සංසාරය දඩයම් කරනවා වෙනුවට සංසාරය වින්දනය කිරීම – ප්‍රියන්ත ජයරත්න

“ඉදින් යමෙක් මේ මහා වෘක්ෂයේ මූලයට කොටන්නේ නම් එකල්හි ඉන් ලේ ගලයි.එහෙත් ජීවත් වෙයි.ජීවී ආත්මයෙන් ව්‍යාප්ත වූයේ දියසීරාව උරා බොමින් එය ප්‍රීතියෙන් සිටී”
-ඡාන්දෝග්‍ය උපනිෂදය-

මහායානික සම්ප්‍රදායක් වන තාන්ත්‍රික විශ්වාසය වන්නේ සංසාරය ම නිර්වාණය වන බව යි. සංසාරයෙන් මිදී ලබන නිර්වාණයක් වෙනුවට සංසාරය තුළ දී ම සියල්ල විමුක්ති බද්ධව අත්විඳිය හැකිය.

තිලෝපා, නරෝපා, මර්පා සහ මිලාරෙපා වැනි තිබ්බත මහා යෝගීන් විසින් අනුගමනය කළ මාර්ගය එයයි. එය සංසාරය දඩයම් කරන මාර්ගයක් නොවන අතර සංසාරය වින්දන කලාපයක් ලෙස තේරුම් ගැනීමකි.

සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටය තේරුම් ගත යුත්තේ සංසාර විරෝධී සම්මත සභ්‍යත්ව වරනැගීම්වලින් පරරිබාහිරවය.
එය නූතන ශිෂ්ටත්ව ව්‍යාපෘතියක් සෙයින් එන පරිභෝජනවාදී සංතෘප්තිකර විමුක්තිය ප්‍රශ්නකිරීමකි. මානව ඉතිහාසයේ දැනුම් සුසමාදර්ශයන් ප්‍රශ්නකිරීමකි .ඊනියා සභ්‍යත්ව ව්‍යාපෘතිවලින් ලෝකය රැගෙනවිත් ඇත්තේ කුමන ඉසව්වකට ද.ලෝකගෝලය ම පරිසර අර්බුදයක් විසින් ගොඩනගන ලද ව්‍යසනයකට සමීප වෙමින් තිබේ.

නූතනවදී ලෝක දෘෂිටීන් මගින් සියලු මානව ලාලාසාවන් ශිෂ්ටත්ව වහන්තරාවකින් ආවරනය කොට පංති හීනමානයත් සංස්කෘතික හීනමානයත් තුළින් පරිභෝජනවාදී විලාසිතාවක් බවට පැවැත්ම ඌනනය කර තිබේ. හෙගලියානු අරුතින් ප්‍රගතිශීලී ඉතිහාසය ඇතුළත ප්‍රාග්ධන සමුච්චනය උදෙසා ගොඩනැගුනු දෘෂ්ටිවාදයක් මගින් පසමිතුරුතාවන් සගවා දමා ව්‍යාජ සදාචාරමය විමුක්තියකට මිනිසුන් පොළඹවයි. සභ්‍යත්වය සහ අසභ්‍ය බව, පින්/පව් සොබාදහමේ මල් පිපෙනවා සේ ඇතිවන්නේ නැත. ඒවා බල ව්‍යාපෘතීන්හි ප්‍රථිඵලයන් ය. ආගමික සංස්ථාව සිදුකරන්නේ මෙම බල ව්‍යාපෘතිවලට අනුව මිනිසුන් හීලෑ කිරීමකි. මාක්සියානු අරුතින් නම් මේ තුළ ඇත්තේ පන්ති උවමනාවකි. මෙම චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිතය නියෝජනය කරන්නේ එම අවශ්‍යතාවය යි.

නමුත් දඩයක්කාරයා හිටගන්නේ මේ පන්තිමය හිතමිතුරු ශිෂ්ටත්වයට ඔබ්බෙනි. එය සංසාර පෙදෙස හෙවත් වන අරණයි. සභ්‍ය -ඇසභ්‍ය, පිං /පව් වැනි සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයන්ගෙන් ඔබ්බට ගිය දඩයක්කාරයා වනාන්තර කලාපයක සැරිසරයි. වනාන්තරයට ප්‍රතිපක්ෂව ශිෂ්ටත්වයේ ගම පිහිටා තිබෙයි. එගම වැසියන් පසළොස්වක පොහොය දින උදෑසන සිල් ගෙන රාත්‍රියට වනවැදී සතුන් දඩයම් කරයි. දානය සඳහා හා පොව්වන් මුව පොව්වන් දඩයම් කරයි. දඩයක්කාරයා යනු මේ ගමේ මිනිසුන් උදේසා ජීවිතය කැප කෙරුවෙකි. සභ්‍යත්ව කුසල ක්‍රියාවන් තුළින් පුද්ගලික විමුක්තිය ප්‍රාර්ථනා නොකරන්නෙකි. දඩයක්කාරයා බෝධිචර්යාවට පිලිපන් සැටියකි.

ශාන්තිදේවයන්ගේ බෝධිචර්යාවතාරය අභ්‍යාස කරන සැටියකි. දඩයක්කාරයා සැරිසරන්නේ පවුල , පුද්ගලික දේපොළ, පංතිය, ආගම, නැති පෙදෙසකය.එය කෙලෙස් වගවළසුන් දඩය්ම් කරනා ඉසව්වයි. එසේ ම කෙලෙස් පිරි ඉසව්වක් ද වෙයි. මේ වන අරණ යනු සංසාරය යි. රති-විරති දෙකම පවතිනා ඉසව්වයි. මේ ස්ත්‍රියකට ද බුදු විය හැකි ඉසව්වකි. අසීමිත සොබාදහම තරම් වූ ස්ත්‍රී අනුරාගයට ගංගාවක් සේ ඇති තරම් ගැලිය හැකි ඉසව්වයි. ස්ත්‍රී ලිංගිකත්වය පුරුෂෝත්තම දැක්මකින් මුද්‍රා කොට අතෘප්තියට ඇදදමා හීනමාණයට ගොදුරු කොට තිබෙන අතර මේ කලාපය ඉන් ඔබ්බෙන් පවතිනා කලාපයකි.ගෝමරිය, සුරතාන්තමය සම්භෝගයේ පරමානන්දය විදිමින් මිය යන්නේ ද මේ වන අරණේ දී ම ය.

ජීවිතය යනු සොබාදහම මෙන් ගලන දෙයකි. ලොව සෑම දෙයක් ම ගලායන බව හෙරක්ලීටස් මෙන් ම බුදුන්ගේ ද ඉගැන්වීමයි. එය අනාක්ෂර සොබාදහම සේ ම ය. අක්ෂරය සීමාව සළකුණු කරයි. එමගින් ලෝකය සංස්කරණය කරයි. සංඛත ය, අක්ෂරය, කෙලෙස් සහිත ය.දඩයක්කාරයා අක්ෂරයෙන් නිර්මිත භාෂාමය දෘෂ්ටීන්ගේ වහල් බවින් මිදුනෙකු වැනි ය. ඕම් කාරය යනු ශබ්ධයේ උප්පත්තිය යි. එය ශබ්ධයේ ඇරඹුමයි. සංසාරේ දඩයක්කාරයා සිනමාපටය පුරා ම නැගෙන ඕම්කාරමය සංගීත චින්තාව බ්‍රහ්ම ස්වභාවයේ ගාථා රාවයක් වැනි ය.

පිරිමි දැක්මෙන් අධිනිෂ්චිත ස්ත්‍රී සිරුරක් විනිවිදින ලිංගික කතිකාව වෙනුවට එය තුරුලතා සහ සතා සීපාවාද විනිවිදින පරිපූර්ණත්වයේ හමුවීමක් ලෙසින් ප්‍රත්‍යක්ෂ කරන්නට දඩයක්කාරයාට හැකිය.

මිනිස් ශිෂ්ටාචාරය මහා මූල මණ්ඩලයකින් පොලවට තදින් සවි වුණු වනස්පතියක් සේ ය. ඉතිහාසවේදයක් ඔස්සේ ජීවිතය අවලෝකනය කරන දසුනට පසුව පූර්ණත්වයේ සංකේතයක් බදු ආලෝකමත් වටකුරු හද පෙන්වීම දඩයක්කාරයා ප්‍රඥාව අත්පත් කර ගත් බවේ සංකේතයක් බදු ය. ආගමික අධිකාරිවාදය සහ ප්‍රකෘතිය අතර භාවනානුයොගී වන දඩයක්කාරයා පසළොස්වක පොහොය දා කෙලෙස් කොටියාව දඩයම් කරයි.

චිත්‍රපටය පුරා ඇසෙන සංගීතය රූපයට දාර්ශනික වූ තෙවැනි අරුතක් ගෙන දීමට සමත්වී ඇත. බෙණ, කුහර, ස්ත්‍රී පියවුරු, ලේ වැගිරෙන අමු මස්, පර්වත, එකිනෙක වෙලුණු තුරුලතා, ජලය, තුවක්කුව, කොටියා, සුළග මගින් ආත්මීය ප්‍රඥා මාර්ගයකට අපව ඇහැරවන රූපමය තක්ෂණවේදයක් මෙහිදී ගොඩනගා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *