Marvel චිත්‍රපට හදන්න හීන තිබ්බට ලංකාවේ ඒවාට පහසුකම් නෑ – ප්‍රසන්න ජයකොඩි

(16.07.2019) මව්බිම ‘Young -යං’ අතිරේකය – පිළිසඳර ෂෙනාල් ගුණසේකර විසින්

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ, වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ සහ කලාත්මක සිනමාවේ තමන්ටම ආවේණික හැඩතල පිළිබිඹු කරන ඔහු ප්‍රසන්න ජයකොඩි. සංකාරා, කර්ම, විසි අට අධ්‍යක්ෂණය කරමින් ඔහු පැමිණි සිනමා ගමනට එකතු වුණු නවතම නිර්මාණය ‘සංසාරේ දඩයක්කාරයා’ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙමින් පවතියි. සිනමා ක්ෂේත්‍රය පිළිබඳව, ලාංකේය සිනමාවේ අර්බුද පිළිබඳව සහ අනාගතය ගැන කතාබහ කරන්න ‘යං’ අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

ඇයි පොතක් පාදක කරගෙන ‘සංසාරේ දඩයක්කාරයා’ නිර්මාණය කරන්න හිතුවේ?

සයිමන් නවගත්තේගම කියන අපේ රටේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යවේදියාගේ ‘දඩයක්කාරයාගේ කතාව’ කෘතිය ඇසුරින් තමයි මේ සිනමා නිර්මාණය දිගහැරෙන්නේ. ඔහුගේ සාහිත්‍ය නිර්මාණයක් සිනමානුරූපීව දැකගන්න මට තිබුණු ආසාවක් මල්ඵල ගැන්වීම තමයි මේ සිනමා නිර්මාණය තුළින් මම කළේ. ඔහුගේ නවකතාවලින් මායා යතාර්ථවාදී අවකාශයක ගැවසෙන ගමන්ම විශ්වීය කරුණු දක්වාම ඒ කතාව පුළුල් වීමේ ගුණය තියෙනවා. මගේ අනිකුත් සිනමා නිර්මාණ හරහා කතාබහට ලක් වෙන දේවලට ඔහුගේ නවකතාත් යම් තරමක සමානකමක් දක්වනවා. සාමාන්‍යයෙන් අපි නිර්මාණ සඳහා බොහෝ වෙලාවට පාදක කරගන්නේ පෞද්ගලිකව අපට ලැබුණු අද්දැකීම්. නමුත් සයිමන් නවගත්තේගම කියන්නේ තමන්ගේ අද්දැකීම්වලට ගෝචර නොවෙන කරුණු කාරණා පවා පුළුල්ව සවිස්තරාත්මකව විග්‍රහ කරමින් සාහිත්‍යකරණයේ නියැලුණු විශිෂ්ටයෙක්. නවගත්තේගම සූරීන්ගේ නවකතාවලට පෞද්ගලිකව මං දක්වන විශාල ඇල්ම නිසයි මේ කෘතිය පාදක කරගෙන මෙවර මා සිනමා නිර්මාණය කරන්න හිතුවේ.

නිර්මාණයට නළු නිළියන් තෝරාගැනීමේදී විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළාද?

මම 28 චිත්‍රපටයට යොදා ගත්ත හැම කෙනෙක්ම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඒ අයගේ හැඩතල ඔස්සේ ඒ චිත්‍රපටය වැඩෙන්න මම ඉඩ දුන්නා. මායා යතාර්ථවාදී කරුණක් වුණත් 28 චිත්‍රපටියේ සමාජ දේශපාලනික විවරණයක් තමයි සිද්ධ වෙන්නේ. සංකාරා, කර්ම සහ සංසාරයේ දඩයක්කාරයා චිත්‍රපටවලින් ඒ චරිත ඒ චිත්‍රපට පරිසරය ඇතුළේම ජීවත් කරවන්න මට අවශ්‍ය වුණා. මට නළුවෙකුට නිළියකට ආවේණික හැඩතල පෙන්වන්න අවශ්‍ය නෑ ඒ චිත්‍රපටවලදී. නළු නිළියන්ව රංගනයට එහා ගෙනිහින් මේ පරිසරයේම කොටසක් බවට පත් කරන්නයි මම උත්සාහ කළේ. නළුවෙක් නිළියක් සාර්ථක වෙන්නේ රංගනයෙන් විතරක්ම නෙවෙයි. අදාළ පරිසරයත් එක්ක බද්ධ වෙන ප්‍රමාණය අනුව.

ක්‍රිස්ටිනා බ්‍රිටෝව ප්‍රධාන චරිතය ලෙස තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?

මේ චිත්‍රපටයේ කාන්තාවකගේ නග්නත්වය නිරූපණය කිරීමක් සිද්ධ වෙනවා. නිරුවත් දර්ශනයකට පෙනී සිටින්න නිළියෝ මැලි වෙනවා. ඒක නිළියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක්. වික්ටෝරියානු සම්ප්‍රදායය එන්න කලින් අපි හැමෝම නිරුවත්ව හිටපු මිනිස්සු. ඒක නිසා නිරුවත කියන්නේ අපට මැජික් එකක් නෙමෙයි. නමුත් අද කාලේ මිනිස්සු එක මැජික් එකක් කරගෙන තියෙනවා. මට ක්‍රිස්ටිනාව මුණ ගැහෙන්නේ මගේ මිතුරියක් හරහා. ඇය ඡායාරූප ශිල්පිනියක්. ඇගේ ඡායාරූප ගොන්නෙන් තමයි මම ක්‍රිස්ටිනාගේ රූපය දැක්කේ. ඒ වෙද්දී ක්‍රිස්ටිනා මැලේසියාවේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඇය සමඟ කතා කරද්දී මට වැටහුණා යමක් කළ හැකි බුද්ධිමත් තරුණියක් කියන එක. ඒ වගේම ගෝමරී කියන චරිතය සම්බන්ධයෙන් මට මැවුණු චිත්ත රූපයට සමාන රූපයක් තිබුණේ ක්‍රිස්ටිනාට. මේ හේතූන් නිසයි ඈව චිත්‍රපටයට තෝරා ගැණුනේ.

28 හැරුණු විට පෙර නිර්මාණය කළ සංකාරා, කර්ම යන චිත්‍රපටවලට වගේම සංසාරේ දඩයක්කාරයා නිර්මාණයටත් බෞද්ධ තේමාවක් එකතු කරගෙන තිබනවා. නිර්මාණවලට බෞද්ධ තේමාවන් එකතු කර ගැනීමට හේතුව කුමක්ද?

‘සංසාරේ දඩයක්කාරයා‘ ඔස්සේ බෞද්ධාගම විතරක් නෙවෙයි පොදුවේ ආගම් විවේචනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සංකාරා ඔස්සේ මම පෙන්නුම් කළේ ඇලීම් ගැලීම් නිසා පෘථග්ජන හැඟීම් එක්ක පොරබදන භික්ෂුවක් ගැන. වත්මන් දූෂිත සමාජය ඇතුළේ මාර්ගඵල ලබාගැනීමට යන ගමන හරි අපහසු බව පෙන්නන්නයි මං උත්සාහ කළේ. කර්ම ඔස්සේ පෙන්නුම් කළේ අනෙකාගෙන් අපව හොයන්න ගිහිල්ලා කෙළෙස් අස්සේ පැටලීම ගැනයි. සරලව කිව්වොත් අනෙක් අය හරහා අපේ ඇරියස් කවර් කරගන්න අපි ගන්න මහන්සිය. මේ ලෝකේ කිසිම ශාස්තෘවරයෙක් ආගම් හදන්න හිතාගෙන තමන්ගේ දර්ශනය ගෙනාවේ නෑ. උන්වහන්සේලාගේ උතුම් දර්ශනයන් අරගෙන හදාගත්ත දේශපාලනික දෘෂ්ඨිවාදයක් තමයි ආගම් කියන්නේ. අපි පහුගිය කාලේ ගත කරපු වකවානුව දිහා බැලුවොත් පොදුජනයා යහමගට ගන්නවා වෙනුවට ජනතාව කුපිත කරවන්න පිල් බෙදන්න දේශපාලනික වේදිකාවලට පවා නැඟලා විවිධ ආගමික නායකයින් කටයුතු කරපු හැටි අපි දැක්කා. මිනිස්සු හික්මවන්න ගුණ ධර්ම වඩන්න කටයුතු කළ යුතු පිරිස මිනිස්සු අවුළුවන්න කටයුතු කළා. මොකද අන් සියලු දේට වඩා ආගමට පුළුවන් තර්ක බුද්ධිය හීන කරලා අධ්‍යාත්මයට කතා කරන්න. ඒ නිසාම හරි වැරැද්ද නොබලා තර්ක නොකර මිනිස්සු මේ දේවල් වැළඳගන්නවා. මං ඉදිරිපත් කරන විවේචනය කාලීනයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට රූගත කරපු ගමන් චිත්‍රපට තිරගත කරන්න අවස්ථාව ලැබෙනකොට නවක සිනමාකරුවෝ නිර්මාණ ළඟ තියාගෙන අවුරුදු ගාණක් බලන් ඉන්නවා. මේක අසාධාරණ නැද්ද?

මම ප්‍රවීණයෙක්ද නවකයෙක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය මටත් අදාළ වෙන නිසා මාව වැටෙන්නේ නවකයෙක් කියන තැනට. මොකද මගේ හැම චිත්‍රපටයක්ම හදලා ළඟ තියාගෙන තිරගත කරන්න වාරය එනකං බලාගෙන හිටියා. සංසාරයේ දඩයක්කාරයා තිරගත කරන්න දෙන්නේ මාසෙක gap එකක් පුරවන්න. ඒ නිසා මේ නිර්මාණය තියෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක. හදිසියේ ලැබුණු අවස්ථාවක් නිසා මාධ්‍ය පවා විධිමත්ව දැනුවත් කරන්න ඉඩක් ලැබුණේ නැහැ. තිරගත වෙන්න අරගෙන සති දෙකක් ගිහිල්ලත් අපි තාම ශාලා සූදානම් කරගෙන යනවා. හදිසි තීරණ අරගෙන ක්‍රියාත්මක කිරීම නිසා අපට සිදුවෙන අපහසුතාව චිත්‍රපට සංස්ථා සභාපතිනිය ඇතුළු පිරිස තකන්නේ නෑ. ඒ පිරිස හිතන්නේ කලාත්මක සිනමාව සිනමා ක්ෂේත්‍රයට වැඩක් නෑ කියලා. ජාතික චිත්‍රපට සංස්ථාව තියෙන්න ඕනේ කලාව උදෙසා මිසක් බිස්නස් කරන්න නෙවෙයි. පැහැදිලිවම මේ ක්‍රමය අසාධාරණයි.

චිත්‍රපට බෙදාහැරීම සිදු විය යුත්තේ රජය විසින් ද? පෞද්ගලික අංශයෙන්ද?

රජයෙන් සිද්ධ වෙනවා නම් හොඳයි. පෞද්ගලික අංශයෙන් සිද්ධ වෙනකොට ඒක අපට පාලනය කරන්න බැරි තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. ඒක වාණිජමය කාරණයක්. නමුත් වඩා විධිමත්ව දුරදක්නා නුවණකින් කටයුතු කරනවා නම් වඩාත් ප්‍රායෝගික ක්‍රමයකට කලාවත් ව්‍යාපාරයක් දෙකම රැකෙන පරිදි යන්න පෞද්ගලික අංශයට පුළුවන්. මොකද චිත්‍රපට සංස්ථාව සහ ශාලා හිමියන් අතර ලොකු පරතරයක් තියෙනවා. චිත්‍රපට බෙදාහැරීම පවා විධිමත්ව සිද්ධ වෙන්නේ නෑ. නිර්මාණකරුවාටම සිද්ධ වෙනවා අවසානයේදී චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු බලන්න. පුද්ගලික අංශය පැහැදිලිවම ක්‍රියාශීලීයි. නමුත් නිසි නීති සමුදායක් නැති නිසා අත්තනෝමතික ක්‍රියා සිද්ධ වෙනවා. රජයේ උණත් පෞද්ගලික අංශයේ වුණත් සියල්ලන්ටම පොදු වුණු විධිමත් නියාමනයක් තිබිය යුතුයි.

ඔබ නිර්මාණය කරන වෙළඳ දැන්වීම් සහ ටෙලිනාට්‍ය බහුතර ප්‍රේක්ෂක පිරිස වැළඳගත්තාට සිනමා ආඛ්‍යානය සීමිත පිරිසකට ගෝචර වෙන්නේ ඇයි?

වාණිජමය ජනප්‍රිය තලයේ සිනමා නිර්මාණ කරන්න මට බැරිකමක් නෑ. බොහෝ විට මම ඉදිරියේදී වාණිජමය සිනමා නිර්මාණයකුත් කරාවි. ටෙලිවිෂනයට මං කරන නිර්මාණ දිහා මනුස්සයෙක් ඔහේ බලාගෙන හිටියත් ඒකෙන් යමක් ගනීවි. නමුත් වේදිකා නාට්‍ය, සිනමාව සහ නවකතා කියලා කියන්නේ විශේෂ කලා මාධ්‍යයන්. ඒවා රස විඳින්න නම් පුද්ගලයෙක් ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සැදී පැහැදී සිටිය යුතුයි. ඒ කලා නිර්මාණ ඇසුරු කරන ප්‍රේක්ෂකයාගේ බුද්ධිමය පරිමාව විශාලයි. එවන් ප්‍රේක්ෂකයෙක් හෝ පාඨකයෙක් සමඟ ගනුදෙනු කරන්න අපට ලැබෙන ඉඩ විශාලයි. ඔවුන්ගේ මුළු මනසම නිර්මාණය කෙරෙහි නතු කරගන්න අපට අවස්ථාව ලැබෙනවා. නමුත් කලාත්මක නිර්මාණයක් රස විඳිය යුත්තේ කෙසේද කියන කාරණය බොහෝ දෙනෙක් දන්නේ නෑ. හැමෝම දන්න ජාතක කතාවක් ලස්සන නළු නිළියෝ දාලා ලස්සන ඇඳුම් අන්දලා ඉදිරිපත් කළාම බහුතර ප්‍රේක්ෂකයා බලන්න යනවා. ඒ නිර්මාණයක් හදන්න සල්ලි වැඩිපුර වියදම් කරන්න විතරයි අවශ්‍ය. මම සිනමාව භාවිත කරන්නේ ඊට වඩා වගකීම් සහගතව. කලා රසවින්දනය සහ චින්තන පරාසය පුළුල් කිරීම ඔස්සේ සමාජය සබුද්ධික කරන්නයි මම සිනමාව මෙහෙයවන්නේ. ඒ පරමාර්ථයෙන් හැදුණු සිනමා නිර්මාණ විතරයි කවදහරි ඉතුරු වෙන්නේ. සිනමාවේ පැවැත්මට වාණිජ සිනමාව අවශ්‍යයි. නමුත් ක්ෂේත්‍රයේ උන්නතියට වාණිජමය සහ කලාත්මක සිනමාව යන දෙවර්ගයම තිබිය යුතුයි.

ලංකාවේ සිනමා රසිකයෝ සිංහල සිනමාවෙන් ඈත්වෙමින් සිටිනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔබ මෙම තත්ත්වය දකින්නේ කොහොමද?

අන්තර්ජාලය හරහා සියලුම දේ ලබා ගන්න Generation Z එක්කයි අපි දැන් ගනුදෙනු කරන්නේ. උදාහරණයකට Marvel වැනි සිනමා ප්‍රවණතා ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂකයා අපේ සිනමා ක්ෂේත්‍රය ප්‍රශ්න කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි මේ අර්බුදය ලෝකය පුරා තියෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් වැඩුණු දෙයක්. දැන් අලුත් පරම්පරාවේ දරුවෝ මේ සමාජය අතහැරලා දාලා. රටක සමාජයක ඇති වෙන මේ තත්ත්වයන් ගැන දේශපාලනිකව බලන්න ඕන. නිර්මාණාත්මක සහ දේශපාලනික වශයෙන් මේවාට ප්‍රතිකර්ම දෙන්න ඕන. Marvel චිත්‍රපට හදන්න හීන තිබ්බට ලංකාවේ ඒවාට පහසුකම් නෑ. අවසානයේ දී ලංකාවේ දුවන්න පුළුවන් නිර්මාණ හදනවා. නැත්නම් ඒ නිර්මාණ හදන්න පුළුවන් දක්ෂයෝ පහසුකම් සහිත රට වලට සංක්‍රමණය වෙනවා. සමාජයේ ප්‍රගමනයට කලාවෙන් සිද්ධවෙන මෙහෙවර කිසිම දේශපාලනඥයෙක් අවබෝධ කරගන්නේ නෑ. අපි අද දකින්නේ ඒවායේ ප්‍රතිඵල.

ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය වෙන්නේ මොන වගේ වැඩපිළිවෙළක් ද?

ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන නිසියාකාර වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ සම්බන්ධ ප්‍රායෝගික දැනුමක් තියෙන මිනිස්සු බලධාරීන් විදිහට පත් විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *