මනඃකල්පිත විශ්වයක අධ්‍යාත්මික සේයාව Star Wars – The Rise of Skywalker

ලෝක සිනමා ඉතිහාසයේ ආකර්ෂණීයම මනඃකල්පිත විශ්වය තමයි Star Wars. ජනප්‍රිය වාණිජ සිනමාවේ ඔපෙරාවක් විදිහට Star Wars නිර්මාණය ඉහළින්ම අගය කෙරෙනවා.
Star Wars චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය, The Rise of Skywalker ඊයේ ලොව පුරා තිරගත වීම ආරම්භ වුණා.

අවුරුදු 42ක Skywalker ගමනේ අවසානය මෙයින් සනිටුහන් වෙනවා.
චිත්‍රපටය ගැන පස්සේ කතා කරන්නම්. බලපු අය ඒ ගැන දැන්ම මුකුත් comment කරන්නත් එපා, නොබලපු අය spoil වෙනවා.
මගේ අවධානය කාලයක ඉඳන් යොමු වුණා බෞද්ධ දර්ශනය Star Wars තුළින් ඉදිරිපත් කෙරෙන ආකාරයට.
ඒ ගැන යමක් සටහන් කරන්න හිතුණා.

Star Wars කතාව මහායාන/සෙන් බෞද්ධ දර්ශනයට සහ පෙරදිග ආසියාතික සංස්කෘතීන්ට වැඩි ප්‍රවණතාවක් දක්වනවා.
ඇඳුම් පැළඳුම් අතින් ගත්තත් Obi Wan Kenobi වගේ චරිත සහ Jedi (ජෙඩයි)වරු අඳින්නේ කිමෝනාවකට සමාන ඇඳුමක්. Darth Vader ගේ හෙල්මටය සමුරායිවරුන්ගේ හිස්වැස්මක හැඩයට ලොකු සමානකමක් දක්වනවා. ජෙඩයිවරුන්ගේ ආයුධය, lightsaber එක සමුරායි අසිපතකට සමානයි.
Star Wars ඔස්සේ ආසියාතික සංස්කෘති ආදේශ කරගන්නා බවට දෙන දෘශ්‍ය හැඩය එවැනි දේවලින් නිර්ණය කරගන්න පුළුවන්.

Star Wars කතා මාලාවේ හොඳ නරක පිල් බෙදීම දක්නට ලැබෙනවා.
ඒ පිල් බෙදීම සිදුවෙන්නේ The Force නම් විශ්වීය බලය තුළින්. චීන අධ්‍යාත්මික කරුණු වල සඳහන් වෙන Chi බලය මීට සමාන කරන්න පුළුවන්.
මේ බලය හොඳ සහ නරක (Dark Side) ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා. අධ්‍යාත්මික බලයන් දෙකට අනුව ජෙඩයි වරු සහ සිත් (Sith) වරු බෙදෙනවා.

ප්‍රධාන කතාව ගලාගෙන යද්දී ඇතිවෙන සිදුවීම්, දෙබස් අනුව මේ කාරණය තවත් තහවුරු වෙනවා.

The Last Jedi චිත්‍රපටයේ දී Luke විසින් Rey ට ගුරුහරුකම් ලබාදෙද්දී එක මොහොතක කියනවා හිත එක්තැන් කරගෙන හුස්ම ගැන විතරක් මෙනෙහි කරන්න කියලා.
භාවනා ක්‍රම අතින් ඒකාග්‍රතාවයට ප්‍රධාන වශයෙන්ම වැදගත් වන ආනාපානසතිය හොලිවුඩයෙන් නිර්මාණශීලීව ඉදිරිපත් කෙරෙනවා.

“Just breathe… what do you see?”

Rey දකිනවා ආලෝකය, අඳුර, ඉපදීම, මියැදීම. Luke කියනවා,

“This is the balance of The Force.”

ඒක හොඳ සහ නරක අතර තියෙන ඝට්ටනය නෙවෙයි, එකම කාසියක දෙපැත්ත වගේ එකට පැවතීම.
කාසියක් සම්පූර්ණ වෙන්න පැති දෙකම පවතින්න අවශ්‍යයි. එක් පැත්තක් පමණක් තිබීම ගැළපෙන්නේ නෑ.
අඳුර නැත්නම් ආලෝකයක් නෑ.
Yang නැත්නම් Ying නෑ.
සංසාරය නැත්නම් නිර්වාණයක් නෑ.
අපි සුදු චරිත නෙවෙයි. කළු චරිතත් නෙවෙයි. සුදු කළු මිශ්‍රිත අළු හදවත් සහිත චරිත.
Force එක පවතින්නත් හොඳ නරක පැති දෙකම අවශ්‍යයි. ඒ නිසයි එහි සමබරතාව ගිලිහීම විනාශයට හේතු වන ආකාරයත් එය සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම ගැනත් මතු කරන සංකල්පයක් ඔස්සේ Star Wars කතාව ගොඩනැඟෙන්නේ.

මේ කතාවේ විශේෂ චරිතයක් තමයි යෝඩා. යෝඩා කියන්නේ Star Wars කතා මාලාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වන චරිතය කිවුවොත් නිවැරදියි. Yoda තනිකරම සෙන් බුදුදහමේ කැඩපතක්. යෝඩාගේ දෙබස්, ඉගැන්වීම් සියල්ලේම සරල වැකි වලින් තියෙන්නේ බුදුදහම.

The Last Jedi චිත්‍රපටයේදී Luke යනවා original Jedi අත්පොත් විනාශ කරන අටියෙන්, බොහොම කේන්තියෙන්. මේ වන විට නපුර රජ කිරීමට හේතු වුණු Kylo Ren නිර්මාණය වුණේ තමන්ගේම වැරැද්දෙන් කියලා ඔහු හිතන නිසා. නමුත් දැන් ගන්ධබ්බ තත්ත්වයේ සිටින Yoda ඇවිත් අකුණකින් ඒ අත්පොත් විනාශ කරනවා.

සෙන් කියමනක් තියනවා;

“A painting of a rice cake does not satisfy hunger.”

ඉගැන්වීම් වලට, පාරම්පරික පොත් වලට ඕනෑවට වඩා එල්බගෙන සිටින්න එපා යන්න ශිෂ්‍යයන්ට ඒත්තු ගන්වන කියමනක්. හඳ තියෙන පැත්ත ඇඟිල්ල දික් කරලා පෙන්නුවම අපි ඇඟිල්ල දිහා බලලා හරියන්නේ නෑ.
ගෞතම බුදුන් දේශනා කරලා තියෙනවා, ගඟින් එගොඩ වීම සඳහා ඔරුවක් ලෙස ධර්මය භාවිත කරන්න, නමුත් ඔරුව කරේ තියාගෙන ගෙනියන්න එපා කියලා.
මං හිතන්නේ බහුතරය දැන් නැව් පිටින් කරේ තියාගෙනයි ඉන්නේ.

The Empire Strikes Back හිදී Yoda වටිනා ඉගැන්වීමක් Luke ට ලබාදෙනවා. වඩාත් වටින්නේ මේ ගත කරන මොහොත, වර්තමානය, පවතින යථාර්ථය.
අතීතය ගත වෙලා අවසන්.
අනාගතය තවම එළඹිලා නෑ.
ඒ අන්ත දෙකම අපි වද විය යුතු කාරණා නෙවෙයි.
මේ මොහොත කෙරෙහි අවධානය යොමු කරන්න.
Star Wars මේ යථාර්ථවාදී දර්ශනයත් සිනමාවට නඟනවා.

The Empire Strikes Back හි දී Yoda Luke ට කියන ජනප්‍රිය දෙබසක් තමයි;

“Do, or do not. There is no try”

උඩින් කියෙව්වොත් මොන විකාර කතාවක් ද කියලා හිතේවි. නමුත් මෙයින් අදහස් කරන්නේ නියැළෙන කර්තව්‍යයක් වෙනුවෙන් තමන්ගේ 100%ම යොදවන්න කියන දේ. ඒ වෙනුවෙන් සමවැදුණු මනසක් අවශ්‍යයි.
හරියට රාත්‍රියේදී නිසල වූ පොකුණක් වගේ.
නිසල වූ දිය මතින් අපිට පූර්ණ චන්ද්‍රයාගේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන්.
කැළඹුණු පොකුණු දිය මතින් අපිට පෙනෙන්නේ සුණුවිසුණු වුණු චන්ද්‍ර ප්‍රතිබිම්බයක්.
ඒ නිසයි පවතින මොහොතේ එල්බ සිටි සිහියෙන් යුක්තව ඉන්න කියන දේ Yoda උගන්වන්නේ.

Force එක යොදාගෙන අනිත් මිනිසුන්ට විධාන දෙන්නත් චින්තන රටාව වෙනස් කරන්නත් භෞතික වස්තූන් චලනය කරන්නත් යොදාගන්නා අයුරු චිත්‍රපට මාලාව පුරා දක්නට ලැබෙන දෙයක්.
නාලාගිරි දමනය ගැන, පස්වග තවුසන් මුලින් ගණන් නොගෙන හිඳ පසුව ඇප උපස්ථාන කළ ආකාරය ගැන, මානය බිඳීම උදෙසා යමා මහ පෙළහර පෑම් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් දේවල් සිනමාවේ ඉදිරිපත් වෙනවා වෙනත් හැඩයකින්, වෙන රහකින්.

The Last Jedi චිත්‍රපටයේදී Luke විසින් අවසානයේදී සිද්ධ කරන තමන්ගේ සජීවී රූපය වෙනත් ග්‍රහලෝකයක සිට ප්‍රක්ෂේපණය කර එවීම අපිට ඉතා සමීප කාරණයක්. බෞද්ධ සාහිත්‍යයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම සම්බන්ධ සිද්ධි අපි ඉතා උනන්දුවෙන් කියවා තිබෙනවා. ගෞතම බුදුන් චුල්ල පන්ථක තෙරුන්ට සුදු රෙදිකඩක් ලබාදීලා “රජො හරණං” කියමින් පිරිමදින්න යැයි උපදෙස් දෙන්නේ එම මොහොතේම දානයකට වැඩ සිටින මොහොතකයි. උන්වහන්සේ තමන්ගේ සජීවී රූපය ගව් ගණනක් ඈතින් හිටිය චුල්ල පන්ථක තෙරුන් ඉදිරියේ මැව්වා.
Luke එරමිණිය ගොතාගෙන භාවනා කරමින් තම රූපය ආලෝක වර්ෂ ගණනාවක් ඈත වෙනත් ග්‍රහලෝකයක ඉන්න Kylo Ren ඉදිරියේ මවනවා.

භෞතිකවාදීව හිතුවොත් මහ විහිළු ප්‍රබන්ධ කියලා හිතයි.
ඒත් මං පෞද්ගලිකව විශ්වාස කරනවා අපි නොදන්න ගොඩක් දේවල් අපි ඇතුළේම හිරවෙලා තියෙනවා කියලා.
හරියට අවදි කරනකං කුණ්ඩලීනිය අපි තුළ ගැබ් වෙලා තියෙනවා වගේ.
Luke ගේ භාවනා ඉරියව්වේ දර්ශනය බටහිර ලෝකය shock වුණු දර්ශනයක්. ඔවුන් කීයටවත් බලාපොරොත්තු නොවුණු දර්ශනයක්.
ඒ වගේම ඔවුන්ගේ දෑස් පාදන්න හේතු වුණු දර්ශනයක්.
අපි ඇත්තටම මනසින් වැඩ ගන්නේ අඩුවෙන්.

Star Wars වගේ භීෂණකාරී කතාවක පෙන්වන්නේ lightsabers වලින් මිනිස්සුන්ව දෙබෑ කරන එකයි, Death Star එකෙන් ග්‍රහලෝක විනාශ කරන එකයි, යානාවලින් සටන් කරන එකයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් Yoda වගේ අධ්‍යාත්මික චරිතයක්, ජෙඩයි සංකල්පය, Force එක සහ Dark Side එක මේ කතා මාලාවට එකතු වෙන්නේ අධ්‍යාත්මය පෝෂණය කිරීමේ වැදගත්කම ලෝකයට පෙන්වන්න. ජෙඩයිවරු හරියට ෂැවොලින් භික්ෂූන් වගේ. ඔවුන් සටනෙහි කෙළ පැමිණි පිරිස. නමුත් ඔවුන් සටන් ශිල්පය හදාරන්නේ අධ්‍යාත්මික අවබෝධය සහිතව. දකින දකින එකාට නෙළන්න නෙවෙයි, තමන්ගේ සහ අන් ජීවීන්ගේ සාමයට බාධාවක් වන්නන්ට පිළිතුරු දීමට.

සිත්වරු කියන්නේ ශිල්පය අවභාවිත කරන කණ්ඩායම. අයහපත් චේතනාවන්ගෙන් ගත වෙළාගත් පිරිස. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ බලය දිනාගැනීම.
බොහෝ කලකට පෙර, දුර ඈත පැවතුණු මන්දාකිණියකට මේ සිද්ධි දාමය තල්ලු කළාට මේ කතාවෙන් පෙන්වන්නේ අපේම සමාජය.

අපි බෞද්ධ කියලා ආඩම්බරයෙන් කියනවා. තුන් සූත්‍රය පාලි වචනයක් නෑර තේරුම සිංහලෙන් කියන්න පුළුවන්ද? ශ්‍රේණි විභාගයි, ධර්මාචාර්යෙයි ගොඩදාගන්න පාලි ඉගෙන ගනියි. එච්චරයි.
අවබෝධයක් නෑ.
Star Wars වගේ කතාවක දර්ශනය George Lucas විසින් බෞද්ධ දර්ශනයට අනුකූලව සකස් කිරීමට හේතුව තමයි අධ්‍යාත්මික අවබෝධය මොන තරම් වැදගත් ද යන්න නිර්මාණාත්මකව සහ ආකර්ෂණීය ලෙස ජනයාට, විශේෂයෙන්ම තරුණ පරපුරට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම. මනුස්සයෙක් ආගමික වෙනවා කියන්නේ හතර පෝයට සිල් ගන්න එක, කෙම්මුර දවස්වලට පන්සල් යන එක, පල්ලියට කෝවිලට ගිහින් කන්නලව් කරන එක නෙවෙයි. අන් අයට බාධාවක් නොවී, සතුට සහ යහපත් සිතුවිලි පමණක්ම වපුරන, අනුන්ගේ දුකේදී පිහිට වන, සියල්ලන්ටම ආදරණීය විය හැකි, සාමකාමී හදවතක් හිමි තැනැත්තෙක් නම්, ඔහු හෝ ඇය ආගමිකයි. ඔවුන්ගේ අධ්‍යාත්මය දියුණුයි. ඔවුන්ගේ ඇතුළාන්තය බලවත්. Star Wars හි ජෙඩයිවරුන්ගේ බලය හෙවත් The Force ලෙස හඳුන්වන්නේ එයයි. මුගලන් මහ රහතන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන කතා ගැන අපි විස්මයෙන් අහගෙන ඉන්නවා. ඒවායින් ඉතා සුළු ප්‍රමාණයක් Star Wars වැනි කතා හරහා අපි සිනමාරූපීව දකිනවා.

මං හිතනවා ආසියාතික අධ්‍යාත්මික දර්ශනය බටහිර ලෝකයට ගෙනියන්න අවශ්‍ය පාලමක් විදිහට George Lucas තමන්ගේ Star Wars විශ්වය යොදාගත්තා කියලා. ඒ වගේම ඒ ක්‍රමය සාර්ථක වුණා.
පූජ්‍ය පක්ෂය විසින් දේශනා කරන දෙයකට වඩා ආදරය කරන මනඃකල්පිත චරිත ඔස්සේ පණිවිඩ ගෙනයෑම ඵලදායී ක්‍රමයක්.
තරුණ පරපුරට යථාවබෝධය ලබා දිය හැකි ක්‍රමයක්.

Star Wars කියන්නේ විශ්වීය concept එකක් සරලව ජනගත කරන විස්මයජනක කතාවක්.

“May The Force Be With You!”

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *