“මාරියා” කුණාටුවකින් ඉවර වෙයිද? – අරුණ ජයවර්ධන

“මාරියා” සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් බවට පත් වුණේ එහි නිල පෝස්ටර් එක සමාජ මාධ්‍යට එක් කිරීමත් සමඟයි.
සිනමාවට ආදරය කරන බොහෝ දෙනා මොකක් ද මේ මාරියා කියන්නේ? කවුද මේ සිනමා නිර්මාණය කරන්නේ? එතකොට කවුද මාරියා බවට පත්වෙන්නේ?  මෙවැනි බොහෝ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගත්තා.
ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්න හරි අපූරු හමුවක් පසුගියදා සී-නොර් රෙස්ටුරන්ට් එකේ පැවැත්වුණා.

ඒ තමා “මාරියා”  චිත්‍රපටයේ මුහුරත් උළෙල.

මේ නවමු සිනමා අත්දැකීම ලාංකීය හෙලවුඩයට අරගෙන එන්නේ සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන. අරුණ ජයවර්ධන අපිට සිනමාවේ මුලින්ම හමුවන්නේ නිකිණි වැස්ස සිනමාපටය තුලින්.  සිය පළමු සිනමා නිර්මාණය තුලින්ම සම්මානිත වන්නට භාග්‍ය වූ ඔහු ඉන් පසුවත් සිනමා නිර්මාණ කිහිපයක් අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් අපිට සමීප වුණා

අරුණ ජයවර්ධන සමඟ මේ කතාව නම් “මාරියා” ගැන….

මොකක් ද මේ “මාරියා”
මිට අවුරුදු දෙකකට විතර කලින් ප්‍රවෘත්ති බලද්දී ගිය එක පුවතක් තමයි ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබුණු කාන්තා බෝනික්කෙක් හමුවූ පුවත. ඒ අය දෙවඟනක් බෝට්ටුවට ආවා කියලා හිතලා ඒ බෝනික්කා බෝට්ටුවට ගෙන ඇඳුම් අන්දලා පුද පූජා පවත්වලා ගොඩබිමට අරගෙන ඇවිත් තියෙනවා. මේ පුවත තදින්ම මගේ හිතට වැදුණා. ඒ නිසා එය වස්තු විෂය කරගෙන මගේ කතාවක් හදා ගත්තා. ඒ කතාව තමයි මාරියා. මාරියා කවුද කියන එක මම ෆිල්ම් එක එන දවසට කියන්නම්.

පළමු පෝස්ටර් එක සාර්ථක වුණා කියන එක ජයග්‍රහණයක් වගේම ලොකු අභියෝගයක් නේද? මොකද ප්‍රේක්ෂකයා බලන් ඉන්නේ “මාරියා” දිහා…
ඔව් ඇත්ත. අපිට ඕනේ වුණෙත්  ඒ දේ. අපිටත් දැන් හොඳ දෙයක් කරන්න ඕනේ කියන ගැම්මක් තියෙනවා. තවම මම නොකියූ කොටසක් තියෙනවනේ. ඒ කොටසත් එකතු වුණාම මේ අභියෝගය ජය ගන්න ලේසියි. මේ තේමාව අපේ සිනමාවට හරි අලුත්. ඒ තුලම තියෙනවා මේ අභියෝග සාර්ථකව ජයගන්න පුළුවන් අවස්ථා ටිකක්.

 “මාරියා” හි කාන්තා නියෝජනයක් නැද්ද?
කාන්තා චරිතයක් ඉන්නවා….ඒත් නැහැ…මාරියාවක් ඉන්නවා. කුණාටුවක් එනවා. ඒ කුණාටුව ඇතුලේ යම් නිශ්චල චරිතයක් ඉන්නවා. ඒ නිසා තමා මේ සියළු ප්‍රශ්න පැන නගින්නේ. කවුද මාරියා. මාරියා නිසා ඇති වන ප්‍රශ්න මොනවද? ඒවා විසදා ගන්නේ කොහොමද? ඒ සියල්ල දැන ගන්න නම් “මාරියා” බලන්නම වෙනවා.

මෙහි චරිත ගැනත් අපි කෙටි හැඳින්වීමක් කරමු
මහේන්ද්‍ර පෙරේරා විලි කියන මේ බෝට්ටුවේ නායකයාගේ චරිතය. බෝට්ටුවේ ස්කිපර් තමා ඇන්තනී ඒ චරිතය කරන්නේ හේමාල් රණසිංහ.
අශාන් ඩයස් නිරූපණය කරන්නේ ඩයියාගේ චරිතය. ප්‍රියන්ත සිරිකුමාරගේ චරිතය බෙනට්. දර්ශන් ධර්මරාජ් තමයි ඔස්කා. එතකොට සුරන් දසනායක ටෙනී. ඔය හය දෙනා තමා ධිවරයින් වෙන්නේ. දසුන් පතිරණ ධිවර චරිතයක් නෙවෙයි. ඔහු කරන්නේ මාලන් කියන තරුණයාගේ චරිතය. ඔහුට අවශ්‍ය වෙන්නේ ඔස්ට්‍රේලියාවට යන්න. ඒ සඳහා තමා ඔහු බෝට්ටුවට එකතු වෙන්නේ.

හැමෝම කතා වෙන්නේ ඔබ ලංකාවේ ඉන්න සුපිරිම එහෙම නැත්නම් ජනප්‍රියම කට්ටිය මේ සඳහා යොදා ගෙන තියෙන එක ගැන,   

මෙහි ප්‍රවීන, ජනප්‍රිය, සම්මානිත කියන විවිධ රාමුගත නළුවන් ඉන්නේ. හැබයි මම ඒ අය යොදා ගන්නේ ඒ රාමුව නිසා නෙවෙයි. ඒ රාමුවෙන් පිට එකම රාමුවකට ඇවිත් මෙහි එන චරිත වලට උපරිම සාධාරණය ඉෂ්ට කරන්නට හැකි නළුවන් හත් දෙනෙක් විදියට. උදා හේමාල් රණසිංහ කියන කෙනා අමතක වෙලා ඇන්තනී කියන චරිතය මතුවෙන්න ඕනේ. ඒ දේ ඔහුගෙන් ලැබෙනවා කියන උපරිම විශ්වාසය මට තියෙන නිසයි ඔහුව තෝරා ගන්නේ. එහෙම නැතිව ඔහු මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රියම නළුවා නිසා නෙවෙයි. මේ රූ ගත කිරීම දින 15ක් එක දිගටම මුහුද මැද බෝට්ටුවේ කරන්නේ. ඒ නිසා චරිත එහෙ මෙහෙ කරන්න බෑ, හරියටම ගැලපෙන නිසයි මේ දක්ෂයින් හත් දෙනා මේකට ගත්තේ.

මේ දක්ෂ නළුවන් හත්දෙනා ට අමතරව කැමරාකරණය සඳහා ඔබ තෝරා ගන්නෙත් අති දක්ෂයෙක්

කැමරාකරණය චන්න දේශප්‍රිය සහ සහාය කැමරාකරණය ඇඩම්ස්. චන්න තෝරා ගන්නා හේතුව විදියට ඔහු මේ වගේ සිනමාපටයකට එක් කරන හැඩය සහ ඒ කැමරා කෝණ ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා තමා චන්න සහ ඇඩම්ස් මේ වැඩේට එකතු වෙන්නේ. පසුගිය කාලෙම අපි මේ සිනමාපටය රූ ගත කරන්නේ කොහොමද? අපිට තියෙන අභියෝග මොනවද? යොදා ගන්නා කැමරාව වගේ සියලු කරුණු කාරණා අපි කතා කළා. හොඳම නළුවන් වගේම අනිත් අතට තිරයෙන් පිටුපස කාර්යන් සඳහාත් හොඳම ශිල්පින් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමා හොඳම කට්ටිය තමයි වැඩේට එකතු කර ගත්තේ.

හොඳම කට්ටිය ගන්නවා කියන්නෙම හොඳ පිරිවැයක් දරන්නත් ඕනේ, අපි මතක් කළොත් නිෂ්පාදකතුමා ගැන

අනිවාර්යෙන්ම. මේ වගේ කාලයක මෙවැනි සිනමා කෘතියකට මුදල් යොදවනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මෙහි නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා මට මුණගැහුණේ මිතුරෙක් මාර්ගයෙන්. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහුගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය “මාරියා”. නමුත් ඔහු පාසල් වේදිකාවේ කලා නිර්මාණ වලට සම්බන්ධ වුණු හොඳ කලා රසයක් තියෙන කෙනෙක්. ඒ වගේම මීගමු පුරවරයේම ජිවත් වන කෙනෙක් නිසා ඔහුට මේ කතාව මෙහි එන චරිත මේ ජන ජීවිතය හරි සමීපයි. ඒ නිසා ඔහු මේ කතාව නිෂ්පාදනය කරන්න බෙහෙවින් ප්‍රිය කළා.

මේ මොහොතේ පවතින සමාජ කාරණා එක්ක. තව සිනමා නිර්මාණයක් කරනවා කියන එක අභියෝගයක් නෙවෙයිද?

මම හිතන්නේ මෙහෙම. සිනමාශාලාවට මිනිස්සු එනවද නැද්ද? ඒක කොහොමද ජය ගන්නේ කියලා හිතලා. අපි නිර්මාණකරුවන් හැටියට මිනිස්සු ආයේ සිනමාශාලා වෙත එන කාලයක චිත්‍රපටයක් කරනවා කියන තැන හිටියොත් ඒක හරියන්නේ නැහැ. අපි නිර්මාණ ඇතුළෙන්ම මේ අභියෝගය ජය ගන්න ඕනේ. මිනිස්සු ආපහු සිනමාශාලාවට ගෙන්වන ක්‍රමවේදය අපි හොයන්න ඕනේ. මම මේ චිත්‍රපටයේ පළමු පෝස්ටර් එක එළිදැක්වීමත් එක්කම ලොකු කතාබහක් ඇතිවුණා. හැමෝම හිතුවේ අපි මේ චිත්‍රපටය හදලා ඉවරයි පෙන්වන්න හදන්නේ කියලා. ඒ නිසා අපි අපේ පළමු අදියර ජයගෙන ඉවරයි. අනිත් අතට මේ වගේ චිත්‍රපට වලට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනේ තැනක අවස්ථාවන් තියෙනවා. දැන් තාක්ෂණය එක්ක සිනමාපට වෙනුවෙන් අලුත් වේදිකාවන් හැදෙනවා. ඒ සියල්ල ඉලක්ක කරගෙන තමා අපි “මාරියා” හදන්නේ.

“1970 ලව්ස්ටෝරි” චිත්‍රපටය එනකම් ගොඩක් අය බලන් හිටියා, ඇයි ඒ නිර්මාණය තවම ප්‍රමාද? මාරියා නිසා ඒක තව කල් යයි ද?
නැහැ එහෙම වෙන්නේ නැහැ. ගිය වසරේ වැඩ අවසන් කරන්න හිටියත් කොරෝනා නිසා බැරිව ගියා. මේ වෙද්දී බොහෝ දුරට වැඩ ඉවරයි. මේ අවුරුද්දේ කොහොම හරි ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් වෙනස් වූ අලුත් අත්දැකීමක් වෙයි සිනමා ප්‍රේක්ෂකයාට.

ඔබ හැමදාම එකිනෙකට වෙනස් වූ චිත්‍රපට කරන්නේ, ඔබ ඔබේ සිනමාව අරගෙන එන්නේ කොතැනටද?
මම එක රාමුවක කොටුවෙන්න කොහොමත් කැමති නැහැ. විශේෂයෙන්ම මට ඒ ආභාෂය එන්න ඇත්තේ මම අවුරුදු 20ක් ම හිටියේ ලංකාවේ මුල් පෙළේ රූපවාහිනී නාලිකා දෙකක වැඩසටන් නිෂ්පාදකවරයෙක් සහ කළමනාකරුවෙක් විදියට නිසා වෙන්න ඇති. ඒ නිසා මම මේ සිනමාවේ තියෙන සම්භාව්‍ය, ජනප්‍රිය, මැදමාවත, කියන කොටු විශ්වාස කරන්නේනැහැ. ඒවා අපි හදා ගත්ත එකක්. සිනමාව එහෙම කොටු කරන්න බෑ. සිනමාව කියන විෂය හොයාගෙන තියෙන්නේ. ඒක ආයේ කෑලි වලට කඩන්න බෑ. අපි මොන චිත්‍රපටය කරත් ඒ තුළ සිනමාරූපී බව තියෙන්න ඕනේ. අපි සිනමාව කියන විෂය ඇතුළේ ඉන්න ඕනේ. එහෙම නැතුව තියෙන්න පුළුවන් හොඳ සහ නරක චිත්‍රපටි. අපි උත්සහ කරන්න ඕනේ කොහොම හරි හොඳ චිත්‍රපටයක් කරන්න.

මාරියා හි ඇතුළත් වන ගීතය ත් විශේෂයි නේද?

ඔව්, මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ චින්තක ජයකොඩි. මෙහි එක් ගීතයක් ඇතුළත් වෙනවා. විශේෂත්වය තමයි ලෝකයේ මේ වෙද්දී තියෙන ගීතයක්. මාරියාවට ගැලපෙන විදියට වෙනස් කරලා අලුත් විදියට සමීප කරන්න තමා අපි උත්සහ කරන්නේ. ඒ ගැනත් වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

ධීවර ජනජීවිතය පදනම් වූ බඹරු ඇවිත්, ධීවරයෝ වගේ නිර්මාණ බලපු සිනමා රසිකත්වයට මෙය තවත් අලුත් අත්දැකීමක් වෙයි ද?

අනිවාර්යෙන්ම. ඒ සියළු නිර්මාණ ධීවර ජනජීවිතය එක්ක සම්බන්ධ විශිෂ්ට නිර්මාණ බව අවිවාදයෙන් යුතුව පිළිගන්නවා. නමුත් ඒ තුළ තිබ්බේ ධිවර ගම්මාන වල ජන ජීවිතය. අපි මාරියා තුළින් අරන් එන්නේ. මහසයුර මැද ගෙවන ජීවිතය. එවැනි සිනමා අත්දැකීමක් තවම ඇවිත් නැහැ. අපි දන්නවා බහුදින ධීවර යාත්‍රා වල ධිවරයින් සති දෙක තුනක් එහෙමත් නැත්නම් මාසයක් පවා ඉන්නේ මහ මුහුද මැද. හැබැයි ඒ අය හැර කවුරුත් දැකලා නැහැ ඒ ජිවිත ගෙවෙන්නේ කොහොමද කියලා. මේ මුහුදු යන ධිවරයින් දන්නේ නැහැ ගොඩබිමට එනකම් ආයේ එන්න පුළුවන් වෙයිද කියලා. ඒ තරම් අවධානම් සහිත රැකියාවක්. මුහුදු නොයා බැහැ දරුවන් ඇතුළු ජිවිත රකින්න. ඒ නිසා ගෙදර මොන ප්‍රශ්න තිබ්බත් මුහුදු යා යුතුමයි. ඒ ජීවිත තුළ තියෙන විවිධ වූ අත්දැකීම් තමා මාරියා තුලින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ.

අවසාන වශයෙන් කියමු මේ වෙද්දී තියෙන බලාපොරොත්තු ගැන  

මාරියාව කුණාටුවකින් ඉවර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම අන්තර්ජාතික සිනමා උළෙලවල් කිහිපයකට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ලෝක සිනමාව මේ වගේ දෙයක් භාරගන්නේ කොහොමද කියන එක සහ ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද කියන එක බලන්න. ඒකත් එක්ක ලංකාවේ ප්‍රේක්ෂකයාට මාරියා සමීප කරන එක.

-අනුෂා රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *