තරු ඛාන්ලා අතරේ ‘මරු ඛාන්’

බොලිවුඩ් සිනමාවේ නළුවන් අතර “ඛාන්” වාසගම ඇති අයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මොකද ඛාන් වාසගම හිමි කිහිපදෙනෙක් බොලිවුඩයේ හිනිපෙත්තටම මේ වෙනකොට ඇවිත් තියෙන නිසා. මේ අතරින් ශාරුක්, ආමිර් සහ සල්මාන් තිදෙනා විශේෂයි. ඔවුන් “ඛාන් ත්‍රිමූර්තිය” ලෙස හැඳින්වෙනවා. නමුත් මම අද කතා කරන්නේ මේ ප්‍රධාන ධාරාවේ ඉන්න ඛාන් ලා ගැන නෙවෙයි. මේ ඛාන් විශේෂයි. ඔහු මෙවර Filmfare සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලබනවා. බොලිවුඩයට සීමා නොවී බ්‍රිතාන්‍යයේ වගේම හොලිවුඩයේ චිත්‍රපට වලටත් ඔහු රංගනයෙන් දායක වෙනවා. ඔහු ඒ දක්වා ආපු ගමන පහසු නෑ. ඔහු “ඉර්ෆාන් ඛාන්”.

1967 වර්ෂයේ ජනවාරි හත්වනදා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් හි දී ‘සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන්’ නමින් ඔහු උපත ලබනවා. ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසාම ඔහුගේ කුඩා කාලය මුදලින් අඩුපාඩුවක් නොමැතිව ගත වෙනවා. ඉර්ෆාන්ගේ පියාට අවශ්‍ය වුණේ ඉර්ෆාන්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කරගන්න. නමුත් ඉර්ෆාන් උත්සාහ කළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. මේ තීරණයට දෙමවුපියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ නෑ. මේ සියල්ල අතරේ ඔහුටත් නොදැනීම සිනමාව පිළිබඳව ඔහුගේ ඇතුළාන්තයේ තිබෙන ආශාව ඉස්මතු වෙන්න ගන්නවා. ඉර්ෆාන්ගේ වාසනාවට ඔහුට ජාතික නාට්‍ය පාසලේ (NSD – National School of Drama) ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඔහු ඒ මොහොතේ හදාරමින් හිටිය ශාස්ත්‍රවේදී උපාධියත් අතරමඟ නවත්වලා රංගනය පිළිබඳව වැඩිදුර හදාරන්න තීරණය කරනවා.

1988 වර්ෂයේ නාට්‍ය පාසලේ අවසන් වසරේ ශිෂ්‍ය ඉර්ෆාන් ට මීරා නයිර් අධ්‍යක්ෂවරිය යටතේ ‘Salaam Bombay’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වෙනවා. නමුත් සංස්කරණයේදී මීරා විසින් ඔහුගේ චරිතය ඉවත් කරනවා. එයින් නොසැලෙන ඉර්ෆාන් රූපවාහිනි මාලා නාටක වෙත අවධානය යොමු කරනවා. ඔහු 1994 සිට 1998 දක්වා රූපවාහිනියෙන් තම රංගන කෞශල්‍යය පිළිබිඹු කරනවා. නමුත් ඔහුට මේ සඳහා නිසි ගෙවීමක් ලැබෙන්නේ නෑ. ඇතැම් නිෂ්පාදකවරු ඔහුගේ මුහුණටම කියනවා, “ඔබගේ රංගන හැකියාව මදි, පෙනුම මදි, ඒ නිසා මුදල් ගෙවිය යුතු මට්ටමක නෑ” කියලා. සියලු කටයුතු නවතා දමා කලාව තම වෘත්තිය ලෙස තෝරාගැනීම ගැන ඉර්ෆාන් පසුතැවෙන්න ගන්නවා. ඔහු කලාවේ නියැලීමෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. නමුත් යටිහිත ඒ සඳහා ඉඩ දෙන්නේ නෑ. ඉර්ෆාන් ඉතාම අඩු වැටුප් ලබමින් දිගටම රංගන ක්ෂේත්‍රයේ නියැළෙනවා.

2001 වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ ආසිෆ් කපාඩියාගේ ‘The Warrior’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඉර්ෆාන්ව තෝරා ගන්නවා. ලොව පුරා සිනමා උළෙල ගණනාවකදී මෙම චිත්‍රපටය තිරගත වීමත් සමඟ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානය ඉර්ෆාන් වෙත යොමු වෙනවා. 2004 වර්ෂයේදී Haasil චිත්‍රපටයේ දුෂ්ටයාගේ භූමිකාවට පණ පෙවීම වෙනුවෙන් Filmfare සම්මාන උළෙලේදී දුෂ්ට චරිතයක් රඟපෑ හොඳම නළුවාට හිමි සම්මානය ඔහු දිනාගන්නවා. “ඉර්ෆාන් කැමරාව ඉදිරියේ සිටින විට දෙබස්වලටත් වඩා ඔහුගේ ඇස් වලින් ප්‍රේක්ෂකයා අමතන්නට දක්ෂයෙක්” බව විචාරකයෝ තක්සේරු කරනවා.

2007 වර්ෂයේදී තිරගත වූ ‘Life in a… Metro’ චිත්‍රපටය ඉර්ෆාන්ගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. Metro චිත්‍රපටය ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් සහ විචාරක පැසසුම් හිමි කරගන්නා අතරේම ඉර්ෆාන් එම වසරේ හොඳම සහය නළුවාට හිමි Filmfare සම්මානය දිනාගනු ලබනවා. 2007 වර්ෂයේදීම ඉර්ෆාන් ප්‍රධාන නළුවා ලෙස රඟන The Namesake ඉන්දියානු – ඇමෙරිකානු චිත්‍රපටයට බොහෝ දෙනාගේ පැසසුම් ලැබෙනවා. දෛවයේ සරදමක් වගේ The Namesake චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ දිවියේ පළමු චිත්‍රපට රංගනය සංස්කරණයේදී ඉවත් කළ මීරා නයිර්. 2008 වර්ෂයේ ඔහු රංගනයෙන් දායක වන ලෝකයේ ඉමහත් අවධානයක් දිනාගත් Slumdog Millionaire චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානිත වනවා. එහි අධ්‍යක්ෂ ඩැනී බොයිල් පවසන පරිදි ඉර්ෆාන්ට ඕනෑම චරිතයක කේන්ද්‍රය හඳුනාගැනීමේ ඉවක් තිබෙනවා. ඔහු එකම රංගනය වරින් වර ඉදිරිපත් කරද්දී පෙරටත් වඩා හොඳින් කිරීමට තරම් දක්ෂයෙක්. 2009 දී ඔහු Billu Barber චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙහි නිරත වෙනවා. ශාරුක් මෙහි දීර්ඝ ආරාධිත රංගනයක යෙදුණත් ශාරුක්ට වඩා රංගනයෙන් ඉස්මතු වෙන්නට Billu Barber තුළින් ඉර්ෆාන්ට හැකියාව ලැබෙනවා.

සිනමාව වෙනුවෙන් කළ සේවයට 2011 වර්ෂයේදී ඉර්ෆාන් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබනවා. The Lunchbox, Haider, Piku සහ මෙවර හොඳම නළුවා ලෙස Filmfare සම්මානය දිනාගැනීමට ප්‍රස්තූතය වුණු Hindi Medium යන චිත්‍රපට නැරඹීමේදී ඉර්ෆාන් රංගන විෂය කෙතරම් හොඳින් ප්‍රගුණ කර තිබෙනවාද යන්න අපට පැහැදිළි වනවා. ඔහු දිනපතා පාන්දර තුන වන තෙක් පොත් කියවනවා, තිර පිටපත් කියවනවා, ඒ වගේම තම චරිත ඉදිරිපත් කළ යුත්තේ කෙසේද යන්න සටහන් තබාගන්නවා, අභ්‍යාස කරනවා. ඔහුගේ ඒ කැපවීම නිසයි අද අතිදක්ෂයෙක් ලෙස ඇගයීමට පාත්‍ර වෙන්නේ.

ඉර්ෆාන් බොලිවුඩය හා සමගාමීව හොලිවුඩයත් ජයගන්නවා. මේ අතරින් The Amazing Spider-Man, Life of Pi, Jurassic World සහ Inferno විශේෂයි. 1993 දී පළමු Jurassic Park චිත්‍රපටය සිනමාහලක නරඹන්න ඉර්ෆාන්ට මුදලක් වෙන් කරගන්න බැරිවෙනවා, නමුත් 2015දී ඔහු Jurassic Park චිත්‍රපට මාලාවේ Jurassic World හි රංගන ශිල්පියෙක් වෙනවා. උත්සාහය, කැපවීම, නොපසුබට වීර්යය සහ තමා ගැන විශ්වාසය තැබූ දක්ෂයෙක් විදිහට ඉර්ෆාන් ඛාන් අද සිනමාවේ වැජඹෙනවා.

පසුගිය වසරේ පෙබරවාරියේදී ඉර්ෆාන් ඉතා දුර්ලභ පිළිකාවකින් (Neuroendocrine Tumor) පෙළෙන බව වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙලා. මෙම රෝගී තත්වයට ඔහු දිගින් දිගටම ප්‍රතිකාර ලැබුවේ ලන්ඩන් නුවරදී. ඔහුගේ රෝගී තත්ත්වය නිසාම ජීවිතයේ යථාර්ථය වඩාත් අවබෝධ වුණු බව ඉර්ෆාන් සඳහන් කරනවා. ඔහු දැන් ගත කරන්නේ මහා සැලසුම් ප්‍රමාණයක් නැති සරල ජීවිතයක්. නමුත් රෝගී ශරීරයට වඩා චිත්ත ධෛර්යය බලවත් නිසා උදා වන හැම දවසකම තමන්ගේ වෘත්තිය වෙනුවෙන් උපරිමය යොදවන්න ඉර්ෆාන් වෙහෙසෙනවා. “මම සාමාන්‍ය රංගන ශිල්පියෙක් වුණු දිනයක මගේ ඇතුළාන්තයේ යමක් මිය යාවි” යැයි ඉර්ෆාන් කියනවා. නමුත් ඉර්ෆාන් ඛාන් කියන්නේ අසාමාන්‍ය නළුවෙක්. ඔහු තව තවත් රංගන ක්ෂේත්‍රයේ නියැලෙමින් ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනමින් සාර්ථක ජීවිතයක් ගත කරන ආකාරය දකින්න දෙවිවරුත් කැමති වෙයි.

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *