OSCARS යන අත GOLDEN GLOBE පෙන්වාවිද?

ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස සැළකෙන Golden Globes සම්මාන උළෙල 76 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් ජනවාරි හයවෙනිදා රාත්‍රියේ California ප්‍රාන්තයේ Los Angeles හි Beverly Hills නගරයේ Hilton හෝටලයේ දී පැවැත්වුණා. අදාළ වර්ෂයේ ජනවාරි පළමුවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ලොව පුරා තිරගත වූ චිත්‍රපට හා ඇමෙරිකාවේ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් විශිෂ්ටතම නිර්මාණ ඇගයීම මෙහිදී සිදුවෙනවා. අනෙකුත් සම්මාන උළෙල අතරින් Golden Globes සම්මාන උළෙල සුවිශේෂී වන්නේ එකම සම්මාන උළෙලකදී චිත්‍රපට හා ටෙලිනාට්‍ය අංශ දෙකටම සහ අදාළ අංශයන්ගේ විවිධ ශානර අනුව සම්මාන ප්‍රදානය කිරීම නිසයි. එමෙන්ම චිත්‍රපට වෙනුවෙන් පිරිනැමෙන Golden Globes සම්මාන සඳහා නිර්දේශ වන සහ ජයග්‍රහණය කරන නිර්මාණ බොහෝ වේලාවට Academy හෙවත් Oscar සම්මාන උළෙලේ නිර්දේශයන්ට හා ජයග්‍රහණයන්ට බොහෝ දුරට සමාන වීමත් Golden Globes සම්මාන උළෙල සුවිශේෂී වීමට තවත් හේතුවක්.

මෙවර සම්මාන වෙනුවෙන් වැඩිම නිර්දේශ ප්‍රමාණයක් දිනාගෙන තිබුණේ සත්‍ය සිදුවීමක් පාදල කරගනිමින් Adam McKay විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Vice චිත්‍රපටයයි. නමුත් වැඩිම සම්මාන ගණනක් දිනාගත්තේ Peter Farrelly විසින් අධ්‍යක්ෂණය කළ Green Book චිත්‍රපටයයි.

මෙවර බොහෝ දෙනෙක්ගේ අවධානය සහ පැසසුම් දිනාගත් නිර්මාණ රැසක්ම තිබීම විශේෂත්වයක්. ලංකාවේ අපිට Aashiqui 2 ලෙසින් සමීප වූ හින්දි චිත්‍රපටයේ මුල් කතාව වන A Star Is Born චිත්‍රපටයේ 2018 වර්ෂයේ ප්‍රතිනිර්මාණය ලෝකයේ ප්‍රේක්ෂක හා විචාරක අවධානය දිනාගන්න සමත් වුණා. එමෙන්ම ලෝකයේ බිහි වූ අග්‍රගණ්‍ය රොක් සහ පොප් සංගීත කණ්ඩායමක් වන Queen හි නායක Freddie Mercury ගේ ජීවිත කතාව ඇසුරින් නිෂ්පාදනය වුණු Bohemian Rhapsody චිත්‍රපටයත් මෙවර වැඩි අවධානයක් දිනූ නිර්මාණයක්. එයට විචාරකයන්ගෙන් දැඩි විරෝධතා එල්ල වුණත් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගැනීම විශේෂත්වයක්. 

Golden Globes හි දී Bohemian Rhapsody විසින් හොඳම චිත්‍රපටයට සහ හොඳම සිනමා නළුවාට හිමි සම්මාන දිනාගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පළ කළේ නොසතුටක්. මොකද ඒ සම්මාන හිමි විය යුත්තේ A Star Is Born චිත්‍රපටයටත් එහි ප්‍රධාන නළුවා සහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ Bradley Cooper ටත් බව සම්මාන උළෙලට පෙර සිටම අදහස් පළ වුණු නිසා. සමාජ මාධ්‍ය ඔස්සේත් ලොව පුරා සිනමා රසිකයෝ මේ සම්බන්ධයෙන් දක්වා තිබුණේ එතරම් සුබවාදී අදහස් නෙවෙයි. කෙසේ නමුත් අපිට Bohemian Rhapsody චිත්‍රපටයේ Rami Malek ගේ රංගනය අහක දාන්න බෑ. ලෝකයේ බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙක් වුණු Freddie Mercury ගේ චරිතයට Rami පණ පෙව්වේ චිත්‍රපටයේ ධාවන කාලය පුරා ඉන්නේ Freddie Mercury ම යැයි සිතෙන තරමේ සාර්ථක රංගනයක් ඉදිරිපත් කරමින්.

Rami Malek සම්මානය අතැතිව

2019 Golden Globes ජයග්‍රාහී නිර්මාණ සහ පුද්ගල ලැයිස්තුව

• හොඳම චිත්‍රපටය (නාටකීය) – Bohemian Rhapsody 

• හොඳම චිත්‍රපටය (සංගීතමය/හාස්‍ය) – Green Book

• හොඳම චිත්‍රපට නළුවා (නාටකීය) – Rami Malek – Bohemian Rhapsody වෙනුවෙන්

• හොඳම චිත්‍රපට නිළිය (නාටකීය) – Glen Close – The Wife චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම චිත්‍රපට නළුවා (සංගීතමය/හාස්‍ය) – Christian Bale – Vice චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම චිත්‍රපට නිළිය (සංගීතමය/හාස්‍ය) – Olivia Colman – The Favourite චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම චිත්‍රපට සහය නළුවා – Mahershala Ali – Green Book චිත්‍රපටය වෙනුවෙන් 

• හොඳම චිත්‍රපට සහය නිළිය – Regina King – If Beale Street Could Talk චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ – Alfonso Cuaron – Roma චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම චිත්‍රපට තිර රචනය – Green Book

• හොඳම සජීවීකරණ චිත්‍රපටය – Spider-Man: Into The Spider-Verse

• හොඳම විදෙස් චිත්‍රපටය – Roma (මෙක්සිකෝවේ නිෂ්පාදිත)

• හොඳම ස්වීය සංගීත සංයෝජනය – Justin Hurwitz – First Man චිත්‍රපටය වෙනුවෙන්

• හොඳම ස්වීය චිත්‍රපට ගීතය – Shallow – ගායනය, Lady Gaga සහ Mark Ronson – A Star Is Born චිත්‍රපටය වෙනුවෙන්

රූපවාහිනි නිර්මාණ සඳහා ප්‍රදානය කළ සම්මාන

• හොඳම මාලා ටෙලිනාට්‍යය (නාටකීය) – The Americans

• හොඳම මාලා ටෙලිනාට්‍යය (හාස්‍ය) – The Kominsky Method

• හොඳම ටෙලිනාට්‍ය නළුවා (නාටකීය) – Richard Madden – Bodyguard වෙනුවෙන්

• හොඳම ටෙලිනාට්‍ය නිළිය (නාටකීය) – Sandra Oh – Killing Eve වෙනුවෙන්

• හොඳම ටෙලිනාට්‍ය නළුවා (සංගීතමය/හාස්‍ය) – Michael Douglas – The Kominsky Method වෙනුවෙන්

• හොඳම ටෙලිනාට්‍ය නළුවා (සංගීතමය/හාස්‍ය) – Rachel Brosnahan – A Marvellous Mrs. Maisel වෙනුවෙන් 

• හොඳම සීමාසහිත ටෙලිනාට්‍යය/රූපවාහිනි විකාශය වෙනුවෙන් නිමැවුණු චිත්‍රපටය – The Assassination of Gianni Versace: American Crime Story වෙනුවෙන්

• හොඳම නළුවා (‘සීමාසහිත ටෙලිනාට්‍යය/රූපවාහිනි විකාශය වෙනුවෙන් නිමැවුණු චිත්‍රපටය’ අංශය) – Darren Chris – The Assassination of Gianni Versace: American Crime Story වෙනුවෙන්

• හොඳම නිළිය (‘සීමාසහිත ටෙලිනාට්‍යය/රූපවාහිනි විකාශය වෙනුවෙන් නිමැවුණු චිත්‍රපටය’ අංශය) – Patricia Arquette – Escape at Dannemora

• හොඳම සහය නළුවා (‘සීමාසහිත ටෙලිනාට්‍යය/රූපවාහිනි විකාශය වෙනුවෙන් නිමැවුණු චිත්‍රපටය’ අංශය) – Ben Whishaw – A Very English Scandal වෙනුවෙන් 

• හොඳම සහය නිළිය (‘සීමාසහිත ටෙලිනාට්‍යය/රූපවාහිනි විකාශය වෙනුවෙන් නිමැවුණු චිත්‍රපටය’ අංශය) – Patricia Clarkson – Sharp Objects වෙනුවෙන් 

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *