කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම වෙලා ගනිද්දී එහි ප්‍රබල බලපෑමක් වූයේ රසවින්දන මාධ්‍යයට. ඒ අතරත් සිනමාව ප්රමුඛ වුවා. සිනමාශාලා දීර්ඝව වැසිණු කාලයක් බවට පත් වන්නේද අතුරු සිඳුරු නැතිව පැතිරෙන මේ කොරොනා වසංගතය නිසයි.
කෙසේ වෙතත් රාජ්‍ය මැදිහත් වීම මත සෞඛ්‍ය නිර්දේශ මත පැනවෙන නීති රීති හමුවේ මේ වසර ආරම්භ වෙද්දී සිනමාශාලා විවෘත කරන්නට අවසර ලැබෙන්නේ එක පැත්තකින් නිර්මාණකරුවන්ට යම් අස්වැසිල්ලක් සලසමිනි.
මේ කාලයේ තිරගත වන නිර්මාණ මොනවද යන්න සොයා බලද්දී, පසුගිය 8 වනදා සිට තිරගත කිරීම ආරම්භ වූ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කරන ලද චත්‍රක් චිත්‍රපටය සුවිශේෂී කරුණු කාරණා රැසක් සහිත සිනමාපටයක් බව නොරහසක්.
එසේ සටහන් කරන්නේ,
චත්‍රක් විදෙස් සිනමාපටයක් වුවත් ලාංකික සිනමාකරුවකු විසින් ප්‍රථම වතාවට බෙංගාලි බසින් නිර්මාණය කළ සිනමාපටය වීම.
මෙම චිත්‍රපටය ටොරොන්ටෝ, වොර්සෝ යන ලොව ප්‍රමුඛතම උලෙළ ඇතුළුව අන්තර්ජාතික සිනමා උළෙල 21ක් නියෝජනය කර තිබීම.
ශ්‍රී ලාංකේය කැමරා ශිල්පියෙකු වන චන්න දේශප්‍රිය කැමරාකරණය උදෙසා අන්තර්ජාතික සිනමා උලෙළකදී සම්මානයකින් පිදුම් ලැබීමට ඉවහල් වූ පළමු විදේශීය සිනමාපටය වීම. යනාදිය නිසයි.
මෙම “චත්‍රක්” සිනමාපටය නිෂ්පාදනය කරන්නේ විනෝද් ලෝහ්ටි විසින් වන අතර, මෙහි චරිත නිරූපණය කරනු ලබන්නේ පයෝලි සෑම්, සුදිප් මුකර්ජි, තෝමස් ලෙමර්කපස්. චන්න දේශප්‍රිය කැමරා අධ්යක්ෂවරයා වන මේ සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂණය රමග් ඩෙයිම් විසින් සිදු කර ඇති අතර ජුලි බසිවු මෙහි සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙනවා.
මේ කතාව පුළුල් තිරයේ සිනමා රසිකත්වයට වසර 9කට පසුව නැරඹීමට ඉඩ අවස්ථාව 2021 ජනවාරි 08 සිට Amity Lite- මහරගම, MaxX Lite- මොරටුව, Vista Lite- ජා ඇල, Sky Lite- මාතර ඇතුළු සිනමාශාලාවලදී ලැබී තිබෙනවා.
ඒ නිසාම මේ කතාව එහි අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර සමඟ.
ඉන්දියානු සිනමාව කියලා අපි දන්නේ සහ බොහෝ දෙනා හිතන් ඉන්නේ හින්දි සිනමාව කියලා. නමුත් මේ චිත්‍රපටය අපි කරන්නේ බෙන්ගොලේ කල්කටා කියන ප්‍රදේශය ආශ්‍රිතව. ඒකට හේතුව ඉන්දියානු සිනමාව ලෝකය හඳුනා ගන්නේ සත්‍යජිත් රායි හරහා. සත්‍යජිත් රායි කියන්නේ ‘පාතර් පංචාලි’, ‘අපරාජිතෝ’, ‘අපූ සංසාර්’ අපු ති‍්‍රත්වය වැනි ජනප්‍රිය බෙන්ගොලි චිත්‍රපට හදපු කෙනෙක්. හැබැයි අපි දන්නවා මෑත කාලීනව බෙංගාලි චිත්‍රපට එහෙම හැදෙන්නේ නැහැ. මට ඉන්දියානු නිෂ්පාදකවරයෙක් ආරාධනා කළා එහෙට ඇවිත් චිත්‍රපටයක් කරන්න. එතැනදී කියනවා මම කරනවා නම් කරන්නේ හින්දි චිත්‍රපටයක් නෙවෙයි බෙංගාලි චිත්‍රපටයක් කියලා. මොකද සත්‍යජිත් රායිගේ සිනමාව ඇසුරෙන් ඒ අභාෂය ලබමින් නිර්මාණකරණයේ යෙදුන කෙනෙක් නිසා. ඒ අනුව තමා මම සහ චන්න දේශප්‍රිය ඉන්දියාවට ගිහින් මාස හතරක් වගේ කාලයක් ඇතුළත මේ චිත්‍රපටය කළේ.
වසර 9ක් ගත වෙලා තිරගත කරන්නට අවකාශය උදා වෙන්නේ ඒ ගැනත් අපි කතා කළා.
මුලික හේතුවක් වුණේ ලංකාවේ සිනමාශාලා වලදී විදේශීය චිත්‍රපට පෙන්වීම සිදු කරන්නේ වාණිජ පදනමින්. එතකොට විදේශීය කලාත්මක චිත්‍රපට පෙන්වන ක්‍රමයක් නැහැ. අතීතයේ එවැනි චිත්‍රපට පෙන්වල තිබුණත් මෑතකාලීනව එහෙම නැහැ. දකුණු ඉන්දීය චිත්‍රපට තමා බහුතරයක් තියෙන්නේ ඒ අතර හින්දි චිත්‍රපට කිහිපයක් තියෙනවා. දැන් මේ කොරෝනා තත්වය නිසා විදෙස් චිත්‍රපට මෙරටට පැමිණීම අඩුවීමත් එක්ක මේ චිත්‍රපටයට ඉඩක් ලැබුණා. තිරගත කරන්න ලැබුණේ අභියෝගාත්මක කාලයක වුවද නිර්මාණකරුවකු විදියට යම් සුබවාදී දැක්මක් තියෙනවා මෙලෙස හෝ වසර 9ක් ගතව ගිය පසුව හෝ තිරගත කරන්නට ලැබීම ගැන සතුටක් තියෙනවා. සීමිත පිරිසකට සෞඛ්යආරක්ෂිතව නරඹන්නට අවස්ථාව සැලසී තියෙන්නේ, ඒ නිසා ඒ විදියට හරි මේ චිත්‍රපටය බලමු කියලා තමා කියන්න තියෙන්නේ.
ලිංගික දර්ශන හේතුවෙන් ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩල විසින් මහජන ප්‍රදර්ශනය තහනම් කළ සිනමාපටයක් විදියට මේ චිත්‍රපටය ගැන පළවන කතාවල ඇත්ත නැත්ත මොකක් ද ඒ ගැනත් අපි මේ කතා බහේදී අපි කතා කරා.
ඒක සම්පුර්ණ අසත්‍ය තොරතුරක් සමාජ ගතවෙලා තියෙන්නේ. ඒ ගැන හරියට පැහැදිලි කරන්න ඕනේ. ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලය කියන්නේ එකක් නෙවෙයි. බෙංගාලි, තමිල්නාඩු වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මෙතන සිද්ධ වුණේ මේ චිත්‍රපටය රූ ගත කරන කාලයේ යම් ගැටළුවක් ආවා. එක්තරා නිරුවත් දර්ශනයක් තිබ්බා. එය රූ ගත කරන අතරතුර යම් හෙයකින් එය සමාජ මාධ්‍යට කවුරුන් හෝ එක් කරලා තිබුණා. එයට ඉන්දීය සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවුණා. ඒක තමා ඇත්ත සිද්ධිය. නමුත් ඒ දර්ශනය චිත්‍රපටයට අපි ඇතුළත් කළේ නැහැ. එතනින් පස්සේ අපි සම්පුර්ණයෙන්ම පිටපත පවා වෙනස් කරලා රූ ගත කිරීම් කළේ. ඒ නිසා චිත්‍රපටයට කිසිදු තහනමක් වුණේ නැහැ. එය මවාපාන අසත්‍ය කතාවක්.
චත්‍රක් නිර්මාණය ගැන බලන්නට ආරාධනා කරන ගමන් අධ්යක්ෂවරයා විදියට සිනමා ප්‍රේක්ෂකයින්ට දෙන පණිවුඩය මොකක් ද කියන කාරණාවත් අපි පැහැදිළි කරගෙනම මේ කෙටි කතාව අවසන් කරමු.
මම හිතන්නේ චත්‍රක් චිත්‍රපටය බලන්න හොඳම කාලය තමා මේ. ඇත්තටම තව වසර 10ක් 15ක් ගියත් සමාජයට කියවන්න පුළුවන් සර්වකාලින චිත්‍රපටයක්. මේ තුලින් කතා බහට ලක් වෙන්නේ නිදහස නැතිවෙන මනුස්සයා ගැන. ලෝකයේ හැමෝම මිනිස්සු විදියට අපි හදාගත්ත බොරු ආටෝප සහිත කතාවක් එක්ක එකිනෙකා රවට්ටමින් තමා ජිවත් වෙන්නේ. ඒ නිසා අපිට නැතිවෙන ගොඩක් දේවල් තියෙනවා. පරිසරය විනාශ කරනවා. අපේ තියෙන වටිනාකම් දිනෙන් දින පිරිහෙනවා. ඒ නිසා ඒවායින් අයින් වෙන්න උත්සහ කරන නිදහස හොයා යන මනුස්සයෙක් තමා මේ කතාවේ ඉන්නේ.එහෙම නැත්නම් සරලව කියනවා නම් දියුණුවත් එක්ක අවතැන් වන මිනිස්සු ගැන තියෙන්නේ. අපි දියුණුව කියලා දකින්න ඕනේ රටේ දියුණුවද, ගෙදර දියුණුවද, පාරේ දියුණුවද නැත්නම් තමන්ගේ දියුණුවද කියන ප්‍රශ්න ගණනාව ගැන කතා වෙන නිර්මාණයක්. ඒ නිසයි මේ කාලයට උචිතම චිත්‍රපටයක් කියලා මම කියන්නේ.
- අනුෂා රණසිංහ