වසර තිහකට අධික කාලයක් පැවැති මෙරට සිවිල් යුද්ධයෙන් බොහෝ කම්කටුළුවට මුහුණ දුන්නේ කවුරුන්ද යැයි අපට නිවැරදිව කීමට නොහැකි වූවත් දකුණේ ජීවත් වූ පිරිසට වඩා උතුරු, නැගෙනහිර පළාත්වල ජීවත් වූවන්ට සිදු වූ හානිය අසීමිත යැයි කීමට හැකිය. බොහෝ අය මාගේ ප්‍රකාශය සමඟ එකඟවේවි දැයි නොදනිමි. නමුත් මා දකින අයුරින් සත්‍ය එයයි. යුද්ධය අවසන්වී වසර 10ක් අවසන් වූවත් අද වනතුරු ඉන්දීයාවේ මෙරට දමිළ වැසියන් සරණාගතයින් ලෙස ජීවත් වෙමින් සිටිති. බොහෝ උදවිය තම පාරම්පරික ඉඩම්වල අයිතිය පවා තහවුරු කරගැනීමට නොහැකිව උද්ඝෝෂනවල නිතර වන්නේ එබැවින්ය. මෙම ඊළාම් යුද්ධය, සරණාගතයින් සම්බන්ධයෙන් කතා කෙරුණු චිත්‍රපටියකි නන්දා.
කුඩා වියේදීම නිවසේ ඇතිවන රණ්ඩුවක් අතරතුර සිය මෑණියන් ආරක්ෂා කරනු පිණිස නන්දා තම පියාට පහර දෙනවා නමුත් නොසිතු අයුරින් ඔහු මිය යනවා, අනතුරුව ඔහුව පුනරුත්තාපන කඳවුරකට ඇතුළත් කරනවා. ඔහු ඉන් නිදහස් වී පැමිණීමෙන් පසුව ඔහුගේ ජීවිතයට කුමක් ද සිදු වුණේ..? කාලය ගත වෙත්ම සරණාගත කඳවුරක සිටින මඩකලපුවේ ප්‍රදේශයේ ජීවිත් වූ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ද ගොඩ නගා ගන්නා ඔහුගේ ප්‍රේමය කුමක් වූයේ යන්නයි මෙහි අවසානය.
බාලාගේ අධ්‍යක්ෂණයෙන්, සූර්යා, ලයිලා, රාජ්කිරන් හා කරුණාස් ඇතුළු බොහෝ අයගේ රංගනයෙන් 2001 වසරේ තිරගත වූ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දීයාවේද දැඩි කතා බහකට ලක් වුණා පමණක් නොව එම වසරේ බොහෝ සම්මාන වේදිකාවල “නන්දා” යන නාමය රැව් දෙන්නට විය. එමෙන්ම එම වසරේ නිර්දේශ වූ සම්මාන සියල්ල හිමි වූයේ ද නන්දාටයි.
නමුත් වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා සඳහා බාලාගේ නම නිර්දේශ වූවත් ඔහුට එම සම්මානය හිමි කරගැනීමට නොහැකි විය. 2001 වසරේ දකුණු ඉන්දිය ෆිල්ම් ෆෙයාර් සම්මාන ත්‍රිත්වයක් සඳහා නන්දා චිත්‍රපටියේ නම් යෝජනා විය. ඒ හොඳම අධ්‍යක්ෂකවරයා, නිළිය හා කැමරා අධ්‍යක්ෂකවරයා යන ත්‍රිත්වය සඳහායි. ඉන් බාලාට හැර ලයිලාට හා ආර්. රත්නවේලුට එම සම්මාන එලෙසම හිමිවිය. එම වසරේ තමිල්නාඩු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන 4කට නන්දා නිර්දේශ වූ අතර එහි නිර්දේශීත සියලු ක්ෂේත්‍රයන්හි සම්මාන හිමි කරගැනීමටත් සමත්විය. ඒ අතර හොඳම චිත්‍රපටිය සඳහා වූ විශේෂිත සම්මානය, හොඳම නිළිය, නළුවා, සහය නළුවා හා කැමරා අධ්‍යක්ෂනය යන සියල්ලෙහි සම්මාන දිනා ගන්නා ලදි. සහය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ රාජ්කිරන් විසිනි.
නන්දා චිත්‍රපටියට ප්‍රථමයෙන් යෝජනා කර තිබුණේ දැනට කවුරුත් ආදරෙයිට “තල” හෙවත් නායකයා ලෙස හඳුන්වන අජිත් කුමාර් බව කවුරුත් දන්නා රහසකි. නමුත් අජිත් හට කතාව පවසන විටත් නන්දාහි පිටපත සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි. අනතුරුව 1998 වසරේදී ‘නෙරුක්කු නේර්’ චිත්‍රපටිය හරහා සිනමා ලොවට පා තැබූ සූර්යා වෙත බාලා යොමු වූ අතර සූර්යා විසින් එය ඉහළින්ම භාරගන්නා ලදි. එම චිත්‍රපටිය භාරගන්නා විට සූර්යා කිසිදු අවස්ථාවක නොසිතන්ට ඇත, මෙය තම ජීවිතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බවට. මෙම චිත්‍රපටියට මගින් සූර්යා චරිතාංග නළුවෙක් ලෙස බොහෝ දෙනා අතර කතාබහකට ලක් වන්නට විය. එමෙන්ම මේ චිත්‍රපටියේ වැදගත් චරිතයක් වන පෙරියවර් නම් චරිතයට ප්‍රථමයෙන් යෝජනාවී තිබුණේ සිවාජී ගනේෂන්ගේ නමයි නමුත් ඔහුට යම් හේතුන් නිසා එය භාරගැනීමට නොහැකි විය. ඉන් අනතුරුවයි එය රාජ්කිරන් වෙත ලබා දෙනු ලැබුවේ.
මා දකිනා පරිදි සිවාජීට වඩා මෙම චරිතය රාජ්කිරන්ට 100%ක් ගැළපුණි එපමණක් නොවේ බොහෝ ද්‍රවිඩ ජාතිකයන් ශ්‍රී ලාංකීය උතුරු, නැගෙනහිර දමිළ භාෂාවට දැඩි සේ ආදරය කරයි. එහි වෙනස්ම කාව්‍යත්වයක් ගැබ් ගෙන ඇති බවට බොහෝ දෙනා දරණ මතයයි. එය මනා ලෙස තේරුම් ගත් ලයිලා චිත්‍රපටිය පුරාවට යාල්පානම් ටැමිල් දෙබස් භාවිත කළ අයුරු ඉතා ඉහළ මට්ටමකත්, තමිල්නාඩු ජනතාවගේ ප්‍රශංසාවටත් භාජනය විය. සමාජ අසාධාරණ, විෂමතා, කාලීන ප්‍රශ්න ඇතුළු සාමාන්‍ය මිනිසා නොදකින පැත්තක් ඔහු සිය නිර්මාණ තුළින් දැකීමට උත්සහා දරයි. එය ඉතා සාර්ථක යැයි මට කීව හැකිය. බාලාගේ අනෙකුත් නිර්මාණ දෙස අවධානය යොමු කිරීමේදී පවා එය මනාවට අවබෝධ කරගත හැකි වනවා.
ඔහු සිය නිර්මාණයේ කතානායකයාට ලබා දෙන කොණ්ඩ විලාසිතා කාලයක් යනතුරු සිනමා රසිකයන්ගේ සිත් තුළ හොල්මන් කරාවි යන්නට සැකයක් නොමැත. මෙම චිත්‍රපටියේද එය එසේමය, සූර්යාට ලබාදී තිබු කොණ්ඩ විලාසිතාව මෙන්ම නීල දෑස් තවමත් මා සිතෙහි රැඳි තිබේ. එමෙන්ම මෙම චිත්‍රපටියේ විකට නළුවාගේ චරිතය ඉදිරිපත් කළ කරුණාස් සම්බන්ධයෙන් ද යමක් කිව යුතුය, මා දකිනා අයුරින් ඔහුගේ සිනමා ජීවිතයේ ඉතා හොඳ නිර්මාණ අතරින් මෙයත් එකක් වනු ඇත. සමහර අවස්ථාවල සිනාසෙන්නට යමක් නොතිබුණ ද ඒ තුළ සිතන්නට බොහෝ දෑ අඩංගුවී තිබුණි.
කවුරුත් ආදරය කරන සංගීතඥයෙක් වන ඉලයරාජාගේ පුතා වන යුවන් ශංකර් රාජා විසින් නන්දා චිත්‍රපටියට සංගීතය එක් කර තිබුණි. විශේෂත්වය වන්නේ එහි පළමු ගීතය සිය පියා ලවා ගායනා කරවීමයි. 2001 වසරේදී තිරගත වූ චිත්‍රපටියක් වූවත් එහි ගීත අදටත් කිසිදු බාධාවකින් තොරව රසවිඳිය හැකිය. චිත්‍රපටිය තුළ පුරාවට තිබු පෙම් ජවනිකා එකල කාගෙත් සිත් ගත් එකක් විය. අදටත් එය එලෙසම පවතිනු ඇති බවට සිතමි. චිත්‍රපටියේ සමහර තැන්වලදී රසිකයාගේ තෙනට කඳුළක් එක් කරන්නට තරම් මෙහි නළු නිළියන්ගේ රංගනය උසස් මට්ටමක තිබුණා යැයි කීමට හැක. එයට යුවන්ගේ සංගීතයෙන් ලැබුණේ ද අපූරු පිටුවහලකි.
මෙම චිත්‍රපටියේ ඇති එකම යුග ගීතය අදත් බොහෝ දෙනාගේ ප්‍රියතම ගීත අතරට එක්වීමට තරම් වාසනාවන්ත විය දශක දෙකක් සම්පූර්ණ යන කාල වකවානුවේ පවා මෙම චිත්‍රපටිය නැරඹීමෙන් කාලය අපතේ ගියා යන්න හැඟීම මතු නොව අයුරින් මෙය හැඩගැන්වී තිබීමත් විශේෂත්වයකි. බාලාගේ සිතෙහි තිබු රූපය එලෙසම සිනමා රසිකයන් වෙත ගෙන ගිය කැමර අධ්‍යක්ෂකරයාව අප සිහිපත් කළ යුතුමයි. සමහර දර්ශන ඔහු විසින් රූගත කර තිබුණේ කෙසේ ද යන්න තවමත් සිත තුළ ප්‍රශ්න මතුකරමින් සිටියි.
මෙම චිත්‍රපටිය හරහා ක්ෂේත්‍ර ගණනාවක් කතාවකට භාජනය කෙරුණ ද මේ චිත්‍රපටියේ තිබෙන අම්මා හා පුතා අතර තිබෙන ඒ බැඳීම කාගෙත් අවධානයට යොමු විය. එමෙන්ම උපන් දේශය අතහැර පිට දේශයක ජීවත් වීම කොයි තරම් අවාසනාවන්ත කරුණක් යන්න පවා මේ චිත්‍රපටිය නරඹන අය තුළ මතු වූවා නම් එහි වරදක් ද නොමැත මෙහි සරණාගත කඳවුරු යම් යම් නායකයින් විසින් දේශපාලනඥයින් විසින් වැරදි දේවල් සම්බන්ධයෙන් ද යොදාගත් බව බාලා ව්‍යාංගර්ථයෙන් ප්‍රකාශ කර තිබුණි. මෙරටින් ඉන්දියාව බලා පිටත්ව ගිය බොහෝ පිරිස් අද වනතුරුත් එහි සරණාගතයින් ලෙස ජීවත් වන බවටද නොරහසකි.
-ජෙගන් ගනේෂන්-