මුරලි චරිතය සිනමාවට. නළුවා විජය සේදුපති?

මෙරට ක්‍රිකට්වල පොඩි, ලොකු සැවෝම ආදරය කරති. පොදුවේ ක්‍රිකට් කෙරෙහි බැඳීමක් ඇති වූව ද ඔවුන් සෙනෙහස දක්වන, ගරු කරන එක් විශේෂ චරිතයක් සියල්ලගේම සිත්වල සිටිති. අතීත ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ මාගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් හඳුන්වා දිය හැක. සිනමාවට සම්බන්ධ නැතත් අද දිනයේ බොහෝ සිනමා වෙබ් අඩවි සැරසුණේ මුරලිගේ ඡායාරූපවලින්ය.

ඒ ව්‍යාපාරිකයෙකු වන මුරලි චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට එකගවීමක් හෝ රංගනයෙන් දායක වීමක් සම්බන්ධයෙන් නොවේ. එනම් එම වෙබ් අඩවිවල සඳහන් වූයේ මුරලිගේ චරිත කතාව අලලා ගොඩනැගෙන 800 චිත්‍රපටිය සම්බන්ධවයි. සිනමාවට මෙන්ම ක්‍රීඩාව ආදරය කරන උදවිය මෙය අලුත් පුවත් වූවත් මට නම් එය එතරම් විශේෂිත පුවතක් නොවූයේ මා මේ පිළිබඳව මීට වර්ෂයකට පෙර දැන සිටි නිසාය. ඒ සම්බන්ධයෙන් මුහුණුපොතේ සටහනක් ද තැබු බව මට මතකය.

මේ වනවිට එය 800 ලෙස නම් කර ඇති අතර බොහෝ දුරට මෙම චිත්‍රපටියේ රූගත කිරීම් මෙම වසරේ අග ආරම්භ කිරීමට නියමිත බව ද ඉන්දීය සිනමා ආරංචි ඔස්සේ දැනගත හැකි විය. විශාල පිරිවැයක් යොදා මෙය නිෂ්පාදනය කිරීමට ද නියමිතය. ශ්‍රී ලංකාව ඉන්දියාව මෙන්ම එංගලන්තයේ බොහෝ විදේශීය රටවල මෙහි රූගත කිරීම් සිදු කිරීමට මේ වනවිටත් සූදානම් කර ඇත. එහි සුපිරි දගපන්දු යවන්නාගේ චරිතයට ‘මක්කල් සෙල්වන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන විජය සේදුපති විසින් පණ පෙවීමට යන බවයි අද දින සිනමා රසිකයින්ට දැනගැනීමට ලැබු නවතම පුවත වූයේ.

මීට වර්ෂයකට පෙර මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වූ අතර එහි ප්‍රධාන නළුවා සම්බන්ධයෙන් වාර්තා නොවිය. එම චිත්‍රපටිය මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව හා ජීවිතය එකිනෙක යා කර ‘චෙන්නෛ’ ‘600028’ යනුවෙන් චිත්‍රපටි ද්වීත්වයක් අධ්‍යක්ෂණය කළ වෙන්කට් ප්‍රභු විසින් අධ්‍යක්ෂණ කටයුතු භාරගෙන ඇති බවටද පසුගිය වසරේදී මාධ්‍ය වාර්තා පළවිය. නමුත් මේ දක්වා අදාළ පුවත සම්බන්ධයෙන් වෙන්කට් ප්‍රභූ හා විජය සේදුපති යන ද්විපාර්ශවයන් නිහඬව සිටිති.

සමහර විට මෙම නිහඬතාවය තුළ යම් යටිකූට්ටු ක්‍රියාවක් තිබෙන්නට හැකිය. අප දන්නේ මුරලිගේ ජීවිතයෙන් සියයට 25ක කොටසක් පමණය. යුද්ධ කාලයේදී මුරලිගේ පවුලේ උදවිය මුහුණ දුන් අකරතැබ්බයන් මෙන්ම 83 කළුජූලිය මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් අප නොදනිමු. සමහර අවස්ථාවලදී දමිළ මාධ්‍ය සමඟ පැවැති සාකච්ඡාවලදී ඔහුගේ මව මේ සම්බන්ධයෙන් හඬ අවදි කළේ ඉතා දුක්මුසු ආකාරයට බව මට තවමත් මතකය. කළුජූලිය අවස්ථාවේදී මුරලිගේ පියා ඉන්දියාව බලා යාමට තීරණය කළේ නම් අද අපට මුරලි අපේ එකෙක් යනුවෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. එමෙන්ම ඔහුගේ පියා විසින් ගනු ලැබු දැඩි තීරණය හේතුවෙන් මුරලි අපේ එකෙක් යනුවෙන් අද ආඩම්බරයෙන් අපට කීමට හැකිය බොහෝ විට මේ සම්බන්ධයෙන් ද චිත්‍රපටිය හරහා කතා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ක්‍රිකට් ලොව මා දන්නා තරම් ඔහු තරම් අභියෝගවලට මුහුණ දුන් ක්‍රීඩකයෙකු සිටිය නොහැක. මුරලි එම අභියෝගවලට ඉතා සාර්ථක මුහුණ දුන්නේය. එයට එකල මෙරට ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගෙන් සහ ක්‍රීඩකයින්ගේ ලද සහය අතිමහත් බව මුරලි විසින් නිතරතුරුව මතක් කරනු ලබන්නේ ඔවුන් කෘතගුණ සැලකීම වශයෙන්ය. මුරලිගේ බාහුවේ ඇති ආබාධය නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කිහිප වරක්ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂාවට ලක් කරනු ලැබිය. දුස්රා පන්දුව පාකිස්ථානු කණ්ඩායමේ ශක්ලීන් මුෂ්ටාක් විසින් සොයාගත්ත ද ඉන් උපරිම ඵල නෙලා ගනු ලැබුවේ ද මුරලිය. මොහුගේ චරිතාප්‍රදානය චිත්‍රපටියක් ලෙස නිර්මාණය වීම තුළින් සිනමාවේදීයාට අභියෝගවලට මුහුණ හැකි ආකාරය ඒත්තු ගැන්වීමට හැකි බවට ඉන්දිය මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ වනවිට විජය සේදුපති විසින් මීට පෙර භාරගත් සංග තමිලන් (ආදි ද්‍රවිඩයා) හා කඩෙයිසි විවසායි (අවසන් ගොවියා) යන චිත්‍රපටි ද්වීත්වයේ රූගත කිරීම්ලට සම්බන්ධව සිටින බැවින් මෙම චිත්‍රපටියේ රූගත කිරීම් තවදුරටත් ප්‍රමාදවීමට ඉඩ ඇත එමෙන්ම තවමත් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විජය සේදුපති කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව නැවතත් මතක් කළ යුතුය.

මෑතකාලයේදී ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චරිතාප්‍රදානවලට වැඩි ඉඩක් ලැබු බව කිය යුතුය එමෙන්ම එම බයිස්කොප් නිර්මාණ තුළින් දැවැන්ත ආදායම් ඉපැයීමට ද හැකි විය. සියලු නිර්මාණ බොක්ස් ඔෆීස් වාර්තා තබන ලද්දේ ඇස් පිය ගසන වේගයට වඩා වේගයකිනි. කෙසේ වෙතත් විදේශීය ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් නිර්මාණය වන පළමු සිනමා පටය මෙය විය හැකි බවද එරට සිනමා විචාරකයින් පෙන්වා දෙති.

මෙරට බලධාරීන් හා සිනමා අධ්‍යක්ෂකවරුන් නොසිතු දෙයක් ඉන්දීය සිනමාකරුවන්ට සිතුණේ කෙසේ ද අපට වැරදුණේ කොතැනද යන්න නැවත සැරයක් සිතා බැලිය යුතුය. අප රටේ ද බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චරිතාප්‍රදාන සිනමාවට නැගිය හැකිය. නමුත් අපගේ සිනමාකරුවන් තවදුරටත් ජාතක කතා හා මහාවංශය තුළ සිරවී සිටිති. මේ වනවිට 83 ලෝක කුසලානය දිනා දුන් කපිල් දේව්ගේ චරිතාප්‍රදානය ද කෙමෙන් කෙමෙන් ඉන්දියාවේදී චිත්‍රපටියකට නැගෙමින් පවති. නමුත් ලාංකීය සිනමාවෙන් එවැනි චරිතාප්‍රදානයක් සම්බන්ධයෙන් සිතා නොමැත. මෑතකදී නිදහසේ පියා හා ගින්නෙන් උපන් සීතල චරිතාප්‍රදාන ලෙස තිරගත විය. එයට අපගේ ප්‍රශංසාව ලැබිය යුතුමය. එමෙන්ම මුරලිගේ ජීවිත කතාව ලාංකීය සිනමාකරුවෙක්ගේ අතින් නිර්මාණය වනවා නම් මා එයට මීට වඩා සතුටු වෙමි. හේතුව අපගේ නිර්මාණයක් යැයි උජාරුවෙන් කීමට හැකි වන නිසාය.

බොහෝ දුරට එහි නාමය 800 හෝ දුස්රා යනුවෙන් තැබිය හැකි බවයි ඉන්දීය සිනමා ආරංචි මාර්ග හරහා දැනගත හැකි වූයේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් තවමත් තහවුරු කර නොමැති බව අප මතක තබා ගත යුතුය.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *