ලෝක සිනමාව හා සසඳන කල ලාංකේය සිනමාව තවමත් සිටින්නේ ඊයේ ඉපදුනු ළදරුවෙකුගේ මට්ටම තුලය. එය මනාව පැහැදිලි වනුයේ, මීට අවුරුදු 50ක් හා ඉන් එපිට ලෝක සිනමාව තුල නිපදවූ චිත්‍රපට හා සසඳන කලය. ඉන්දියාව බොහෝ දුරට එම තාක්ෂණය ,දැවැන්ත බව උකහා ගත්තද, සිනමාත්මකව නම් ඉන්දියාවද සිටින්නෙ ළදරු මට්ටමකය. ලංකාව කවදත් දියුණු වේගන එන රටකි. ලෝකය පවතිනතාක් කල් ලංකාව දියුණු වේගෙන එන රටක් වේ. ඉතිං චිත්‍රපට කර්මාන්තය ගැන කුමන කතාද? නමුත් ලංකාවේ නිර්මාණකරුවන් තුල නම් ඇත්තේ නොපසුබට උත්සහයකි. ලංකාවද ආර්ථීක අතින් සවිමත් වේ නම් ලාංකේය සිනමා නිර්මාණ කරුවන් එයින් පෝෂණය වේ. ලෝක සිනමාව තුලින් අප සිනමාවට කෙතරම් බලපෑමක් කරනවාද, ඒ බලපෑම තුලින් අප අපේ සිනමාව කොතෙක් දුරට හසුරුවා ගෙන ඇත්ද යන්න අතරට මුලින්ම විමර්ශනය වන්නේ ඩේවිඩ් ලීන්ගේ සිනමාවය. ඩේවිඩ් ලීන් ලෝකයට චිත්‍රපට ගොන්නක්ම දායාද කෙරුවකි. එහෙත් එම චිත්‍රපට ගොන්නෙන් ඩීවීඩී, අයිෆෝන් නොමැති චිත්‍රපට ශාලාවලට පමණක් ගොස් නරඹන යුගයක, ලාංකේය ප්‍රේක්ෂකයන්ට ඩේවිඩ් ලීන්ගේ චිත්‍රපට නැරඹීමට හැකිවූයේ අතලොස්සක් පමණි. එයින් අප ලාංකීකයන්ගේ හදවත් තදින්ම ඇද බැද ගන්නට හැකි වූ චිත්‍රපට අතර “ඩොක්ටර් ශිවාගෝ” “බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි” “ලෝරන්ස් ඔෆ් ඇරෑබියා” “ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්” “රයන්ස් ඩෝටර්” වැනි චිත්‍රපට විශේෂිත විය. එකිනෙකට වෙනස් දැවැන්ත අකෘතින් තුල ඩේවිඩ් තම චිත්‍රපට හැසිරුවද, ඔහුට තිබුනේ ඔහුටම අනන්‍යවූ ඔහුගේම සිනමාභාෂාවකි. එය හැම සිනමාපටයකම දක්නට ලැබුනි.
වර්ෂ 1908 මාර්තු 25වන දින ප්‍රැන්සිස් විලියම් ලේ බ්ලවුන්ට් ලීන් සහ හෙලේනා ටැන්ගිට දාවා, එංගලන්තයේ ලන්ඩන් නගරයේ උපන් ඩේවිඩ් ලීන් සිනමාකරණයට පැමිණියේ 1930 දීය. ඒ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු ලෙසය. 1942 දී “ඉන් වීව් වී සර්ච්” සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් ඩේවිඩ් ලීන් සිනමා අධ්‍යක්ෂකයෙක් ලෙස අත්පොත තැබීය. ඉන්පසු චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කල ඩේවිඩ් ලීන් 1955 “සමර් ටයිම්” නැමති චිත්‍රපටයෙන් අලුත් මාවතකට පිවීසීය. කැත්රින් හෙප්බර්න් ප්‍රධාන චරිත රගපෑ මෙම චිත්‍රපටය රූ ගත කලේ ඉතාලියේ වෙනිස් නගරයේය.
1957 ඔහු පිරේ බුලේගේ නවකථාවක් පදනම් කරගෙන “ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” නිර්මාණය කළේය. ලාංකේය බටහිර චිත්‍රපට නැරඹු ප්‍රේක්ෂකයන්ට කිසිසේත් අමතක නොවන මෙම චිත්‍රපටය සම්පූර්නයෙන්ම පාහේ රූ ගත කලේ ලංකාවේදීය. 1945 දී ආදර කථාවක් පසුබිම් කර ගත් “බ්‍රීෆ් එන්කවුන්ටර්” සෑදු ඩේවිඩ් ලීන් 1946 “ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්”ද 1946” “ඔලිවර් ටුවිස්ට්” ද 1957 “බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි” ද නිර්මාණය කළේය. ඊට පෙර 1949 දී “ද පැෂනේට් ෆ්‍රෙන්ඩ්ස්”, 1950 දී “මැඩේලින්” 1952 “ද සවුන්ඩ් බැරියර්” 1954 “හොම්සන් චොයිස්” අධ්‍යක්ෂණය කලේය. “බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි”, චිත්‍රපටයෙන් පසු ඔහු ලොව ශ්‍රේෂ්ඨ සිනමා පටයක් සේ සලකන “ලෝරන්ස් ඔෆ් ඇරේබියා” නිර්මාණය කළේය.
“එපික්” වර්ගයේ දැවැන්ත පසුතල, කැමරාකරණයන් යොදවා තැනෙන ඩේවිඩ් ලීන් සිනමා භාෂාව ලාංකේය සිනමාකරණයට ගෙන ආවේ ඩී.බී.නිහාල්සිංහයන්ය. ඒ ඔහුගේ “වැලි කතර” චිත්‍රපටය තුලිනි. නිහාල්සිංහ,ඩේවිඩ් ලීන් ආභාෂය තුලින් උකහා ගත් බොහෝ දෑ වැලි කතර තුල අඩංගු විය. පසුකලක ඩේවිඩ් ලීන් සැදූ ලොව විශිෂ්ටතම චිත්‍රපට යුගල ලෙස සලකන “ලෝරන්ස් ඔෆ් ඇරේබියා” හා “ඩොක්ටර් ශිවාගෝ” තුල තිබූ සිනමාත්මක බව හා දැවැන්ත බව මොනයම් ක්‍රමයකින් හෝ නිහාල්සිංහ තම “වැලි කතරට” ඈඳා තිබුනි. නිහාල්සිංහ මෙම ලොව අද්විතීය සිනමාකරුවගේ සිනමා රීති තම කෘතියට එලෙස එකතු කර ගත් අතර 1970 දී ඩේවිඩ් ලීන් නිර්මාණය කල “රයන්ස් ඩෝටර්” චිත්‍රපටයේ ආභාෂය, ධර්මසිරි වික්‍රමරත්න තම “හිම කතර” චිත්‍රපටයට ඈදා ගනී. ඇමරිකාවේදී ලීන්ගෙ අසාර්ථක චිත්‍රපටයක් ලෙස “රයන්ස් ඩෝටර්” සැලකුවද, සිනමාත්මක බවින් එය විශිෂ්ඨ කෘතියක් විය. ඩේවීඩ් ලීන්ගේ “බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි” චිත්‍රපටයට සහය අධ්‍යක්ෂක කෙනෙකු ලෙස එක්වූ ගාමිණී ෆොන්සේකා වුවද පසුකලෙක ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපට වලට අර දැවැන්ත බව, සිනමාත්මක බව එකතු කර ගත් බවක් දුටුවේ නැත. ඔහුට ඔහුගේ “සාගරයක් මැද” හා “කොටි වලිගය” චිත්‍රපටවලින් ඒ ලීන් ගෙන ආ භාෂාව උපයෝගි කර ගෙන එම තේමාවන් හරහා එකී සිනමාත්මක දැවැන්ත බව ගෙන ඒමේ හැකියාව නොතිබුනා නොව. එසේ වූවා නම් එම චිත්‍රපට ලෝක සිනමාවට යා කිරීමට තිබුනි.
ඩේවිඩ් ලීන් තම චිත්‍රපටයෙන්, චිත්‍රපටය තම ක්‍රමය උසස් කර ගති. “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” තුලින් දුටු දේට පටහැනි නිර්මාණශීලත්වයක්, දැවැන්ත බවක් “ලෝරන්ස් ඔෆ් ඇරෑබියා” හරහා පෙන්වූ ඩේවිඩ් ලීන්, “ඩොක්ටර් ශිවාගෝ” හා “රයන්ස් ඩෝටර්” තුලින් නිර්මාණශීලිත්වය තියුණු කර ගත් අතර, අකෘතිමය ලෙසද වෙනස් කර ගති. එහෙත් නිහාල්සිංහ “වැලි කතරින්” පසු ආපස්සට ගියේය. ඔහුගේ “රිදී නිම්නය”, “මල්දෙනියේ සිමියොන්”, “කෙළි මඩල” තුලින් ඔහුගේ සිනමාව විනාශ වී ගියේය.
-ශෝන් මැක්ස්මස් දිසානායක-