2020 සිනමාව කොරෝනාවට බිලිවෙයි

සිනමාව….

2020 සිනමා ඉතිහාසයේ සඳහන් වනු ඇත්තේ ජගත් සිනමාවටම කණකොකා හැඬූ වර්ෂයක් ලෙසිනි. චිත්‍රපට කර්මාන්තයේ සියලු අංශ අකර්මන්‍ය වූ අතර නැවත අපේක්‍ෂාවන් තබාගත නොහෙන පමණට කඩාවැටීම බරපතළ විය. මේ කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයයි. චිත්‍රපට නිෂ්පාදනයට අදාළ සියලු කාර්යයන් නතර විය. රූපගත කිරීම් කළ නොහෙන මට්ටමකට පත්විය. චිත්‍රපට ප්‍රදර්ශනයද නවතා දැමිණි. විවිධ ආදේශක ක්‍රම ඒ සඳහා ආරම්භ වුවද සිනමාවේ බිඳවැටුම සාමාන්‍ය කරගැනීමට තරම් ඒ ශක්තිමත් වේදැයි නිගමනය කළ හැකි වනුයේ අනාගතයේදීය.

දේශීය සිනමා ඉතිහාසයේ ප්‍රථමවරට වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් එනම් 09ක් ප්‍රදර්ශනය වූයේ 1958 වර්ෂයේදීය. 1964 වනවිට එය 14 දක්වා වර්ධනය විය. 1982 වනවිට වාර්ෂික ප්‍රදර්ශනය 38කි. 2019 වසරේදීද චිත්‍රපට 29ක් ප්‍රදර්ශනය විය. වසරකට තිරගත කළ හැකි උපරිම ධාරිතාව ක්‍රියාත්මක වූ බැව් ඉන් සනාථ වේ. 2020 වසරේදී තිරගතවන්නේ චිත්‍රපට 12කි. ඒ චිත්‍රපට නිෂ්පාදනයේ අඩුවීමක් නොව කොරෝනා වසංගතයේ ඍජු ප්‍රතිඵලයකි. වසරින් වැඩි කාලයක් සිනමාශාලා වසා තිබිණි. තිරගත වූ චිත්‍රපටවලටද අපේක්‍ෂිත ආදායම් උපයන්නට හැකි වූයේ නැත. ප්‍රදර්ශනය වරින් වර නවතා දැමීමට සිදුවූ හෙයිනි. තිරගත වූ චිත්‍රපටවල වෙළෙඳ අගය විමසා බැලීමට නොහැකි වනුයේත් නුසුදුසු වනුයේත් මේ පසුබිම නිසාය.

මෙම චිත්‍රපට දොළහ සමඟ නවක සිනමාකරුවන් 8 දෙනකුගේ ආගමනය සිදුවිය (චිත්‍රපට දෙකක් අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා බැගින් සම්බන්ධ වූ සම අධ්‍යක්‍ෂණ විය). වෙළෙඳ ආකර්ෂණයෙන් යුත් චිත්‍රපට කිහිපයක්ම මේ අතර තිබුණද ඒ කිසිවකට පූර්ණ ජයග්‍රහණය අත්කරගත හැකි වූයේ නැත. ප්‍රේක්‍ෂකාගාරයේ අඩුවීම පසුගිය වසර කිහිපයේම අඛණ්ඩ ප්‍රවණතාවක් වුවද මේ වසරේ සිදුවූයේ කොරෝනා වසංගත බිය හේතුවෙන් ප්‍රේක්‍ෂකයන් සිනමාශාලාවලින් බැහැරව සිටීමයි. හෝන් (සමීර වක්වැල්ල), සේද මාවතේ (හර්ෂ උඩකන්ද), ඊතලය (නාලක විතානගේ), සෙලීනා (චන්දන එදිරිසිංහ, පූජිත ගුණතිලක). විනෝදාත්මක සිනමාවට අවශ්‍ය අංගෝපාංගවලින් යුත් චිත්‍රපටයි. එහෙත් ඒ කිසිවක් අංගසම්පූර්ණ විනෝදාත්මක චිත්‍රපට බවට පත් වූයේ නැත. හෝන් හා සෙලීනා චිත්‍රපට මඳක් ඉදිරියෙන් සිටිනුයේ ඉදිරිපත් කිරීමේ විලාසයේ තිබූ වෙනස නිසයි.

වසර ආරම්භ වන්නේ දැවැන්ත චිත්‍රපටයක් වූ සුනාමි සමගිනි. දක්ෂතම සිනමාකරුවකු වන සෝමරත්න දිසානායකගේ නිර්මාණයක් වීමත් පූර්ව ප්‍රචාරයේ ආකර්ෂණශීලී බවත් නිසා සුනාමි ප්‍රේක්‍ෂකයන් තුළ විශාල අපේක්‍ෂාවන් දල්වා තිබිණි. සිනමා බස, වියරණය දැක්මෙන් සුනාමි අසාර්ථක චිත්‍රපටයක් නොවේ. එහෙත් එහි ගැබ්වූ දැවැන්ත බවට සරිලන ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනුමට එය සමත් වූයේ නැත. එයට බලපෑ, චිත්‍රපටය තුළින්ම මතු වූ, හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් අධ්‍යක්‍ෂවරයාගේ මූලික අවධානය සුනාමි උදම් රළපෙළ හා ඉන් සිදුවූ අප්‍රමාණ විනාශය ගොඩනැගීම සඳහා යොමුවීමයි. මේ දර්ශනපෙළ සිනමාශාලාව තුළදී සැබෑ උදම් රළ පෙළක අත්දැකීම අප වෙත ගෙන ආවේය. මේ දර්ශන ජාත්‍යන්තර තලයේ චිත්‍රපටයකට සමාන කළ හැකි මට්ටමක තිබිණි. දෙවන හේතුව වූයේ උදම් රළපෙළ යථාවත් ලෙස ප්‍රතිනිර්මාණයට දැරෙන උත්සාහය අතරතුර මූලික කතා පුවත පිළිබඳ අවධානය ගිලිහී යාමයි. චිත්‍රපටයේ අර්ථ රඳා පැවතියේ දරුවා හා සම්බන්ධ මූලික ගැටුමේයි. එහෙත් එහි සියුම් ස්ථාන සිනමාකරු වෙතින් මගහැරී තිබේ. මේ සිදුවීම් ප්‍රවෘත්ති වාර්තාවක් දක්වා ලුහුවන අවස්ථාද දැකගත හැකි විය. මූලික අර්ථ ලුහු වනවිට ප්‍රේක්‍ෂක ආකර්ෂණය බිඳ වැටෙයි. එසේම තවමත් මෙරට සිටින්නේ සුනාමියෙන් විනාශ මුඛයට ගිය පරම්පරාවකි. මුහුදුබඩ තීරයේ ජීවත්වන කිසිවෙක් නැවත ඒ ව්‍යසනය දකින්නට කැමති වෙතැයි සිතිය නොහේ. මේ නිසා මෙය කාලයට පෙර නිර්මාණය වූ චිත්‍රපටයක් ලෙස ගතහොත් එය සාවද්‍ය නොවේ. මෙහෙයින් මේ දැවැන්ත චිත්‍රපටය සිනමාශාලාවේදී අසරණවීම කනගාටුවට කරුණකි. සමහරවිට තව වසර ගණනාවකින් මේ චිත්‍රපටය කිසියම් ප්‍රේක්‍ෂක අනුග්‍රහයක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකියි.

සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ තැනූ සුපර්ණා ද අර්ථවත් තේමාවක් විෂය කරගන්නකි. එහෙත් ජාන මංකොල්ලය පිළිබඳ තේමාව චිත්‍රපටය තුළ පවතින්නේ හුදු අදහසක් ලෙසට පමණි. තිර රචනයෙන් පැනනගින අවුල් සහගත බවින් මිදෙන්නට රූප සත්කාරයේදී ද අධ්‍යක්‍ෂවරයාට හැකි වූ බවක් පෙනෙන්නේ නැත. උපයුක්ත රීතිය හා සිනමා භාවිතය අවුල් සහගත වනවිට අර්ථ සම්පාදනය ද කඩා වැටේ. ඔහු භාවිත කරන සිදුවීම්වල ඒකමිතිය බිඳීම නව අඛ්‍යාන ශෛලියක ලක්‍ෂණවලට වඩා අතරමංවීමක සලකුනු විදහා දක්වයි. චින්තන ධර්මදාසගේ ඇවිලෙන සුලුයි හා කුෂාන් වීරසිංහගේ සූස්ති, වීදි චිත්‍රපට ප්‍රවර්ගයට අයත් සේ සැලකිය හැකියි. ඇවිලෙන සුලුයි හුදු පුද්ගලයන් දෙදෙනකුගේ අධ්‍යාත්මයන්ට මූලිකත්වය දෙන අතර සූස්ති පුද්ගලයන් දෙදෙනකුගේ චාරිකාව සමග සමාජ දේශපාලන සංසිද්ධීන් නිරීක්‍ෂණයට අවකාශ සලසා ගනී. අර්ථ සම්පාදනයේදී ඇවිලෙන සුලුයි චිත්‍රපටයට වඩා සූස්ති චිත්‍රපටයේ වෙනසක් තිබුණද බස භාවිතයෙන් ඉදිරියෙන් සිටින්නේ ඇවිලෙන සුලුයි චිත්‍රපටයයි. අවසාන අදියරට එළබෙත්ම එතෙක් සීමාවී තිබූ චරිත ලක්‍ෂණවලින්ද ආකෘතියෙන්ද මිදීම මේ ප්‍රවර්ගයේ චිත්‍රපටවල ප්‍රමුඛ ලක්‍ෂණයක් වුවද ඇවිලෙන සුලුයි හා සූස්ති චිත්‍රපට දෙකම අවසන් වන්නේ එම සීමාවන් තුළම සිරගත වෙමිනි.

ප්‍රේමය නම් චිත්‍රපටයෙන් අප තුළ දැල්වූ අපේක්‍ෂාවන් රූකඩ පැංචි චිත්‍රපටයෙන් නම් මල්පල ගැනුනේ නැත. වින්දන හා කල්පනා ආරියවංශ සොහොයුරන්ගේ මෙම නිර්මාණය වඩා වෙනස් විෂයයක් පාදක කරගත්තකි. සුරංගනා සිහිනමය ආකෘතියක රඳවා ගනිමින් විචිත්‍ර ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීම සිනමාකරුවන්ගේ අභිමතය වී නම් ඒ කාර්යය සාධනය කරගැනුමට හැකිවෙයි. එහෙත් සැබෑ ලෝකය හා සම්බන්ධ සිදුවීම් විකාශනයේදී සිහිනමය ලෝකය හා සමඟ ඇතිවන ගැටුම ඇසුරින් මතුවන සීමාවන් ජයගැනුමට නම් ඔවුන්ට හැකි වී නොමැත. ප්‍රධාන චරිත තබාගැනෙන පදනම ඉතා සියුම් බැවින් එයට හානි පැමිණෙන අවස්ථාවක සම්පූර්ණ ආකෘතියම බිඳවැටෙන්නට තිබෙන අවකාශ බහුලය. සිනමා බස භාවිතයෙන් මේ ගැටුම ජයගැනුමට දැරෙන ප්‍රයත්නයද සපුරා සාර්ථක වන්නේ නැත. (මිස් ජෙනිංගස් විචාරය ඉදිරියේදී පළවේ)

වසරේ වඩාත්ම කැපී පෙනෙන නිර්මාණ වනුයේ විසාකේය චන්ද්‍රසේකරම්ගේ පාංශු සහ සරත් කොතලාවල, කුමාර තිරිමාදුර අධ්‍යක්‍ෂණය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටයි. මවකගේ කෝපය, වෛරය මෙන්ම දයාබර බව, කුළුණුබර බව පිළිබඳ දෘෂ්ටාන්තයක් වන පාංශු දැක්ම විසින් ද පරිණත බවක් උසුලයි. අතුරුදන් වූ තම පුත්‍රයා වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමට වෙර දරන, කුලභීන ලෙස සමාජ සම්මත ස්ත්‍රියකගේ චරිතය කුදුමහත්  සමාජ විෂමතාවන්හි සංඥාවක් බවට පත්කරන්නට සිනමාකරු සමත් වෙයි. ඔහු භාවිත කරන සංඥ‌ා, රූපක චරිතවල අධ්‍යාත්ම ස්පර්ශ කිරීමට තරම් ප්‍රබලය. කිසියම් වාර්තාමය ස්වභාවයක් වරින් වර ඉස්මතුවීම ආඛ්‍යානයට බාධා කරතත්‍ ඉන් එකමිතිය බිඳෙන්නේ නැත. පාංශු අතීතයේ අවදියක පැවති භීෂණයත් මර්දනයත් පිළිබඳව මෙතෙක් නිර්මාණය වූ හොඳම චිත්‍රපටය සේ හැඳින්වීම යුක්ති යුක්තය.

වසරේ තිරගත වූ වඩා වෙනස් අත්දැකීමක ද රීතියක ද පිහිටි සිනමා කෘතිය ද නිව්ස් පේපර් ය. එම චිත්‍රපටයේ වීදි ප්‍රවර්ගයේ ලක්‍ෂණද විසිර පවත්නේය. සාධාරණය සොයා දෙමිතුරන්ගේ චාරිකාව සිදු කෙරෙනුයේ සමාජය හරහාය. මත ගොඩනගන වෘත්තිකයන්ගේද ඉහළ සමාජය ලෙස සම්මත ප්‍රභූන්ගේද රෙදිපිළි ගලවා දමා නිරුවත් කරන අපූරු යථාර්ථවාදී නිර්මාණයක ස්වභාවය ඉන් ඉස්මතු වෙයි. නැවත හැරී අප දෙස, අපගේ ආකල්ප වේස්ටාවන් හා ඇගයුම් දෙස විමසුම් නෙතින් බලන්නට පොළබවන නිර්මාණයක් අප අත්දුටුවේ කාලයකට පසුවයි. සිනමාකරුවන් ගෙන එන සමාජ චිත්‍රය අතිශයින් කටුකය. සංවේදීය. එහිදී රූපණය, සිනමා ආකෘතිය හා සංගීතයේ අපූරු ඒකාබද්ධතාවක්ද දැකගත හැකියි. පුළුල් ප්‍රේක්‍ෂක ආකර්ෂණයකට ලක්විය හැකිව තිබූ නිර්මාණයක් කොරෝනා වසංගතයට බිලිවීම අතිශයින් දුඃඛදායි සිදුවීමකි.

ද නිව්ස් පේපර්, පාංශු හා ඇවිලෙන සුලුයි තිර රචනයෙන්ද සුනාමි (විශ්ව බාලසූරිය), සුපර්ණා (ධනුෂ්ක ගුණතිලක), ඇවිලෙන සුලුයි (පාලිත පෙරේරා), සූස්ති (චින්තක සෝමකීර්ති), ද නිව්ස් පේපර් (චන්දන ජයසිංහ), පාංශු (දිමුතු කාලිංග), රූකඩ පැංචි (ජාන් සෙර්බර්ගර්) කැමරාකරණයෙන්ද සුනාමි (අජිත් රාමනායක), සූස්ති (ඩිමන්ත මහානාම), පාංශු (සිතුම් සමරජීව), ඇවිලෙන සුලුයි (සමන් ඇල්විටිගල) සංස්කරණයෙන්ද ද නිව්ස් පේපර් (ගයාත්‍රි ප්‍රේමදාස) සංගීතයෙන්ද ඉදිරියෙන්ම සිටින චිත්‍රපටයි. සුනාමි කලා අධ්‍යක්‍ෂණය ද (සුනිල් විජේරත්න, ජානක ප්‍රසාද්) සුනාමි හා ද නිව්ස් පේපර් (අරුණ ප්‍රියන්ත) ශබ්ද සැලසුම ද ප්‍රශස්ත තලයක තිබේ. ධර්ශන් ධර්මරාජ්, නිරංජනී ෂන්මුගරාජා, මෙනාරා වීරතුංග, හිමාලි සයුරංගි, බිමල් ජයගොඩි (සුනාමි), සමනලී ෆොන්සේකා (ඇවිලෙන සුලුයි, සූස්ති), ශ්‍යාම් ප්‍රනාන්දු (ඇවිලෙන සුලුයි), අනුජ් රණසිංහ (සේද මාවත), කැළුම් ආර්යන් (ඊතලය), කුෂේන්‍යා ෆොන්සේකා (රූකඩ පැංචි), කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, මාෂා සිරිවර්ධන (ද නිව්ස් පේපර්), දිල්හානි ඒකනායක (පාංශු) වසරේ දක්‍ෂතා ප්‍රකට කළ රූපණවේදීන්ය. වසරේ විශිෂ්ටම රංගනය හිමිවන්නේ නීටා ප්‍රනාන්දුටය (පාංශු). විසාකේය චන්ද්‍රසේකරම් (පාංශු), කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල (ද නිව්ස් පේපර්) අධ්‍යක්‍ෂණයෙන් ඉදිරියෙන් සිටිති.

2021 වසරේ සිනමාවේ ඉරණම පිළිබඳ පුරෝකථනය අසීරුවනුයේ කොරෝනා වසංගතයෙන් රට තවමත් මිදී නොමැති හෙයිනි. අඳුරු ශාලාවක දැවැන්ත තිරයක පතිත වන ජීවිතයට වඩා විශාල රූප කෙරෙහි වන ප්‍රේක්‍ෂක බැඳීම බිඳ නොවැටෙනු ඇති බවට විශ්වාස තබාගතහොත් පමණක් සිනමාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇත.

ගාමිණී වේරගම.
ලංකාදීප රසවින්දන අතිරේකයෙන් උපුටා ගැනීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *