ඩකා සහ ජායිපූර් යන ‘හිතුමතේ ජීවිතේ’/ ‘සිංගල් ටම්බලර්’

2021 වසරේදී  ශ්‍රී  ලාංකේය නාමය යටතේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත පළමු දීර්ඝ වෘත්තාන්ත සිනමාපට යුගලය බවට ගෘෘප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි නිර්මාණය කළ “හිතුමතේ ජීවිතේ”  (The Wandering Life) සහ මහාචාර්ය සුමති සිවමෝහන් නිර්මාණය කළ ‘සිංගල් ටම්බලර්’ (Single Tumbler) පත්ව තිබේ.

 ඒ අනුව මේ මස 16 වැනිදා සිට 24 වැනිදා දක්වා බංගලාදේශයේ පැවැත්වෙන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී හිතුමතේ ජීවිතේ චිත්‍රපටය තිරගත වීමට නියමිත අතර මේ මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘සිංගල් ටම්බලර්’ ප්‍රදර්ශනය වේ. 

කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් ඩකා සිනමා උළෙල මෙවර හයිබි්‍රඩ් ක්‍රමයටත් (Hybrid Format  = Theatrical Screenings + Online Screenings) ජායිපූර් සිනමා උළෙල ඔන්ලයින් ක්‍රමයටත් පැවැත්වේ. මෙහිදී රටවල් 65ක් නියෝජනය කරමින් සිනමාපට 226ක් ඩකා සිනමා උළෙලේදී  ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර රටවල් 50ක් නියෝජනය කරමින් සිනමාපට 250කට ආසන්න සංඛ්‍යාවක් ජායිපූර් සිනමා උළෙලේදී  ප්‍රදර්ශනය වේ. 

සිනමා අංශ 10කින් යුක්ත  ඩකා සිනමා උළෙලේ  ලෝක සිනමා අංශය (Cinema of the World) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ හිතුමතේ ජීවිතේ සිනමාපටය තිරගත වේ. එසේම සිංගල් ටම්බලර් සිනමාපටය දීර්ඝ වෘත්තාන්ත  සිනමාපට සඳහා වෙන්වූ තරගකාරී අංශය (Feature Fiction Competition) යටතේ ජායිපූර් උළෙල නියෝජනය කරනු ලබයි. 

සිංහල භාෂාවෙන් නිර්මාණය වී ඇති ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය සහ දමිළ භාෂාවෙන් නිර්මාණය වී ඇති ‘සිංගල් ටම්බලර්’ සිනමාපටය නියෝජනය කිරීමට නියමිත පළමු අන්තර්ජාතික සිනමා උළෙල පිළිවෙළින් මෙකී ඩකා හා ජායිපූර් උළෙල වේ.     

දශක තුනකට ආසන්න ඉතිහාසයට හිමිකම් කියන ඩකා සිනමා උළෙල නියෝජනය කරන 23 වැනි ශ්‍රී  ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය වේ. එසේම ‘සිංගල් ටම්බලර්’ සිනමාපටය ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන 04 වැනි ශ්‍රී  ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය බවට පත්වේ. 

1992 වර්ෂයේදී ආරම්භ වූ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ 19 වැනි අදියර සහ 2009 වර්ෂයේදී ආරම්භ වූ ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ 13 වැනි අදියර මෙම වසරේදී පැවැත්වේ. මෙහිදී වත්මන් දකුණු ආසියානු කලාපය තුළ සක්‍රියව පවතින උළෙල අතරින් සිවුවැනි පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට ඩකා අන්තර්ජාතික සිනමා උළෙල සැලකේ.  

සිය නැඟණිය දූෂණය කොට මරාදැමූ ඝාතකයන්ගෙන් පළිගනු ලැබූ සහෝදරයකු වටා ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටයේ කතාව ගෙතී ඇත. විහාරා සමරසිංහ නිෂ්පාදනය කළ මෙම  සිනමාපටය දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මාරියන් වෙත්තසිංහ, දමිතා අබේරත්න, ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, පාලිත සිල්වා, සරත් චන්ද්‍රසිරි, අනුරුද්ධිකා පාදුක්කගේ, හර්ෂිකා රත්නායක යන අයගේ රංගනයෙන් හැඩවේ. 

උදේනි සමන් කුමාර ලියූ හිතුමතේ ජීවිතේ නවකතාව පාදක කොටගනිමින් මෙම  චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේ ඉන්දික අතුල ප්‍රියන්තය. කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීපුත්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීත අධ්‍යක්ෂණයෙන් සාගර විජේසිංහත්, කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් ද සිල්වාත්, ශබ්ද සංයෝජනයෙන් හා වර්ණ සංකලනයෙන් දිලාන් ගුණවර්ධනත්, වස්ත්‍රාභරණ 

නිර්මාණයෙන් රම්‍යා රණසිංහත්, අංග රචනයෙන් ප්‍රියන්ත ඊශ්වරත්, විශේෂ දෘශ්‍ය ප්‍රයෝගවලින් ජයසිංහ වීරක්කොඩිත්, නිෂ්පාදන කළමනාකරණයෙන් විරාජ් වර්ණසූරියත්, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රියංකර රත්නායක සහ විධායක නිෂ්පාදනයෙන් චන්දිමාල් පොල්කොටුවත්  ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයට දායකත්වය ලබාදී ඇත.  

ශ්‍රී  ලංකාවේ පැවැති යුද ගැටුම් නිමා වීමත් සමඟ සිය පවුලේ සමාජිකයන් සොයා සිය රට පැමිණි දමිළ කාන්තාවක් වටා ‘සිංගල් ටම්බලර්’ සිනමාපටයේ කතාව ගෙතී ඇත.

 නිර්මලා රාජසිංහම්, ශාමිනි මසලමනි, ආර්. ලෝගනාදන්, මීරියම් නවනීන්ද්‍රන්, ජෙනෝෂාන් ජෙයරත්නම් සහ අහල්යා ඩේවිඩ් යන අය චරිත මවන මෙම සිනමාපටය ‘සිරකවුනි කලා හා මාධ්‍ය මධ්‍යස්ථානය’ (Sirahununi Centre for Arts and Media) විසින් නිෂ්පාදනය කොට ඇත. කැමරාකරණයෙන් සුනිල් පෙරේරාත්, සංස්කරණයෙන් හා ශබ්ද සැලසුම්කරණයෙන් එල්මෝ හැලිඩේත්, කලා අධ්‍යක්ෂණයෙන් ලාල් හරීන්ද්‍රනාතුත් ‘සිංගල් ටම්බලර්’ චිත්‍රපටයට දායක වී ඇත. 

“හිතුමතේ ජීවිතේ” සිනමාපටය ක්‍රිෂාන්ත මනම්පේරිගේ කුලුඳුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් එළිදකින අතර, ‘සිංගල් ටම්බලර්’ සිනමාපටය සුමති සිවමෝහන් නිර්මාණය කළ තෙවැනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය වේ. 2013 වසරේදී තිරගත වූ ‘ඉංගිරුන්තු’ (Here and Now) සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) ඇයගේ මුල් සිනමා නිර්මාණ වේ.    

සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *