දෙමළ බයිස්කෝප් ඔක්කොම ‘ගොං පාට්’ ද?

දමිළ සිනමාව ගොන් ජෝක්ස්වලින් පිරුණු එකක්ය. ප්‍රධාන නළුවා විසින් විසිපහකට තිහකට එකවර පහර දී වැට්ටීමේ හැකියාව ඔවුන් සතුය. තටු නැතිවම නළුවාට පියාඹන්න හැකිය. සියලු චිත්‍රපටිවල කතා ඒකාකාරිය. භාෂාව තේරෙන්නේ නැත. අතර මැද සින්දුය. පාරේ ඉන්න සෑම කෙනෙක්ම නර්තනයට එකතු වනවා. දමිළ චිත්‍රපටි නොබලා බොහෝ දෙනා දෙන්නේ මෙවන් පිළිතුරකි. මේ කරුණුවලින් අපට එක දෙයක් පැහැදිලි කරගත හැකි වනවා. මෙසේ බොළඳ අදහස් තිබෙන අපගේ සිනමා ප්‍රේක්ෂකයා කිසිදු දවසක හොඳ දමිළ චිත්‍රපටියක් බලා නොමැති බව අපට වටහා ගත හැක. එසේ නම් ඔවුන් දමිළ චිත්‍රපටියක් අහඹු ලෙස නරඹා ඇත්තේ කොහෙදීද යන ප්‍රශ්නය අප තුළ ඇති විය හැක. කවදා හෝ මුදල් පරමාර්ථයෙන් රූපවාහිනි නාලිකාවක ප්‍රදර්ශනය කරන චිත්‍රපටියක් නරඹා තිබෙන්නට හැක. එම නාළිකා කිසි දිනක හොඳ නිර්මාණ ප්‍රදර්ශනය කරන්නේ නැති තරම් ය.

ඔවුන්ට අවශ්‍ය ජනප්‍රිය නළු, නිළියන් සිටින චිත්‍රපටියක් විකාශනය කර ඇති තරම් මුදල් උපයා ගැනීමයි. කලාතුරකින් හොඳ චිත්‍රපටි විකාශනය නොකරනවාත් නොවෙයි. භාෂාව තේරෙන්නේ නැත කියන බොහෝ දෙනා මලයාලම්, තෙළිගු වැනි චිත්‍රපටි අප නරඹනවා යැයි තර්කයක් ඉදිරිපත් කරයි. මලයාලම් සිනමාව දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ඉහලින්ම තිබෙන බව මා ද පිළිගනිමි. නමුත් මලායලම් චිත්‍රපටි නරඹන කීදෙනෙකුට මලයාලම් තේරෙනවා ද යන ප්‍රශ්නය මා තුළ ඇති වනවා. තවත් සමහරු තම පොෂ් යැයි කීමට අපි බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි විතරයි අනිත් සේරම තාත්වික නෑ යන තර්කත් මතු කරමින් සිටිනවා. හොලිවුඞ් චිත්‍රපටි තාත්විකමද..? එහි අතිශ්‍යයෝක්තියක් නොමැති ද.? සුපර් හීරෝ චරිත සහිත චිත්‍රපටි අතහැර බලන්නේ නම් අනිත් ඒවායේ දී යම් තරමක අතිශයෝක්තියක් තිබෙනවා එය බැහැර කළ නොහැකි කරුණක්ය.

සාමාන්‍යයෙන් රටක සිනමා නිර්මාණ බිහි වන්නේ ඒ රටේ සිටින බහුතර ප්‍රේක්ෂයන්ගේ රසවින්දනයට අනුව ඉන්දියන්, හොලිවුඞ් කියා වෙනසක් නොමැත, දුකට කරුණ නම් අප කොයි තරම් ඉන්දීයානු සිනමාව විවේචනය කළ ද ඔවුන් මේ වනවිට ලොව ජයගෙන අවසන්. නමුත් ලාංකීය සිනමාවට කුමක් ද වී ඇත්තේ යන්න කතා කිරීමට අප අමතක කරන්නෙමු, පසුගිය වසරේ ලාංකීය චිත්‍රපටි 25කට අධික සංඛ්‍යාවක් තිරගත කර තිබුණි. ඉන් කීයක් ගැන අපි දනිමු ද..? කොපමණ සංඛ්‍යාවක් අප චිත්‍රපටි ශාලාවට ගොස් නරඹා තිබේ ද..?

බොහෝ අය මතුකරන ඊළග තර්කය වන්නේ යථාර්තවාදී නොවන සිනමාවක් දමිළ සිනමා යන්නයි. නමුත් එහි ද යථාර්තාවාදී සිනමා නිර්මාණ ඇති තරම් තිබෙනවා. අවාසනාවකට ඒවා නොනරඹා ඒ ගැන තර්ක කිරීමට අපගේ රසිකයෝ පුරුදුවී සිටිමයි. තලපති, මුල්ලුම් මලරුම්, විසාරනෛ, වික්‍රම් වේදා, දුරුවන්ගල් 16, නායගන්, මාවීරන් කිට්ටු, ආයුධ එලුත්තු, කෝ, පාරිඒරුම් පෙරුමාල්, ජෝකර්, පදිනාරු වයදිනිලේ, විල් අම්බු, 96, කාසි, මොළි, පීට්සා, එකිනොකි තවත් බොහෝ නිර්මාණ උදාහරණ විදිහට පෙන්වා දිය හැකි.

දමිළ සිනමාවේ ඇත්තේ බොළඳ ආදර කතාලු, සුදු අම්මි, සුදු තාත්ති, මැට්ටා, මැට්ටි යැයි තම පෙම්වතාට හා පෙම්වතියට අමතමින් සිටින අපේ සාමාජයේ බොහෝ අය දමිළ සිනමාවේ ඇති බොළඳ ආදරය ගැන කතා කිරීම විහිළුවකි. මේ කාලයේ නිර්මාණය වන සිංහල ප්‍රේම ගීතවලට වඩා දමිළ සිනමාවේ ඇති ආදරය ඉහළ මට්ටමක තිබෙන බව මාගේ අදහසයි. දමිළ සිනමාවේ බිහි වූ විශිෂ්ඨතම ආදර කතා නොමැති තරම් ය. අවාසනාවකට අපගේ බොහෝ සිනමා ඔස්තාර්වරුන් ඒවා නරඹා නොමැති වීමයි. බොහෝ දෙනා දමිළ සිනමාව විවේචනය කරන්නේ විජෙයිගේ චිත්‍රපටි නැරඹීමෙන් අනතුරුවයි නමුත් අප තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා විජෙයි යනු දමිළ සිනමාවේ එක් පුරුකක් බවයි. ඔහුගෙන් සමස්ථ දමිළ සිනමාව විග්‍රහකරගත හැකි ද.?

දමිළ සිනමාවේ අඩුපාඩු නොමැතිම ද? ඇති වෙන්න අඩුපාඩු තිබෙනවා. සමහර චිත්‍රපටිවල මීටර් 500 ක් විතර උඩ පියාඹන නළුවෝ ද ඉන්නවා. බොහෝ නිර්මාණ ඒකාකාරිය කාලයක් එක දිගට හොල්මන් චිත්‍රපටි පමණක් දමිළ සිනමාවේ දැකගන්න පුළුවන්. හොල්මන් චිත්‍රපටිවල විශේෂත්වය වන්නේ යාළුවන් කිහිප දෙනෙක් සිටිම එහෙමත් නැතිනම් අහිංසක පෙම්වතියක්, පෙම්වතා හා තවත් කුඩා දරුවෙක් සිටිනවා. කාලන්තරයක් තිස්සේ නිර්මාණය වූ දමිළ හොල්මන් චිත්‍රපටිවල අන්තර්ගතය වී ඇත්තේ මේවාය.

අනික සෙන්ටිමන්ට් චිත්‍රපටි, ඒවායේ ආරම්භයේ සිට නිළිය හෝ ඒ පවුලේ උදවිය අඬන එක පමණයි කරන්නේ. චිත්‍රපටිය පැය දෙකක් නම් පැයක්ම එහි සිටින චරිත එක එක දේවල් සිහිකරමින් අඩනවා. ඉතිරි පැයේ දෙබස් ඒවායින් ප්‍රේක්ෂකයා අන්ත අසරණ කරන්නට සමත් වෙනවා.

දමිළ සිනමාවේ හොඳ චිත්‍රපටි අනන්තවත් ඇත ඒවා තෝරාගෙන නරඹන්නේ නම් යහපත්ය. නිර්මාණයක් විචාරය කිරීමේ අයිතිය සියලු දෙනා සතුය. එක නිර්මාණයක් හේතුවෙන් සමස්ථ ක්ෂේත්‍රයම විචාරය කිරීම නුසුදුසුය.

– ජෙගන් ගනේෂන් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *