දැයට අමතක එහෙත් දැයට කිරුළක් වූ ‘ෂෙල්ටන් ප්‍රේමරත්න’

ලෝකයට යා හැකි බොහෝ දක්ෂයන් බිහිවූයේ ලංකාවෙන්ය. එහෙත් ලංකාවේ බහුතරයක් ඒ බව දන්නේ නැත. වගකිවයුත්තන්, අදක්ෂයන් තමතමන්ගේ පෞද්ගලීක හිතවතුන් ලෝකයට යවා, අනා ගන්නවා පමණක් නොව, ලංකාව යනු අදක්ෂන් ගේ තෝතැන්නක් බව ලෝකයට තව තවත් තහවරු කරයි.

එහෙත් සත්‍ය යනු එය නොවේ. ලෝකයේ බොහෝ දක්ෂයන් සිට්න්නෙ ලංකාව තුලය. එය පුන පුනා වුවද කිව හැක. එයට අනන්ත අප්‍රමාණ හේතු සාධක, ඔප්පුකර පෙන්විය හැකිය.

1931 අප්‍රේල් 29 වන දින කොටහේනෙ ඉපදී ,කොටහේනේ සෙක්කුවීදියේ කිතුණු ළදරු පාසැලේ මුල් අකුරු ඉගෙන ගෙන පසුව කොටහේන මධ්‍යම මහා විද්‍යාලයෙන් වැඩි දුර අධ්‍යාපනය ලද “ජෝතිරත්න ෂෙල්ටන් ප්‍රේමරත්න”, ද ලංකාවේ බිහිවුනු ලෝකයේ සිටින එවන් දක්ෂයෙකි.

ලාංකේය සංගීතය,හා ලාංකේය සිනමා සංගීතය තුල පරියේෂනාත්මක නිර්මාණ රැසක් බිහිකිරීමෙ පුරෝගාමියෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මුලින්ම සංගීත මෙහෙයුමකට සම්බන්ධ වූයේ 1952 වේදිකා ගත කල “හීන කුලය” නම් නාට්‍යයෙනි. ඉන්පසු නාට්‍ය ගනනාවකට සංගීත අංශයෙන් සම්බන්ධවූ ඔහු, ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ව්‍යුහයට ඇතුල් වුයේ, “තවත් උදෑසනක්”,”මනරංජන වැඩ වර්ජන”, “හුණු වටයේ කථාවක්”, “සමුද්‍රා දේවි” “නරියා සහ කේජු” වැනි නාට්‍ය හරහාය. ‘යුද්දෙට මං ගියා, ගෑණි ගෙදර තියා’, (හුණුවටය…), “ගෝවේ ගෑණු පරාදයි”(සමුද්‍රා දේවි) ඔහු අතින් නිර්මාණ වූ අදටත් වලංගු ගීතයන්ය.

විජේරත්න වරකාගොඩ ගැයු “හිරු පායනවා, මල් පිපිදෙනවා”, මොරිස් දහනායකගේ “ඔන්න ඕලු මලක් නිල් දිය මත පාවෙලා”, මාලනී බුලත්සිංහල ගැයූ ” සඳ මඩලේ සිට තරු මඬලේ සිට”, අමරදේවයන් හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ” වැනි ගුවන් විදුලි ගීත, ඔහුගේ මුල් කල ජනප්‍රියවූ ගීතයන්ය.

1962 වසරේ “එකමත් එක රටක” නම් සිංහල චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට අවතීර්ණ වූ ඔහු, ඉන්පසු බොහෝ සිංහල චිත්‍රපට වලට, වටිනාකමකින් යුත්, ගීත නිර්මානය කරන්නට විය.

“ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා”, “සුපුන් සඳක් නැගීලා කිරි බැඹලෙන පාරුවේ”, “හංස රාණි ආදරේ,මදාරා පරසතු මැවේ”, “පුෂ්ප මකරන්දය මාගේ”, “තැති නත් බිඳුනා” “අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ”, “ජීවිතේ යෞවන යාමේ”, “කළණ මිතුරු දහමයි” “පෙම් මල් පිපෙන කැලෑවේ “වැනී සුන්දරවූ ගීත රාශියකින් ඔහු ලාංකේය සිනමාව ඒකාලෝක කළේය.

“මා ආලය කල තරුණිය”, ගැහැණු ගැට”, “දස්කොන්”, “සිහින හතක්”, “හැංගි හොරා”, “බඩුත් එක්ක හොරු”, “කළණ මිතුරෝ”, “රොමියෝ ජුලියට් කථාවක්”, “හිතක පිපුණු මල්”, “මහ හේනේ රීරී යකා”, යළි ඉපදේ” “වීදුරු ගෙවල්”, “තිලක හා තිලකා”, “සිරිපාල සහ රන්මැණිකා”, “එක දවසක් රෑ”, “නිවෙන ගින්න”, “ආදර ගීතය”, “උණ්ඩය”, “යුවතිපති”, වැනි චිත්‍රපට වල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ අතර, මෙයින් “රෝමියෝ ජුලියට් කථාවක්”, චිත්‍රපටය තුලින් ඔහු ප්‍රබල වෙනසක් කළේ ලාංකේය සිනමාවේ දිගම ගීතය වූ , මහාචාර්ය තිස්ස කාරියවසම් රචනා කළ ,නිහාල් ජයවර්ධන ලවා විනාඩි 10ක් පමණ ගැයවූ “හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්” ගීතය නිර්මාණ කරමිනි.

එලෙසම එම චිත්‍රපටයටම සුනිල් සාන්ත ගැයූ ප්‍රථම සිනමා ඉංග්‍රීසි ගීතය වූ “My dreams of Roses for my Love”. සදහා තනුව හා සංගීතය සැපයූ අතර. “හිතක පිපුණ මල්” චිත්‍රපටයට ඔහු කළ පර්යේෂණ ගීත කීපය, ලාංකේය සිනමා සංගීත සාහිත්‍යය තුළ නොමියෙන සටහන් තැබුවේය. ඩැල්රින් Zසූබී, හා නන්දා මාලනී ලවා “No East No West ” නම් ගීතය සිංහල හා ඉංග්‍රීසි සමිශ්‍රනයක් කළේය. විමල් ජේ සාගර ගැයු “මා මිණි මාමිණියා දෙයියා” වැදී ගී ශෛලය අනුව නිර්මාණය කළේය. විමල් ජේ සාගර යනු ඔහුගේ එක කුස උපන් සොහොයුරාය. “දස්කොන්” චිත්‍රපටයට විනාඩි හයාමාරක් දිඟු ශාස්ත්‍රීය ගීතයක් නිර්මාණය කරමින්, සිසිර සේනාරත්න සමඟ ගායනා කළේය.

දනට 89 වියේ පසුවන, හදවතින් යොවුන් මේ මහා සංගීතධාරියා පදිංචිවී සිටින්නේ ඕස්ට්‍රෙිලියාවේය.

අවසානයෙ යලිත් මට කි⁣ව හැක්කේ මෙපමණකි.

“ලෝකයට යා හැකි බොහෝ දක්ෂයන් බිහිවෙන්නේ ලංකාවෙන්ය. එහෙත් බහුතරය ඒ බවක් දන්නෙ නැත.”

-ශෝන් මැක්ස්මස් දිසානායක- (2018)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *