මනුසත්කමේ කඳුළු කැට සුනාමිය

සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සූරිය අරණ, සිරි පැරකුම් වැනි අති විශිෂ්ඨ සිනමාපට නිර්මාණය කළ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “සුනාමි” මේ දිනවල අති සාර්ථකව තිරගත වේ.

2004 වර්ෂයේ සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් උතුරේ දමිළ පවුලක් සහ දකුණේ සිංහල පවුලක් ආශ්‍රිතව සිදුවුන සංවේදී සත්‍ය කතාවක් සෝමරත්නයන් විසින් මේ ආකාරයට සිනමාපටයකට නගා තිබේ.

එක් දියණියක් දෙමව්පිය යුවලවල් දෙකක් යන සංකල්පය මූලික කරගෙන සෝමරත්නයන් විසින් සුනාමි නිර්මාණයකර තිබේ.

සෝමරත්නයන් සුනමි හරහා ලංකේය ප්‍රේක්ෂකාගාරයේ හොඳම නාඩිය ඇල්ලුවා කිවහොත් නිවැරදිය. එනම් දාරක සෙනෙහස වෙනුවෙන් ආත්මාර්ථකාමීවීම, ජාතිබේද සැලකීම, පටු ආකල්පමය වශයෙන් සිතීම සිනමාපටයේ මුලින් දැක්වෙන අතර සිනමාපටය අවසානයේදී ඒ දාරක සෙනෙහස වෙනුවෙන්ම ආත්මාර්ථකාමීකම, පටු ආකල්ප, ජාතිබේද යනාදිය අතහැර අප සැවොම උත්සාහ කරන්නේ අපේ ළමයින්ට ආදරණීය යහපත් ලොවක් තනාදීමට බව ඉතාම සංවේදීව හා විචිත්‍රවත් ලෙස සුනමි සිනමාපටයෙන් ප්‍රකට කරයි.

ලාංකේය ප්‍රේක්ෂකාගාරයට මෙවැනි ආකරයට සිතන්නට පෙළෙඹවීමක් අවශ්‍යම මොහොත මෙය යැයි කිවහොත් නිවැරැදිය. තමාගේ වාසිය ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී ආකල්ප මුල්බැසගෙන තිබෙන, ජාතිබේද ඉස්මතු කරගෙන වෛරක්කාරයො වී තිබෙන පටු ආකල්ප හේතුවෙන් මමත්වය පිළිබිඹු කෙරෙන කර්කෂ සමාජයකට සෝමරත්නයන් විසින් වස්සවනු ලැබුවේ දෙනෙත් කදුලින් තෙත් කරන ඉතාම සංවේදී නිර්මාණශීලි සෞන්දර්යාත්මක වැස්සකි.

සෝමරත්නයන්ගේ මෙහෙයවීමෙන් නිර්මාණය කරපු එම සෞන්දර්යාත්මක වැස්ස විශ්වා බාලසූරිය විසින් කැමරා කාචයට හසු⁣කරගෙන තිබෙන්නෙ ඉතාමත් අනර්ඝ ආකාරයට බවද කිව යුතුය. පසුගිය දිනෙක එම හැකියාව අගයා ජාත්‍යන්තරයෙන්ද ඔහුව සම්මානයට පාත්‍ර කළේය. හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, නිරංජනී ශන්මුගරාජා, දර්ෂන් ධර්මරාජ්, ගිරිරාජ් කෞෂල්‍යය, කුමාර තිරිමාදුර යනාදී රංගන ශිල්පීන් විසින් ඉතාමත් අනර්ග රංගනයක් මෙහි නිරූපනය කරයි.

එමෙන්ම ප්‍රභාගේ චරිතයට පණපෙවූ මෙනාරා වීරතුංග ළමා නිලිය ගැනද විශේෂයෙන් කිව යුතුය. මෙය ඇය රංගනයෙන් දායක වූ පළමු සිනමා නිර්මාණය වුවත් කිසිඳු ආධුනික බවක් නො⁣පෙන්වා ඉතාමත් තාත්විකව හා චරිතයට අදාල භාව හැසිරීම් නිසි ලෙස ඉදිරිපත් කරමින් අති විශිෂ්ඨ රංගනයක නියැලුනු බව කිව යුතුය.

සුනාමි තවමත් නැරඹුවේ නැතිනම් දිවයින පුරා තිබෙන ඊ.ඒ.පී සිනමා ශාලාවන්හිදී මෙම අනර්ඝ සෞන්දර්යාත්මක අත්දැකීම ලබා ගැනීම සදහා තවම ඔබට අවස්ථාව තිබේ. සිනමාව ප්‍රියකරනඅය නැරඹිය යුතුම සිනමාපටයක් ලෙසද සුනාමි නිර්⁣දේශ කළ හැක. ඒ ප්‍රේක්ෂකයන් සිත්සතන් ගහගෙන යාමට තරම්ම සෝමරත්නයන්ගේ සුනාමිය ප්‍රබල නිසාය.

-ලක්ෂාන් නිලංක –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *