සිංහල සිනමාවේ “හරියට ගහපු U Turn එක”

-ලක්ෂ්මන් අරංවල-

U Turn කියන මාර්ග නීතිය බොහෝම වෙලාවට භාවිතා වෙන්නෙම වැරදියට. “U Turn ගැසීම තහනම්” කියන ස්ථාන වැඩිපුරම ප්‍රසිද්ධත් U Turn ගැහිල්ලටම තමයි. මොකද ඒ තමයි තමන්ට යන්න ඕන පාරට අවතීර්ණ වෙන්නට ඇති පහසුම ක්‍රමය සහ විදිය. අනවසර U Turn ගැහිල්ලක් මහා බරපතළ වැරැද්දක් වෙන්නෙත් නෑ කියලත් වෙනම සම්ප්‍රදායක් පවතිනවනේ. හැබැයි “U Turn ගැසීම තහනම්” කියන නීතියට පිටු පෑම කියන දේ තුළ, කිසිම කෙනෙක් නොහිතන නොපතන පැතිකඩක් තිබෙන්නට පුලුවන්. සුවිශේෂී සිනමාකරුවෙක් විසින් ඒ පැතිකඩයට පුදුමාකාර අර්ථකථනයක් සපයනවා 2016 වසරේදී. පිළිවෙලින් 2017 සහ 2018 වසරවලදී මේ කතන්දරය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙනවා. දැන් 2019 දීත් මේ කතන්දරය ආපහු අපි අතරට එන්නේ සිංහල චිත්‍රපටයක් විදිහටයි. මාතෘකාව වැරදියට ගහන U Turn එකක් ගැන වුණත් මේක සිංහල සිනමාවේ “හරියටම ගහපු U Turn එකක්”.

සිංහල සිනමාවේ නවතම ප්‍රවණතාවයක් විදිහට ඇරඹි “රීමේක්” කලාව සම්බන්ධයෙන් බොහෝ අය බොහෝ මත දරණවා. නමුත් ප්‍රේක්ෂකයාට නිවැරදි රසාස්වාදය ලැබෙන ඕනෑම කලා නිර්මාණයක් රීමේක් එකක ප්‍රතිඵලයක් නම් එතන අනිවාර්යයෙන්ම හොඳ සිනමා ගුණයක් පවතිනවා. “කොපියක්” කියන සරළ හංවඩුවට වඩා සෑහෙන ගැඹුරක් ඔෆීශියල් රීමේක් එකක් තුළ පවතින බව අවබෝධ කරගන්නට නම් U Turn වගේ චිත්‍රපටයක්ම නරඹන්නට වෙනවා. U Turn සිංහල චිත්‍රපටයේ රචනය Pawan Kumar බව පැහැදිලිවම සඳහන් කොට තිබෙනවා. එනම් මේ කතන්දරය මුලින්ම කර්ණාටක සිනමාවට එහෙමත් නැතිනම් කන්නඩ සිනමාවට ගෙන ආ නිර්මාණකරුවා. තම නිර්මාණාත්මක පරිකල්පනයේ වපසරිය ඔහු විසින් ‘Lucia’ (2013) නම් Psychological thriller චිත්‍රපටයෙන් විදහා දැක්වූවා. ඉන්පසුව ඔහු විසින් Mystery thriller ෂානරය යටතේ 2016 වසරේදී U Turn නම් විශ්මිත කතන්දරය නිර්මාණය කරනවා.

මෙහි ප්‍රතිනිර්මාණයක් 2017 දී ‘Careful’ නමින් මලයාලම් සිනමාවට නැඟෙන්නේ V. K. Prakash විසින්. ඉන්පසුව යලි Pawan Kumar විසින්ම දමිළ සහ තෙළිඟු බසින් මේ කතන්දරය ප්‍රතිනිර්මාණය කරනවා U Turn නමින්ම 2018 වසරේදී. 2019 වසරේදී සිංහලට නැගෙන්නේ Pawan Kumar විසින්ම රචනා කර, අධ්‍යක්ෂනය කර සහ නිෂ්පාදනය කළ U Turn කතන්දරයමයි. ප්‍රවීන කැමරා ශිල්පියෙක් ලෙසින් නම් දැරූ චන්න දේශප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් තම මංගල සිනමා ප්‍රවේශය ලබා ගන්නෙත් මේ හරහා. සාමාන්‍යයෙන් කාලාන්තරයක් තිස්සේම කැමරාව හැසිරවූ අයෙකු සතු සිනමා භාවිතාවේ පරිචය අනිවාර්යයෙන්ම සෑහෙන විශාල සහ ගුණාත්මක එකක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ එය සාක්ෂාත් කරවන හොඳම අවස්ථාවක්. කොටින්ම ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ මෙතෙක් නිපැයුනු විශිෂ්ටතම රීමේක් එක හැදෙන්නෙ ඔහු අතින්.

U Turn කියන්නෙ අද්භූත කතන්දරයක්. ප්‍රථම වරට නරඹන අයෙක්ව උපරිම සංත්‍රාසයට පත්කරවන්නට සමත් වන කුතුහලයකින් සපිරි චිත්‍රපට අත්දැකීමක්. හැබැයි මේ කතන්දරය ඔබ මුලින් නරඹා විශ්මයට පත් වූ පසුව, නැවත වතාවක් නැරඹීම තුළ, මුලින්ම ලැබූ අනපේක්ෂිත විශ්මය එපරිද්දෙන්ම නොලැබෙනු ඇතැයි සිතෙන්නට හැකියි. කතන්දරයේ ඉදිරිය කුමන ආකාරයකින් යුක්ත වේදැයි අනුමාන කරන්නට අපහසු මට්ටමේ අද්භූත බවකින් සමන්විත වෙයි නම් ඉන් ලැබෙන කුතුහලාත්මක වින්දනය බොහෝ විට පළමුවර නැරඹීමටම පමණක් සීමා වෙයි. නමුත් මේ අද්භූත කතන්දරය කන්නඩ සිනමාවේ සිට මලායලම්, දමිළ සහ තෙළිඟු බසට ප්‍රතිනිර්මාණය වෙනකොට, සිංහල බසිනුත් ඔරිජිනල් රසය නැවුම්ව විඳගන්නට අවස්ථාවක් ලැබීම චන්න දේශප්‍රිය විසින් තැනූ U Turn හි සාර්ථකත්වයයි. අපි දැක තිබෙන දේම, අපි දන්නා දේම පූර්ණ උද්‍යෝගයකින් සහ කුතුහලයකින් නැවත නරඹන්නට කිසිම බාධාවක් නොපවතියි.

U Turn සිංහල කතන්දරය මෙතරම් ඉහළම ගුණාත්මක බවකින් යුක්ත වන්නට බලපෑ ප්‍රධානතම කාරණාව විදිහට, සෑම චරිතයක් සඳහාම යොදාගත් නිවැරදි රංගන ශිල්පීන් ගේ දායකත්වය කියන දේ ඉස්මතු වෙනවා. ප්‍රධාන භූමිකාව වෙන්වන්නේ මේ මාරාන්තික සහ අද්භූත U Turn ‍රහස හඹා යන මාධ්‍යවේදිනියගේ චරිතයයි. ඔරිජිනල් කන්නඩ චිත්‍රපටය වෙනුවෙන් ශ්‍රද්ධා ශ්‍රීනාත් සහ දමිළ-තෙළිඟු චිත්‍රපට වෙනුවෙන් සමන්තා යන ප්‍රමුඛ පෙළේ තාරකාවන් විසිනුයි මෙම සුවිශේෂී චරිත විස්තරයට පණ පොවන්නේ.

සිංහල චිත්‍රපටයේදී තත්ත්වය වෙනස්. ප්‍රවීන රංගනයක් අවශ්‍ය කරන අවකාශයක් පිරවෙන්නේ පූර්ණ වශයෙන්ම ආධුනික ශිල්පිනියක් අතින්. මෙය අධ්‍යක්ෂකවරයා විසින් භාරගන්නා අභියෝගයක් වගේම අවදානමක්. නමුත් ප්‍රතිඵලය 100% ක් ම සාර්ථකයි. චානු දිසානායක විසින් හේමාල්, තුමිඳු, බිමල්, ගම්‍යා සහ දයාදේව එදිරිසිංහ වැනි ප්‍රවීනයින් අභියස, ඈ විසින් හසුරුවනු ලබන රංගන වින්‍යාසය විශිෂ්ටයි. චරිතයේ සොබහවය සහ හැසිරීම මනා අවබෝධයකින් යුතුව අධ්‍යයනය කර ඇති බව කැපී පෙනෙන ආකාරයේ ආකර්ශනීය ‍රංගනයක් සමඟින්, කතන්දරයේ වැඩි අවධානයක් ඈ වෙත නතු කරගන්නට ඈ සමත් වනවා.

හේමාල් ගේ රංගනය සුපුරුදු පරිදි අවශ්‍ය කරන ප්‍රමාණයෙන්ම දකින්නට හැකියි. අද්භූත U Turn රහස හඹා යන ඇයට සහයක් වීමයි ඔහුගේ පොළිස් පරීක්ෂක භූමිකාව වෙන්නේ. මෙතනදී පැහැදිලිවම ඔහු විසින් ඇය සමඟින් සිනමා තිරය හරිහරියට බෙදාහදා ගත යුතුයි. එක් අයෙක් අනිකාව අභිබවා නොයා, අද්භූත සහගත ලෙස දිගහැරෙන සිද්දි දාමය තුළ තම කාර්‍යය තිතටම සිදු කළ යුතුමයි. ඒ අනුව චානු – හේමාල් සුසංයෝගය හොඳ ආකර්ශනීයත්වයක් මවනවා. තුමිඳු ගේ රංගනය අමතර අලංකාරයක් බවට පත්වෙනවා. කතන්දරය තුළ ලැබෙන සුලු ඉඩකඩෙනුත් මහා රංගන පෞරුෂයක් විදහාපාන්නට බිමල් ජයකොඩිත් සමත් වෙනවා. නලින් ලුසේනා ඇතුලු සමස්ත සහය සහ සුලු චරිත සියල්ලකගෙන්ම උපරිම ප්‍රයෝජනය ගන්නට අධ්‍යක්ෂකවරයා සමත්ව තිබෙනවා.

ලාංකේය සිනමාවේ මෙතෙක් නිපැයුනු චිත්‍රපට හා සැසඳීමේදී තාක්ෂණික පාර්ශවයේත් කැපී පෙනෙන වෙනස්කම් රැසක් දකින්නට හැකියි. ස්ට්‍රයිනර් ඇඩම්ස් ගේ කැමරාකරණය, තිස්ස සුරේන්ද්‍රගේ සංස්‍කරණය සහ සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂනය එකකට එකක් මනාව පෑහෙන හැටි අපූරුයි. ඒ හරහා මැවෙන රූප රාමු වලට ජීවය සපයන චින්තක ජයකොඩි ගේ සංගීත සංයෝජනයත් වඩාත්ම කැපී පෙනෙන අංගයක්. ක්‍රියාදාමයන් තීව්‍රතාවයත් අනපේක්ෂිතව ප්‍රබලයි. ඉන්දීය සිනමා ක්ශේත්‍රයට නවමු රසයක් ගෙන ආ සුවිශේෂී නිර්මාණකරුවා Pawan Kumar තැනූ කතන්දරය අතිශය නිවැරදිව සිංහලට ප්‍රතිනිර්මාණය වනවිට, අනිවාර්යයෙන්ම ශක්තිමත් තළයක පැවතිය යුතු තිර රචනය වෙනුවෙන් අරුණ ජයවර්ධන සහ චන්න දේශප්‍රිය විසින් අවශ්‍ය සියලුම දේශිය අඩුම කුඩුම එක් කොට තිබූ හැටිත් අති විශිෂ්ටයි.

ආකර්ශනීය සිංහල චිත්‍රපට රටාවක් වෙනුවෙන් හැමදාමත්ම වෙනසක් සිදුකරන Maharaja Entertainments නිෂ්පාදනයක් විදිහට මේ ඔවුන්ගේ උපරිමය විදහා දැක්වූ අවස්ථාවක් විදිහටත් හඳුන්වන්නට හැකියි. U Turn යනු ඔබ අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකම විඳගත යුතු වසරේ විශිෂ්ටතම සිංහල චිත්‍රපටය බවත් අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *