇති. ටෙනී මැරුනත් මං හිනාවෙනවා මිසක් අඬන්නෙ නෑ.