සූර්යා ගේ අලුත්ම එක ‘Soorarai Pottru’

කාලෙකට එකම චිත්‍රපට නාමයක් නිරන්තරයෙන්ම ඇස ගැටෙනවා. ඒ අනුව හැමෝම එකම වෙලාවක එකම චිත්‍රපටයක් ගැන කතා කරපු අවස්ථාවක් ගැන මෑත කාලීනව දකින්නට ඇති හොඳම උදාහරණයක් තමයි සූර්යා ගේ නවතම චිත්‍රපටය ‘Soorarai Pottru’. විශේෂයෙන්ම සූර්යා ගෙ ප්‍රබල රංගනයක් නිසාවෙන් බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ සිත් ගත් බවක් පේනවා. ඒ වගේම කතන්දරයත් Inspirational සහ Motivational පැත්තට බර සහ සංවේදී කාරණාවන් රැසක් එක්ක ගලා යන්නක්. දමිළ සිනමාවෙන් මින් පෙරදී හමු වී නැති, අධ්‍යයනය කර බලන්නට උනන්දුවක් ජනිත කරවනා විෂයයක්.

කතන්දරයට පාදක කරගෙන තිබෙන්නේ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඉතා අඩුම පිරිවැයකට ගුවන් ටිකට් පත් නිකුත් කිරීම නිසාවෙන්, ඉන්දියාවේ ප්‍රථම low-cost carrier එක විදිහට ඉතිහාසයට එක් වෙමින්, ඉන්දියාව තුළ සැබෑ පෙරළියක් සිදු කළ Air Deccan (වර්තමානයේ දී Simplifly Deccan) නම් ගුවන් සමාගමේ නිර්මාතෲවරයා වන G.R. Gopinath ගේ චරිතාපදානයයි. නමුත් මෙහිදී බොහෝ සෙයින් අතින් දමනා ලද කාරණා රැසක් එක්ක උපරිම Dramatize බවක් තමයි සැබෑ කතන්දරයක් වෙනුවට දකින්නට ලැබෙන්නේ. අන්න එතනදී මට පෞද්ගලිකව මේ කතන්දරයේ සැකැස්ම එක්ක එකඟ වෙන්නට අපහසුයි. ගොඩක් වෙලාවට මෙවැනි motivational කතන්දර තුළට අනවශ්‍යාකාරී නාට්‍යානුසාරයන් එක් කරනා විට සැබෑ කතන්දරයේ ගුණාත්මක බවට හානියක් සිදුවෙනවා.

කොහොම නමුත් මෙතනදී චිත්‍රපටයේ කතන්දරය වෙනමත්, පාදක කරගත් සැබෑ චරිතය වෙනමත් ලෙසින් දෙපසක තබමින්, චිත්‍රපට කතන්දරය පමණක් තනිවම රසවිඳිනා එකයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. Gopinath විසින් ඉන්දීය domestic ගුවන් ක්ෂේත්‍රය තුළ සිදු කළ පෙරළියේ පෙළහර චිත්‍රපටය තුළින් කියාපානා බවම පමණක් අවබෝධයට නතු කරගත්තාම ඇති කියන සාධකය පමණක් සිහිතබා ගත්තාම ඇති. පෞද්ගලිකව කතන්දරයේ සැකැස්ම එක්ක එකඟ නොවෙනවා වුවත්, පෞද්ගලික කාරණා නිසාම චිත්‍රපටය තුළින් අපූරු රසාස්වාදයක් ලැබූ බවත් සඳහන් කරන්නට ඕන.

ගුවන් ගමනක් කියන්නෙ හැමෝගෙම හීනයක්. මගේ ප්‍රථම ගුවන් ගමන වෙනුවෙන් සෑහෙන කලක් බලා හිඳින්නට සිදුවුණා. ඒ අතරේ සෑහෙන කලකට පෙර මම දන්නා ආච්චිලා දඹදිව වන්දනාවෙ ගියා. ඇන්ටිලා මැදපෙරදිග ගෘහසේවය වෙනුවෙන් පිටත්ව ගියා. මල්ලිලා ක්‍රීඩා තරඟ සඳහා විදෙස් ගතවුණා. ඒ හැමෝම තමන්ගේ ප්‍රථම ගුවන් ගමනේ අත්දැකීම ගැන රස කර කර කියන කතා ආසාවෙන් අහන් ඉන්නට පමණක් සිදුවුණා. අන්තිමේදි හීනය හැබෑ කරගනිමින් එක් ඉන්දීය චාරිකාවක් තුළදී ගුවන් යානා 4 ක පියාසර කරන්නට අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ මම මේ කතන්දරය එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙනවා. වර්තමානයේදී ලොව විශාලතම low cost carrier ගුවන් සේවය වන ඇමරිකාවේ Southwest Airlines සමාගම අත්කරගත් සාර්ථකය ආභාශයෙනුයි Gopinath විසින් Air Deccan ආරම්භ කරන්නේ. එය ආදර්ශයක් කරගෙනයි පසුකලෙකදී SpiceJet, GoAir, IndiGo සහ JetLite වැනි සේවාවන් ඉන්දියාව තුළ බිහිවෙන්නේ.

මගේ ප්‍රථම ගුවන් ගමනත් අඩු පිරිවැයකින් සිදුකරන්නට උපකාරී වෙන්නේ එලෙස බිහිවූ IndiGo සේවාව නිසාවෙනුයි. ඒ අනුව චිත්‍රපටය තුළින් මතුකරවන්නට උත්සහ කරනා එක් පැතිකඩක් සම්බන්ධයෙන් මගේ හිතෙත් උණුසුම් හැඟීමක් ජනිත කරා. ඇඟට පතට නොදැනෙන මිලකට, ලොකු පොඩි හැමෝටම ගුවනින් යන්නට වරම් ලැබීමක් කියන්නෙ මොනතරම් වාසනාවන්ත කටයුත්තක් ද කියන එක කතන්දරය තුළින් ලස්සනට ඉදිරිපත් කර තිබෙනවා.ගුවන් ගමනක් කියන්නෙ සාමාන්‍යයෙන් වියදම් අධික කටයුත්තක්. ඉන්දියානු භූමියේ විශාලත්වය හේතුවෙන් ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට ගමන් කරන එක රටකින් රටකට ගමන් කරනවා හා සමානයි. පොදු ප්‍රවාහන සේවාවන් විදිහට සමහර ගමනාන්ත කරා යන දුම්රිය සහ බස් රථ වලට එක දිගට දින ගණනාවක් පුරාවටම ගමන් කරන්නට සිදුවෙනවා. මේ අපහසුකාරී බවට තිබෙනා එකම හොඳම විසඳුම වෙන්නෙ ගුවන් යානායි. නමුත් ගුවන් ප්‍රවේශපත් වල මිලෙහි පවත්නා අධික බව නිසාවෙන් එය සීමිත පිරිසක් අතරේ පමණක් වලංගු වරප්‍රසාදයක් බවට පත්වෙනවා. තම නිවසින් සහ පවුලෙන් බොහෝ දුර බැහැරක ඉන්නා අයෙක්ට අත්‍යාවශ්‍යම කාරණයකට හදිසියේම ගම් රට බලා නිවස කරා එන්නට සිදුවීමේදී ඒ සඳහා ගුවන් ගමනක යෙදෙන්නට නොහැකිවීමෙන් සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් වන අතිශය සංවේදී කාරණාවක් චිත්‍රපටයට ඇතුළත් කර තිබෙනවා.

දුම්රිය ප්‍රවේශපතක මිලට සමාන වූ ගුවන් ප්‍රවේශපත්‍රයක් යනු එක් අතකින් හැමෝටම ගුවනින් යන්නට අවස්ථාවක් වගේම, අඩු මුදලකින් වේගවත් ප්‍රවාහන පද්ධතියක් හා සම්බන්ධ වන්නට හැමෝටම ලැබෙනා වටිනා අවස්ථාවක්. නගරයකින් තවත් නගරයකට ආරක්ෂිතව පැය කිහිපයක් ගුවනින් පියාසර කරන්නට ඇයි මෙච්චර වියදමක් කියන ප්‍රායෝගික තර්කය සාමාන්‍ය ජනයාට වඩා හොඳින් අවබෝධ කරවීමක් චිත්‍රපටය තුළින් සිදුකරනවා. ඒ වගේම නව අදහස් සහ මනා හැදෑරීමක් ඔස්සේ අප්‍රතිහත ධෛර්‍යයකින් යුතු ව්‍යවසායකයෙක් තමන්ගේ ඒකායන අරමුණක් කරා යන හැටි සම්බන්ධයෙන් වන විස්තර වඩාත් තදින් දැනෙන ආකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා.

ගුවන්‍ යානා සමාගමක් ආරම්භ කිරීමේ ක්‍රියාපටිපාටිය කියන්නෙත් කිසි දිනෙක අධ්‍යයනය කර නොතිබූ විෂය පථයක්. ඒ ගැන යම් හැදෑරීමක් කරන්නටත් මේ චිත්‍රපට කතන්දරය උපයෝගී වුණා. ඒක අමතර ප්‍රතිලාභයක්.කලකට පසු සූර්යාගෙන් ප්‍රබල රංගන වින්‍යාසයක් දකින්නට ලැබෙනවා. Maheshinte Prathikaaram (2016) මලයාලම් චිත්‍රපටයෙන් දුටු අපර්ණා ව වෙනස්ම ස්වරූපයකින් දකින්නට ලැබීමත් විශේෂයි. ඒ අනුව සූර්යා සහ අපර්ණා ගෙ සුසංයෝගය වඩාත් ආකර්ෂනීය එකක් විදිහට හඳුන්වන්නට පුළුවන්. හොඳම අධ්‍යක්ෂකවරිය විදිහට ෆිල්ම්ෆෙයා සම්මානය දිනූ Irudhi Suttru (හින්දි බසින් Saala Khadoos) ක්‍රීඩා චිත්‍රපටය නිර්මාණය කල Sudha Kongara විසින් මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා.

-ලක්ෂ්මන් අරංවල –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *