උන්ගේ සැප සහ අපේ දුක – ‘කන්නතිල් මුත්තමිට්ටාල්’ ගැන ජෙගන් ලියයි

මෙරට බොහෝ අය නැවතත් මතක් කිරීමට අකමැති මාතෘකාවක් නම් සිවිල් යුද්ධයයි, පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ අය දැරු මතය වූයේ ද නැවත යුද්ධයක් නම් එපා යන්නයි. තිස්වසරක් තුළ පැවැති සිවිල් යුද්ධකින් අප එතරම් පීඩා විඳ ඇත්තෙමු. එය දෙමළ සාමාජයටත් සිංහල සමාජයටත් පොදුය. නමුත් ඉන් වැඩි බලපෑමක් එල්ල වූයේ උතුරේ ජීවත් වූ ජනයාටයි. හේතුව වැඩිම අවස්ථාවක යුද්ධය සිදු වූයේ එම ප්‍රදේශ තුළ බැවින්.

යුද්ධ කාලයේදී එම ප්‍රදේශවල ගිනි පෙට්ටියක් රුපියල් 15කට අලෙවි වූ අවස්ථා නැතිවම නොවේ. කෙසේ හෝ යුද්ධය අවසන් විය. අනතුරුව විවිධ ආයතන විසින් විනාශ වූ දේපළ, ජීවිත හානි සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා ඉදිරිපත් කරනු ලැබිය. මිය ගිය විරුවන් වෙනුවෙන් ස්මාරක ඉදිවිය. නමුත් යුද්ධ කාලයේදී මිය ගිය සෙනෙහස, කරුණාව, ආදරය, ප්‍රේමය යන කරුණු සම්බන්ධයෙන් තවමත් වටිනාකම තක්සේරු කර නොමැත. එනම් ඒවාට තක්සේරු වටිනාකමක් හෝ මිලක් නියම කිරීමට කවුරුත් අපොහොසත් වීම නිසයි.

යුද කාලයේදී දකුණු සිංහලයා දරණ අදහස උතුරේ දෙමළා වෙතත්, උතුරේ දෙමළා දරණ අදහස දකුණු සිංහලයා වෙත නිසි අයුරින් එදා මාධ්‍යය රැගෙන ගොස් තිබුණා නම් අපට වසර 30ක සිවිල් යුද්ධයකට මුහුණදීමේ අවශ්‍යතාවක් පැන ඇති වන්නේ නැත. යුද්ධ කාලයේදී උතුරු ප්‍රදේශවලට හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීමත් සමග එම ප්‍රදේශවල ජීවත් වූ ජනයා සතු වූ එකම පිළියම වූයේ ඉන්දියාව බලා පිටත්ව යාමයි. එමගින් ඔවුන් බලාපොරොත්තු වූයේ හිසට සෙවනක් හා තාවකාලික කරුණාවක් පමණයි. නමුත් එහිදී එය වෙනුවට හිමි වූයේ නිදහස් බන්ධනාගාරයක් පමණය. මෙවැනි සමාජ දෙකක් යා කරමින් මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියයි ‘කන්නතිල් මුත්තමිට්ටාල්.’

දරුවන් කොපමණ ප්‍රමාණයක් එම සරණාගත කඳවුරුවල ඉපදෙන්න ඇති ද? එලෙස උපත ලැබු එම දරුවන්ට කිසි දිනක තම පියාව දැකීමටවත් අවස්ථාවක් උදා නොවිය. දේශපාලකයින් තම උවමනාවන් ඉටු කරගැනීමට මෙරට තුළ 83 දී නිර්මාණය කළ කළු ජූලියෙන් වන්දි ගෙවීමට සිදු වූයේ සාමන්‍ය දෙමළ මනුස්සයාට හා සාමාන්‍ය සිංහල මනුස්සයාට පමණයි. එහි නිර්මාතෘවරුන් සැපසේ දිවි ගෙවුහ. ඔවුන්ගේ අඹුදරුවන් විදේශ රටක පදිංචි කෙරුවෝය. නමුත් සාමාන්‍ය ජනයා නිතර යුද්ධ බියෙන් තැතියෙන් ජීවත් විය. මෙවැනි සිදුවීම් කිහිපයක් එකිනෙක සම්බන්ධ කරමින් 2002 වසරේදී මනිරත්නම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත කෙරුණු මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවනු ලැබුවේ ආර්. මාදවන් විසිනි. එහි සෙසු චරිත ලෙස සිම්රන්, පී.එස් කීර්තනා, ප්‍රකාශ් රාජ් හා පසුපති යන විසින් පණපොවනු ලැබිය.

මාංකුලම් ප්‍රදේශයේ ජීවත් වන ශාමා දිලීපන් යන අයව විවාහ කරගන්නීය. සාමාන්‍යයෙන් විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ බලාපොරොත්තු අතරින් සුවිශේෂිතම බලාපොරොත්තුව වන්නේ දරුවන් වැදීමයි. නමුත් නිතර යුද හඬ ඇසෙන භූමියක දරුවන්ට නිදහසේ සිටිය හැකි ද යන ප්‍රශ්නය දිලීපන් තුළ හොල්මන් කරන්නට විය. එම නිසාම ඔහු දරුවන් වැදීම ප්‍රතික්ෂේප කරන්නේ සිය රටට සාමය උදා වූ පසුව දරුවන් වදමු යන තීරණයත් සමඟයි. යම් අවස්ථාවකදී දිලීපන් හා ශාමා ජීවත්ව සිටින ප්‍රදේශය වෙත හමුදාවේ පැමිණීමත් සමඟම ශාමාව අතහැර දිලීපන් පළා යන්නේ, සාමය උදා කිරීමට තමන් කැප වන බව පවසමින්ය. නමුත් එම අවස්ථාව වන විටත් ඇය ගැබිණියක් කියා මොවුන් දෙපල නොදැන සිටිහ.

කාලය ගෙවි යද්දී ඇයගේ කුසට දස මසක් සපිරෙන්නට විය. එම සමයේ උතුරේ රෝහල් පහසුකම් නොවිය. එම නිසා ශාමාගේ පියා ඇයව ඉන්දීයාවේ රාමේෂ්වරම් දක්වා පිටත් කර යැවීමට තීරණය කරයි. යුද සමයේ කිසිවක් කරගත නොහැකිව අන්ත අසරණ වූ උතුරේ වැසියන් ජීවත්වීම සඳහා ගත් අවසන් පියවර වන්නේ ද මෙයයි. නමුත් එහිදී ඔවුන් වෙත ලැබුණු සැලකිලි එතරම් සුභ නොවිය. රුවලක නැගී කෙසේ හෝ තම ග්‍රාමයේ පදිංචිව සිටි උදවිය සමග ශාමා ගමන ආරම්භ කරන විටම ඇයට ලැබෙන පණිවුඩය එතරම් සතුටුදායක නොවිය. ඇය කෙසේ හෝ නැවතත් රුවල හරවා යළි ගමට යාමට උත්සහා කළ ද එයද ව්‍යර්ථ විය. අනතුරුව රාමේෂ්වරම් සරණාගත කඳවුරට යන ශාමාට එහිදී කුමක් සිදු වූයේ ද? ඇය නැවතත් ශ්‍රී ලංකාව වෙත පැමිණියාද යන්න සම්බන්ධයෙන් මනිරත්නම් ඔහුගේ ශෛලියෙන් අදහස් ප්‍රකාශ කිරීමට තෝරගත් මාතෘකාව වූයේ කන්නතිල් මුත්තම්මිට්ටාල් යනුවෙන්.

එමෙන්ම කතුවරයෙකු වන ඉන්ද්‍රාට දරුවන් තිදෙනෙකි. ඔහුගේ බිරිඳ රූපවාහිනියක ප්‍රවෘත්ති නිවේදිකාවකි. මොවුන්ගේ දරුවන් අතරින් වැඩිමල් දරුවා විශේෂිත චරිතයක් මෙන්ම සෙල්ලක්කාරියකි. ඇය නමින් අමුදා විය. ශාමා, ඉන්ද්‍රා, අමුදා යන අය අතර ඇති සම්බන්ධය කුමන ආකාරයේ එකක්ද? අමුදා විශේෂිත වන්නේ මක්නිසාද යන්නට නිසි පිළිතුරු මෙම චිත්‍රපටිය මගින් මනිරත්නම් ලබා දුන්නාද යනුවෙන් කවුරුන් හෝ මාගෙන් විමසුවොත් මා කිසිදු පැකිලීමකින් තොරව ලබා දෙන පිළිතුර නම් එසේය යන්නයි.

එනම් මෙම චිත්‍රපටියේදී ඔහු විසින් සෑම රූපතලයකට යම් විශේෂත්වයක් ලබාදී තිබුණා. පොදුවේ මෙරට තුළ සිටින පිරිසකගේ මතය නම් යුද්ධය සාධාරණීයකරණ කිරීමට ඉන්දියාවේ අධ්‍යක්ෂවරුන් රුසියන් යන්නයි. නමුත් මේ චිත්‍රපටිය තුළ මා එවැනි දෙයක් දුටුවේ නැත. කිසිම තැනක යුද්ධ සාධාරණීයකරනයක් සිදු වූයේ නැත. නමුත් සෙනෙහස, කරුණාව යන දෑ සම්බන්ධයෙන් මනිරත්නම් විශේෂ අවධානයක් යොමු කළා යැයි කිවහොත් මා නිවැරදියි යැයි සිතමි. විශේෂයෙන් මව් සෙනෙහස සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක් වූ චිත්‍රපට අතරින් මෙයත් එකකි. එමෙන්ම මිනිසා සිය දේශය කෙරෙහි කොයි තරම් ආදරය දක්වනවා ද යන්නත් මෙම චිත්‍රපටිය හරහා කතාබහට ලක්විය.

හමුදාව විසින් තවත් පැය භාගයකින් ප්‍රහාර දියත් කිරීමට නියමිතයි යනුවෙන් දැනුම්දීමෙන් අනතුරුව බොහෝ පිරිස් එම ප්‍රදේශවලින් ඉවත් වූවත් කෝවිලේ පූජකවරයා කෝවිලේ සිටම පවසන්නේ මගේ භූමිය අතහැර මා එන්නේ නැහැ යනුවෙන්. එතරම් තමන් උපන් දේශයට ආදරය කළ මිනිසුන්ව තම දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කරනු ලැබුවේ දේශපාලකයින් නොවේද? යුද්ධයෙන් විනාශ වීමට පෙර තිබු එම පරිසරය නැවත වතාවක් දකින්නට උතුරේ ජීවත් වූ මිනිසුන් කෙතෙරම් ආසාවකින් පසුවන්නේ ද යන්න මෙහි ඇතුළත් එක් ගීතයකින් සිනමා රසිකයා වෙත ගෙන ඒමට වෛරමුත්තුගේ පෑන් තුඩ සමත්ව ඇති අයුරු විශ්මිතය. එයට සංගීතය සපයා ඇති රහුමාන් සම්බන්ධයෙන් ද අප කතා කළ යුතුමය.

එළිමහන් දර්ශන වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේදී රූගත කර තිබු මෙම චිත්‍රපටියේ අප කවුරුත් දන්නා ක්‍රවුඞ් ෂොට් කිහිපයක් ද රැගෙන තිබුණි. නමුත් මෙහි රංගනයට යොදා ගත්තේ සැබෑ නළුවන්ම ද නැතිනම් සාමාන්‍ය ජනතාවද යන්න යන ප්‍රශ්නයකුත් මතු විය. එනම් එම රූප රාමුවේ සියයකට අධික පිරිසක්, යුධ ටැංකි, ප්‍රහාරක යානා සියල්ල යොදා ගෙන තිබීම හේතුවෙන්. එක් දර්ශනයක් වෙනුවෙන් මෙවැනි කැපවීමක් කිරීම තුළින් පෙනි යන්නේ අධ්‍යක්ෂවරයා චිත්‍රපටිය සම්බන්ධයෙන් කොයි තරම් සිතා ඇති ද යන්නයි. එමෙන්ම එම වැසියන් විසින් භාවිත කරන භාෂාව ද යාපනයේ දමිළ භාෂාව හසුරුවා ඇති අයුරු ද අති ප්‍රශංසනීයයි. එමෙන්ම ප්‍රකාශ් රාජ් විසින් සිංහල පුද්ගලයෙකු චරිතය නිරූපණය කර තිබු අතර ඔහු සිංහල බස හැසිරවීමට යම් උත්සහයක් ගෙන තිබුණා.

සමහර අවස්ථාවලදී එහි උච්ඡාරණය ඉතා ඉහල මට්ටමක තිබුණා යැයි කීමට හැක. කිසි දිනෙක සිංහල භාෂාව කතා නොකළ පුද්ගලයෙක් එවැනි දෙයක් කිරීමත් ප්‍රශංසාවට ලක් කළ යුතුයි. අධ්‍යක්ෂවරයාට අවැසි වූයේ නම් වෙනත් කෙනෙක් ලවා එය හඬකැවීමට හැකිව තිබුණ ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ් රාජ්ට ගරු කිරීමක් ලෙස ඔහුගේ හඬ චිත්‍රපටියට එක් කළා යැයි සිතේ. දෙබස් නොමැති සෑම රූප රාමුවක්ම සිතට දැනෙන පරිදි නිර්මාණය කරවීම සඳහා රහුමාන්ගේ පසුබිම් සංගීතය මනා ලෙස ඉවහල්වී තිබුණි. සාමාන්‍යයෙන් වර්තමානයේ චිත්‍රපටියක ගීතයක් යනු විවේක කාලයක කොටසක් යැයි සැලකීමට පුළුවන. එනම් චිත්‍රපටියටත් ගීතයටත් සමහර අවස්ථාවලදී කිසිදු සම්බන්ධතාවයක් නොවන බැවිනි. නමුත් මෙය එසේ නොවේ සියලු ගීත චිත්‍රපටිය සමඟ බැඳී තිබුණා යැයි කිව හැක.

මෙම කාල පරාසය තුළ මනිරත්නම්ගේ භීතිකාවක් පැවැති යුගයක් යැයි කීමට හැක. එම කාලයේදී ඔහු සිය නිර්මාණ හරහා ජාතිවාදයට හා ආගම්වාදයට පහර එල්ල කරනු ලැබීය. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් වූවත් සාමාන්‍ය ජනයා නොදකින පැත්තක් ඔහු විසින් දකින ලදි. එහි ප්‍රතිපල ලෙස බොම්බෛ, දිල්සේ නිර්මාණය වූයේ ද මෙවැනි පසුබිමක් තුළය. නමුත් මේ නිර්මාණ අතරින් ලාංකීකයින්ට වඩාත් සමීප වූයේ කන්නතිල් මුත්තමිට්ටාල් චිත්‍රපටියයි. එයට සාධාරණ හේතුවක් ද තිබුණි. එනම් මෙරට සමාජයට බොහෝ සේ ළං වූ බැවින්ය.

එමෙන්ම එහි අවසන් ජවනිකා මෙම චිත්‍රපටිය නැරඹු අයගේ සිතෙහි කුමන හෝ ස්ථානයක තවමත් රැඳි තිබේ යැයි සිතමි. එමෙන්ම යුද්ධයකට මැදි වූ කුඩා දරුවන්ගේ සිත් කොයි තරම් වියවුල් තත්ත්වයකට පත්වනු ඇති ද, එහි බලපෑම කොයි තරම් කාලයකට තිබේ ද යන්න අපට නිශ්චිතවම කිව නොහැකිය. අමුදා නම් වූ චරිතය මඟින් අධ්‍යක්ෂවරයා එය අපට හට ඒත්තු ගැන්වීමට දරා තිබු උත්සහයට අප ප්‍රශංසා කළ යුතු වනවා. බෝම්බ, තුවක්කු හඬ කිසිදා නොඇසු ඇය එවැනි සිද්ධියකින් කොයි තරම් කම්පාවට පත්වූවා නම් දිනපතා එවැනි හඬ ඇසු ලාංකීය සමාජයේ දරුවන් කෙතරම් භීතියකට පත්වන්නට ඇති ද යන්න අධ්‍යක්‍ෂවරයා මතක් කර දෙනු ලබන්නේ ඉතා සියුම් අයුරින් ය.

මෙරට කෙදිනක හෝ යුද්ධයෙන් තොර රටක් බවට පත් වනු ඇති බව එදා මනිරත්නම් පවසා වසර 7 කින් පමණ යුද්ධය අවසන් විය. නමුත් අද වනතුරුත් යුද්ධයෙන් පීඩාවට පත් දෙපිරිසට සැනසීම උදාවි තිබේ ද.? මාගේ පිළිතුර නැත යන්නයි. අදටත් සිංහල සමාජය කෙරෙහි දමිළයා දකින්නෙත් සැකයෙන් යුතුවයි. දමිළ සමාජය කෙරෙහි සිංහලයා තවමත් දකින්නේ සැකයෙන් ය. නමුත් මෙම සමාජ ද්වීත්වය නියෝජනය කරන දේශපාලකයින් සතුටු සාමිච්චියේ යෙදෙයි. දෙපිරිස් අතර ඥාතීත්වය ගොඩනගා ගනියි. නමුත් මධ්‍යම පාන්තිකයන් වෙන් වෙන්ව ජීවත් විය යුතුය. අප සිනමාවට ආදරය කරන්නෙමු, එහි සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දක්වන්නෙමු නමුත් එයම සැබෑ ජීවිතයෙත් කරන්නේ නම් මෙරට තුළ කිසිදු ජාති, ආගම් භේද ඇති වන්නේ නැත. නමුත් අප තවමත් එයට සූදානම් නොමැති බවයි තවමත් පෙනි යන්නේ.

මෙවැනි චිත්‍රපටියක් අවසානයේදී අධ්‍යක්ෂවරුන් තමන් දරණ අදහස රසිකයා තුළ රිංගවීමට පත වැකි යොදනු මා බොහෝ අවස්ථාවලදී දැක තිබුණ ද, මෙම චිත්‍රපටියේ අවසානය එසේ නොවිය. එනම් එහි තීරණය රසිකයා වෙතම භාරදී තිබීමක් ඒ හරහා පෙන්නුම් කර තිබුණි.

සුජාතා නම් වූ ලේඛිකාවකගේ අමුදාවුම් අවනුම් (අමුදා සහ ඔහු) කෙටි කතාව චිත්‍රපටියට නැගීමට මනිරත්නම් සූදානම් වූයේ එහි ප්‍රධාන චරිතය මාධවන් වෙත ලබාදීම අදහස් කරගනිමින්ය. මීට පෙර මේ දෙපළ අවස්ථා දෙකකදී එක්ව සිටි අතර ඉන් ‘අලෛපායුදේ’ චිත්‍රපටය දැඩි සේ කතාබහකට ලක් විය අනතුරුව ‘ඩුම් ඩුම් ඩුම්’ චිත්‍රපටියටත් ජනතා ප්‍රසාදය ඉහළින් හිමිවිය.

නමුත් මාධවන්ගේ නිළිය කවුරුන්ද යන්න අධ්‍යක්ෂවරයා තුළ ඇති වූ ඊළග ප්‍රශ්නය විය. එම නිළියන් අතර භුමිකා චවුලා සහ ස්නෙහා යෝජනා වූවත් අවසානයේ මනිගේ තේරීම වූයේ සිම්රන් ය. ඔහු සිතු පරිදීම එම චරිතයට ඇය විසින් 100%ක සාධාරණත්වයක් ඉටු කරන ලදි.

එමෙන්ම කන්නතිල් මුත්තමිට්ටාල් චිත්‍රපටියට එම වසරේදී හිමි වූ සම්මාන සංඛ්‍යාව පමණක් 40 කි. ඒ අතර ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන ද විය.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *