ඩිෂුම් ඩිෂුම්

1988 වසර යනු මා පාසලේ නවවන වසරේ ඉගෙනුම ලබන කාලයයි. එවකට රටේ පැවති අයහපත් දේශපාලනික වාතාවරණය අපේ පාසල් ගමන් පවා අඩාල කෙරීය. විශේෂයෙන්ම පිරිමි දරුවන් වන අපව ගෙදරින් පිටතට යැවීමට පවා අපේ දෙමාපියෝ බිය වූහ. දෙමාපියන් පමණක් නොව අපි පවා එකල සිටියේ තරමක් බියෙනි. පාසල් යෑම ඒම හා පන්ති යන එන එක පවා තරමක බියමුසු ස්වරූපයකින් සිදුවිය.

1988 එක්තරා දිනයක මා ගිරිඋල්ලේ සිට කුරුණෑගල බලා ගමන් ගන්නා බසයක නිවස බලා යාමට සිටි මොහොතක, මගේ මතකයේ හැටියට එය මද්දහන ක් වූ අතර මා සිටි බසයට ගොලු තරුණයෙක් සිඟමන් සඳහා ගොඩ වීය. ඔහු ගිරිඋල්ල නගරයේ නිතිපතා සිඟමන් යැදි තරුණයෙක් වූ අතර ඇවිදීමේ අපහසුවකින්ද පෙලුනි. බස්රථ වලට ගොඩවී එහි ඉඳගෙන කකුල් දෙකින් කුඩා රෙදි කැබැල්ලක් ගෙන එය පාද ආධාරයෙන්ම ඉඳිකටුවකින් මැසීම මේ තරුණයාගේ කාර්‍යය විය. මුවින් කෙල බේරි බේරී මේ කරන කටයුත්ත එක්තරා අපුලක් එක් කළද මිනිස්සු ඔහුට මුදල් කීයක් හෝ දෙන්නට පුරුදු වී සිටියහ. අපි පාසල් සිසුන් හෙයින් ඔහු තරම්වත් වත්කමක් නොමැති නිසා ඔහුගේ පැමිණීම හෝ ඔහු කරන දේ හෝ වැඩි තැකීමක් නොකරයි.

කෙසේ හෝ මේ කියන දවසේ මේ කියන මොහොතේ ඔහු බසයට ගොඩවී කරන ලද්දේ වෙනත් දෙයකි. ඔහු ඔහුගේ පාලනය කළ නොහැකි අත් වලින් අපි කුඩා කලදී සෙල්ලමට පිස්තෝල වලින් වෙඩි තියන්නාක් වගේ වෙඩිතබමින් මොනවදෝ කියන්නට විය. ඔහු ගොලු හෙයින් ඔහු කියන්නේ කුමක්දැයි කාටවත් පැහැදිලි වූයේ නැත. නමුත් ඔහු ඉතා කඩිනමින් වරෙක වෙඩි තබමින් හා තවත් වරෙක මොනවදෝ කියමින් මහත් කලබලයක් කරන්නට විය. මෙය අන් දිනවල සිදු නොවුණු බැවින් මා ඉතා ඕනෑකමින් ඔහු දෙස බැලීමි.

ඔහු අත කුඩා පොකට් දින දර්ශනයක් විය. එහි රූපයේ සිටියේ විජය කුමාරතුංගයි. ඔහු විසින් මේ කරමින් සිටියේ බසයේ සිටි කිසිම දෙනෙක් නොදැන සිටි දෙයකි. ඔහු විජය කුමාරතුංග ගේ පින්තූරයක් පෙන්වමින් එයට වෙඩිතබමින් තමාට වෙඩි වැදුනු අයුරක් පෙන්වමින් හිස ඇලකොට වැටෙන අයුරක් පෙන්වයි. එක්වරම ඔහු කරන්නේ කුමක්දැයි නොතේරුනිද පසුව මහත් විමතියෙන් හා කුතුහලයෙන් බසයේ සිටි අයෙක් ඔහුගෙන් මෙසේ විමසීය. “වෙඩි තියලද?”

ඔහු හිස සැලීය. “කාටද විජය කුමාරතුංග මහත්තයාටද?” එවිට එම තරුණයා වැරෙන් හිස සලමින් එය අනුමත කරමින් ඔහුගේ බසින් “හ්හ් හ්හ් හ්හ්” යැයි කීය. එවිටම තවත් බසයේ සිටි අයෙක් “මොනවා… විජය කුමාරතුංගට වෙඩි තියලා…. අයියෝ……” යනුවෙන් කෑ ගැසීය. ඒ මීට වසර තිස් එකකට පෙර අද වාගේ දිනයකි.

මා කිසිදා සැබැවින් නොදුටු විජය කුමාරතුංගයාණෙනි , ඔබ අප හදවත් තුළ සදා ජීවමානයි….!!!

-අරුණෝද් K. –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *