යුක්තියේ පිපාසය | පාංශු

-ජෙගන් ගනේෂන්-

ඔබ මා පය ගසා සිටින මේ පොළොව දැඩි පිපාසයෙකින් පෙළෙමින් සිටියි. එම පිපාසය නිවීමට වසර 10කට වරක් මිනිස් බිලි පූජා පැවැත්විය යුතුව තිබේ. නිදහසින් පසුව සෑම වසර 10කට වරක් අලුත් බිලි පූජා පැවැත්වූ ආකාරය අප බොහෝ සේ අසා ඇත්තෙමු. ඒවා සියැසින් දුටුවන් ද සිටිති. එවැනි මිනිස් බිලි පූජාවකට මැදි වූ සමාජයක් සම්බන්ධයෙන් කතා කළ චිත්‍රපටියක් ලෙස පාංශූ හඳුන්වා දිය හැකියි.88-89 යන කාලසීමාව මෙරට අයුක්තිය රජ කළ සමයක් යැයි පැවසිය හැකිය. එම කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ අරගලයත්, උතුරේ අරගලයත් අතර මැදිව ජීවත් වූ ජනයාට මිනිස් ඝාතනය යනු අලුත් අත්දැකීමක් නොවිය. මාර්ගයක් මාර්ගයක් ගාණේ මිනී දැවෙමින් තිබු අයුරු ඔවුන්ට අදටත් මතකයේ රැඳි පවතියි. විසාකේස චන්ද්‍රසේකරම් සිය චිත්‍රපටියට තේමාව කරගෙන තිබුණේ, දේශප්‍රේමි ව්‍යාපාරයට සම්බන්ධ වී ආරක්ෂක අංශ භාරයට පත්ව අතුරුදන් වූ පුතෙකු හොයා යන මවක හා ඇය ජීවත් වන සමාජීය ලක්ෂණය. කුල හීන යැයි සැලකෙන පවුල් පසුබිමකට හිමිකම් කියන බබා නෝනා සහ ඇයගේ පුතා සහ ඥාතී පුතා අතර සිදු වන සිදුවීම් කිහිපයක් ඉතා රසවත් අයුරින් ප්‍රකාශ කිරීමට අධ්‍යක්ෂකවරයා ගත් උත්සහය සාර්ථක යැයි කීමට හැකිය.

පුතා විසින් රැගෙන ගිය අරගලය තවදුරටත් ඉදිරියට රැගෙන යන්නේ බබා නෝනාය. එම අරගලය සන්නද්ධ අරගලයක් නොවිය. යුක්තිය උදෙසා වූ අරගලයකි. එම අරගලයෙන් ඇය ජය ලැබුවා ද නැති ද යන්න රසිකයා වෙත භාරය. කාසියකට දෙපැත්තක් තිබෙනවා සේම මිනිසා තුළ ද දෙබිඩි චරිත තිබේ. මෙම චිත්‍රපටිය තුළ එම චරිත ද්වීත්වයම ප්‍රේක්ෂකයා වෙත රැගෙන ඒමට අධ්‍යක්ෂකවරයා ගෙන ඇති උත්සහ සාර්ථකය. තම පුතා රැගෙන ගිය නිලධාරීයෙකුට උපරිම දඩුවම වන මරණ දඩුවමක් ලබා දීමට උත්සහ කරන ඇයම අසරණ බලු පැටියෙකුට ආදරය කරයි. ඌව නිවෙසට රැගෙන ගොස් ඇතිදැඩි කිරීම තුළින් ඇය තුළ තිබෙන කරුණාව ඉස්මතු කිරීමක් ලෙස දැකිය හැකිය. ගමේ සිටින උසස් යැයි සම්මත කුලවල මිනිසුන්ගේ රෙදි පිරිසිදු කර දුන්න ද ඇයට නිවසේ ඉදිරිපස දොරෙන් යාම අකැපය. සමාජ තුළ පවතින පීඩනය සීමාව ඉක්මවා ගිය පසුව එය අරගලයක් ලෙස පිපිරීමට ඇති අවස්ථාවන් බොහෝය. මෙරට තුළ සිදු අරගල සියල්ලම සිදු වූයේ සමාජ පීඩනය සීමාව ඉක්මවා ගොස් තිබු අවධියක වීමත් ශේෂත්වයකි.අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ඨිය තුළ මෙහි ප්‍රධාන චරිත සුදු හෝ කළු නොවිය. එම චරිත දෙකෙහි මිශ්‍රණයකි. සුදු පුතාවත්, ආරක්ෂක නිලධාරීයාවත් සුදු නැත. ඔවුන් දෙදෙනාම තමන්ට පැවරුණු රාජකාරියක් කර තිබේ. එය අරගලයේදී එක් අවස්ථාවකි.

නමුත් අවසානයේදී වන්දි ගෙවීමට සිදු වන්නේ රාජකාරිය පැවරු අයට නොව එය ඉටු කළ අයටය. සුදු පුතා ජීවිතයෙන් වන්දි ගෙවු අතර හමුදා නිලධාරියාට උසාවි ගාණේ ලැගීමට සිදු විය. අධ්‍යක්ෂකවරයා ඉන් එමඟින් චෝදනා කර ඇත්තේ අදාළ අරගලයේ ඉහළම ස්ථානයට යැයි මා විශ්වාස කරමි. අරගලයේදී කවුරුත් ස්පර්ෂ නොකර තවත් කෝණයක් අධ්‍යක්ෂවරයාගේ අවධානය යොමු වී තිබේ, භීෂණය කාලයේදී බයිසිකලයෙන් පැමිණෙන ගුරා වසර 6කට පසුව පැමිණෙන්නේ යතුරුපැදියෙන් ය. විප්ලව කළ සිදු දෙනා මිය ගියේ නැත. ඔවුන් ඊටත් වඩා යමක් සිදු කරගත්තා යන්න අධ්‍යක්ෂකවරයාගේ අදහස විය හැක. චිත්‍රපටිය තුළ අධ්‍යක්ෂකවරයා බෞද්ධ දර්ශනයට අනුගත වූ ආකාරයක් දැකගත හැකි විය. සතර පෙර නිමිති සහිත දර්ශනය ඊට හොඳම උදාහරණයකි. එම දර්ශනයෙන් අනතුරුව චිත්‍රපටියේ ඉදිරි ගමන් කාහටත් සිතා ගත හැකි විය. පෙර තිබු කුතුහලය ඉන් නිමාවට පත් විය. දින මාස ගණන් නොබලා තම පුතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට මහන්සි වූ ඇය අවසන් වශයෙන් ආගමික යුක්තියක් බලාපොරොත්තු වීම සාධාරණයි ද යන්න ගැටළුව අප තුළ ඇති කෙරුණ ද එය සාධාරණය.

මෙරට තුළ පවතින අධිකරණ ක්‍රමය යටතේ එය වඩාත් සාර්ථක යැයි බබා නෝනාට සිතෙන්නට ඇත. පළමු නඩුවාරය සිදු වනවිට පැටවූන් ප්‍රසූත කළ බැල්ලිය දෙවන නඩු වාරයේදී වාහනයක හැප්පි මිය ගොස් ඇත. ඒ වනවිට එම පැටවා තනිව ආහාර ගන්නා මට්ටමකට දක්වා වැඩි ඇත. මෙම දර්ශනය හරහා අධ්‍යක්ෂකවරයා කාලය හා අවකාශය භාවිත කළ අයුරු අපූරුය. අවමය එක් නඩුවාරයකින් අනෙක් නඩුවාරයට ගත වන කාලසීමාව මාසයකට වැඩි විය. මෙවැනි අධිකරණ පද්ධතියක් තුළ නඩු කතා කිරීමේ ඇති ඵලය කුමක් දැයි බබා නෝනාට සිතෙන්නට ඇත. එම නිසාම ඇය නඩු අතහැර දැමීමට සිතුවා විය හැක. අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිසම්වල වැඩ කටයුතු සිදු වන්නේ වින්දිතයාගේ අවශ්‍යතා හඳුනාගෙන නොවේ, එහි සිටින නිලධාරීන්ගේ සිතැඟි පරිදිය. ඒවා ද ජරාජීර්ණ කොමිසම් යැයි හැඟේ. මෙවැනි කොමිසම්වලින් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බව බබා නෝනාගේ අදහස වන්නට ඇත. අවුරුදු 5ක් පුරා අතුරුදන්ව සිටි අය වෙනුවෙන් මරණ සහතිකයක් සහ රුපියල් 25,000ක මුදලක් ලබා දෙනු ලබයි. එවක ජීවිතයක වටිනාකම රුපියල් 25,000 ක් දැයි යන ප්‍රශ්නය එම අවස්ථාවේදී ප්‍රේක්ෂකයා තුළ මතු කරවීමට අධ්‍යක්ෂකවරයා සමත් වූයේය.

සුදු පුතා පළාත් සභා මන්ත්‍රීවරියගේ ඝාතනයට සම්බන්ධය. ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරියගේ දියණියගේ චාරිත්‍ර කිරීම භාර වන්නේ ද සුදු පුතාගේ මව වන බබා නෝනාටය. එම දියණිය ද සිය මව ඝාතනය වූ ආකාරය සහ ඝාතනය කළේ කවුරුන් ද යන්න දන්නීය. චිත්‍රපටිය පුරා තිබු බෞද්ධ දර්ශනයේ සංකල්පය මත කර්මය යැයි සිතා බබා නෝනා තම පුතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයාට සමාව දුන්නා විය හැකිය. බබා නෝනා යනු තනි කාන්තාවකි. ඇය තීන්දු තීරණ ගන්නේ ඇයගේ අභිමතය පරිදිය. ඇයව මෙහෙයවනු ලබන වෙනත් කෙනෙකු නැත. තීරණ ගැනීම ගැන අන් අයට පවසන්නේ නැත. තමන් සමඟම අරගලයක් සිදු කරමින් ඇය ගනු ලබන තීන්දු තීරණවලින් ඇය ආධ්‍යත්මික සුවයක් ලැබුවාය. එම සුවය සිය පුතාටත් හිමිකර දීමට ඇය සිතුවා විය හැකිය. මරණ තර්ජන හමුවේ පසුබට නොවි කටයුතු කළ බබා නෝනා සිය අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කරගනු ලැබුවේ බෞද්ධ දර්ශනයෙන් ඇති කරගත් පන්නරය නිසා ද, නැතිනම් පවතින ක්‍රමයේ දුර්වලතාවය සම්බන්ධයෙන් අවබෝධ කරගත් නිසා දැයි යන්න සැක සහිතය. කෙසේ වෙතත් ඇය සිය පුතාට විමුක්තියක් ලබාදීමට තීරණය කළාය. ප්‍රේත ආත්මයෙන් මිදෙන ලෙස ඉල්ලීමක් කරනු ලබන්නේ ද ඒ නිසාමය.88-89 භීෂණ සමය අවසන් වූව ද, අරගලය තවමත් අවසන්වී නොමැත. පළාත් සභා එපා යනුවෙන් විප්ලව කළ පිරිස් යළි එම සභාවට තේරී පත්වීමට නාමයෝජනා ලබා දෙමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදමින් සිටින්නේ, මැරිලා යළි උපන්නා සේය යන වැකිය ඉතා ප්‍රබල යැයි මා හට හැඟේ. එමෙන්ම සුදු අයියාගේ ගමන් මාර්ගය තෝරගත් මලයා සභාවට කෙසේ හෝ තමන්ගේ එකෙකු යැවීමට දත කමින් සිටියි.

මේ වනවිට අරගලය ඇත්තේ අවිආයුධවලින් නොව ඡන්ද පෙට්ටි පිරවීමෙන්ය. මීට පෙර ගත් තීරණවලට වඩා එය ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකි. ඔවුන්ගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ජනයා භාරගැනීමට සූදානම් ද යන ප්‍රශ්නය අප තුළ ඇති වෙයි. “ජනතා විමුක්ති පෙරමුණෙන් අපේ අම්මාව මැරුවා…” එම අරගලයේදී එම පක්ෂයේ නියෝජිතයින් විසින් ඝාතනය කරනු ලැබු අයගේ පවුලේ පිරිසකගේ ඡන්දය ලබා ගන්නේ කෙසේ ද යන්න ඔවුන් හමුවේ ඇති දැවැන්තම අභියෝගයක් බව අධ්‍යක්ෂකවරයා මෙම සිදුවීම හරහා පෙන්වාදී ඇත. පළාත් සභා අපේක්ෂිකාව ඝාතනය කිරීමට භාවිත කළ අවිය බබා නෝනා විසින් ගඟේ ඇති මඩ තුළ සඟවා තැබුවා සේමය අරගලයේදීත්, යුද්ධයේදීත් අතුරුදන් වූවන්ට කිසිදු දිනක යුක්තියක් ඉටු නොවනු ඇතැයි කියන අදහසකින්ය. අතුරුදන් වූ දරුවන් සොයා යන මව්වරුන්ගේ පියවරුන්ගේ කතා අපට අලුත් දෙයක් නොවේ. මෙරට තුළ පැවැති තිස්අවුරුදු යුද්ධයෙන් අතුරුදන් වූ දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නියැලෙන මව්වරුන් හොර රහසේ මෙලොවින් සමුගනිමින් සිටින අවස්ථාවක මෙවැනි චිත්‍රපටියක් නිර්මාණ වීම සම්බන්ධයෙන් අගය කළ යුතුමය. මෙරට තුළ බබා නෝනාට වඩා අසරණ මව්වරුන් සිය දරුවන් සොයමින් සිටිති. බබා නෝනාගේ සුදු පුතාව රැගෙන යාමට පැමිණි හමුදා නිලධාරීන් අතරින් කෙනෙකුව ඈ හඳුනන්නීය. පුතා මිය ගොස් ඇති බව ද ඈ දන්නීය.

නමුත් උතුරු තම දරුවන්ට කුමක් සිදු වූයේද ද යන්න නොදත් දෙමාපියන් අදත් ඔවුන් සොයමින් සිටිති. ඒ සම්බන්ධයෙන් පත් වූ රජයන් නිහඬ පිළිවෙතක් අනුගමන කරයි. මෙරට තුළ පැවැති සිවිල් යුද්ධයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇත. ඔවුන් සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසම් නමට පමණක් සීමාවී ඇත. උතුරේ දෙමාපියන් දින ගණන් විරෝධතා කළ ද ඒ හඬ දකුණේ ජීවත් වන බොහෝ අයට ඇසුණේ නැත. ඒ ඔවුන් වෙනම පිරිසක් ලෙස සලකන හේතුවෙන් දැයි නොදනිමි. ආරක්ෂක අංශවලට භාර දුන් පිරිස් සම්බන්ධයෙන් විමසුවිට පසුගිය දිනක රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, ඔවුන් විදේශ ගත වන්නට ඇති බවයි. ආරක්ෂ අංශ භාරයේ සිටි පිරිස් විදේශ ගත වී ඇති බවට පැවසීම හුදෙක් විහිළු සහගත ප්‍රකාශයක් යැයි මාගේ අදහසයි. තම දරුවන් සොයා හෙම්බත් වූ දෙමාපියන්ට කවදා හෝ බබා නෝනා ගත් තීරණය ගැනීමට සිදු වේවි යන්න අධ්‍යක්ෂකවරයා ව්‍යංගාර්ථයෙන් පැවසුවා විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *