ළදරුවෝ කොහොමද රඟපාන්නේ

ඕගොල්ලො දැකල ඇතිනෙ චිත්‍රපට වල හෝ ටීවී සීරීස් වල පුංචි බබාලත් රඟපානව? ඒ කියන්නෙ එයාලත් හිනාවෙනව… අඬන්න ඕනෙ වෙලාවට අඬනව… ඇත්තටම මේවට බබාලව හොයාගන්නෙ කොහෙන්ද? එයාලව රූගත කිරීම් අතරතුරේදී හසුරුවා ගන්නෙ කොහොමද ? ඔය කොහෙන් හරි එවෙලෙට බබෙක් හොයාගන්නව ඇති… අඬවන්න ඕනෙ උනාම පස්ස පැත්ත කොනිත්තනව ඇති… එහෙමද හිතන්නෙ? ඇත්තටම නෑ… ඒක ඊට වඩා සංකීර්ණ කතාවක්…

හොලිවුඩ් ආශ්‍රිතව වෙනමම ඒජන්සි තියෙනවා මේ විදිහට චිත්‍රපට/TV සීරීස් වලට අවශ්‍ය බබාලව සපයන. ඉතිං තමන්ගෙ ටෙලිනාට්‍යයට /චිත්‍රපටයට බබෙක් ඕනෙ නම් නිෂ්පාදකවරු කරන්නෙ මේ වගේ ඒජන්සියකට කතා කරන එක. එයාලට මෙන්න මේ වයසෙ බබෙක් අහවල් දවසට ඕනෙ කියල කියනවා. ඉන්පස්සේ වැඩේ තියෙන්නේ ඒජන්සිය අතේ. එයාල ගාව තියෙනවා අලුත උපන් බබාලාගේ සිට අවුරුදු දෙක තුන හතර ආදී වශයෙන් වයස් වලට කඩපු බබ්බු කැටලොග් එකක්. ඉන්පස්සේ අරගොල්ලන්ට ගැලපෙන විදිහෙ බබෙක් තෝරල ඒ නිෂ්පාදකවරුන්ට සපයනව ඉල්ලන දවසට.

හැබැයි ඒ කැටලොග් එකට බබෙකුගෙ නම දාන්නෙ බබාගෙ දෙමව්පියන්ගෙන් කැමැත්ත ඇතුව. මේ සඳහා බොහෝවිට ඒ ඒජන්සි වල කට්ටිය ගර්භණී මව්වරුන්ගේ ඉඳලම ‘කන්ටැක්ට්ස්’ තියාගෙන ඉන්නව. ඒ කියන්නෙ එයාල බබා ඉපදෙන්න කලින්ම ඒ දෙමව්පියන්ව දැනුවත් කරනව ඉපදුනැයින් පස්සෙ බබාව ෆිල්ම් වලට ගන්නවට කැමති නම් කියන්න කියල. ඉන්පස්සේ ෆෝම්ස් තියෙනවා පුරවන්න. හැබැයි දෙමව්පියෝ විතරක් කැමති වුනාට මදි, අදාළ ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවල කැමැත්තත් ගන්න ඕනෙ. ඉතිං ඔය වගේ හරිම නීත්‍යානුකූල විදිහට තමා මේ වැඩේ වෙන්නෙ… හැබැයි එහෙම කරල බබෙක්ව රූගත කිරීමකට අරගෙන ආවත්, බබ්බු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ නීති රීති මාලාවක්ම තියෙනවා.

උදාහරණ විදිහට, බෙබෙක්ට එක දවසකට ශූටින් සඳහා වෙන්කරන්න පුලුවන් ‘උපරිම මුලු කාලය’ පැය පහක් විතරයි. හැබැයි ඒ කාලය තුලදීත් පැය දෙකක වගේ කාලයක් තමා ශූටින් වලටම වෙන් වෙන්නෙ, ඒකත් එක දිගට නෙවෙයි, විනාඩි විස්සක් හෝ තිහක කෑලි විදිහට තමා යන්නෙ බබා අපහසුතාවට පත් නොවෙන විදිහට. මේ දේවල් වලට අමතරව බබාට සහ අම්මට ට්‍රාන්ස්පෝට් වගේ දේවලුත් ලබාදෙනව. අමතරව බබාටම කැපවුනු නර්ස් කෙනෙකුත් දෙනව. ඊට අමතරව ටිකක් ලොකු බබාලට රඟපාන විදිහ කියල දෙන්න ටීච කෙනෙකුත් වෙනම ඉන්නව. හැබැයි පුංචිම බබාලට එහෙම නෑ.හැබැයි මෙතෙන්දි ගැටලුවක් එනවා, මොකද සමහර නාට්‍යය, ෆිල්ම් සඳහා මේ විදිහට දවසට පැය දෙකක් ශූට් කරල මදි. ඒ වුනාට නීතිය අනුව ඔක්කොම කරගෙන පැය පහක් ඇතුළත බබාව ගෙදර යවන්නත් ඕනෙ.ආපහු ඊළඟ දවසෙ තමා ශූට් කරන්න වෙන්නෙ…එතකොට මොකද කරන්නෙ?

මේක බොහොම ලස්සන ක්‍රමේකට එයාල විසඳගෙන තියෙනවා. ඒ තමා එකම චරිතය කිරීමට නිවුන් බබාලා පාවිච්චි කිරීම! එතකොට එක බබෙක් උදේ වරුවෙ ගෙන්නගත්ත නම් අනික් බබාව හවසට ගෙන්න ගන්නව… තුන් නිවුන්නු වගේ හොයාගත්ත නම් තවත් ලේසී…එතකොට මේ බබාලාට රඟපානවට ගෙවීමක් කරනවාද? ඔව්! ගෙවනව. හැබැයි මෙයාලගෙ චරිතය, කතාව ඇතුලෙ කොච්චර වැදගත් උනත්, ඒ චරිතවලට දෙබස් නැති නිසා,(මේ කතා කරන්නෙ කතා කරන්න බැරි වයසේ බබාල ගැන…) ඒ චරිතවලට ගෙවීම් කරන්නෙ දෙබස් රහිත පසුබිම් චරිත කැටගරිය යටතේ. ඉතිං ලොකූ මුදලක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ බබාල ඇතුළු ළමා නලුවන්ට දෙන ගෙවීම් සම්බන්ධයෙන් ඇමරිකාවේ තියෙනවා කූගන් (Coogan Act) කියල පණතක්.මේකෙත් පොඩි ඉතිහාසය කතන්දරයක් තියෙනවා. ඔයාල චාලි චැප්ලින්ගෙ චිත්‍රපට බලල තියෙනවා නම්, The Kid කියන ෆිල්ම් එකත් අනිවාර්යයෙන් බලල ඇති. මේකෙ චාලි සමඟ චිත්‍රපටය පුරාම රඟපාන ළමා නලුවෙක් ඉන්නවනෙ. එයාගෙ නම ජැකී කූගන්. ජැකී කූගන් කියන්නෙ බබෙක් නෙවෙයි. හැබැයි පොඩි ළමයෙක්. නමුත් එයාට චිත්‍රපටයේ රඟපෑවට ලොකු මුදලක් ලැබුනා. වෙන වෙන නිර්මාණ වලටත් එයා දායක වුනා.

එහෙම කරල ඇත්තටම එයාට ඩොලර් මිලියන කිහිපයක්ම උපයාගන්න පුලුවන් වුනා. ඒත් එයා පුංචි නිසා, සල්ලි දුන්නෙ එයාගෙ දෙමව්පියන්ට. ඒත් ඒ අම්මයි තාත්තයි බොහොම නාස්තිකාර විදිහට ජැකීගෙ සල්ලි වියදම් කළා. අන්තිමට ජැකීට අවුරුදු දහඅට සම්පූර්ණ වෙද්දි එයාගෙ රඟපෑම් වලට ගෙවූ මුදලින් මොකවත් එයාට ලැබුනෙ නෑ… ජැකී කූගන්ට වෙච්චි මේ අසාධාරණය, තවත් ළමයෙක්ට හෝ ළදරුවෙක්ට ආපහු නොවෙන්න තමා කූගන් පණත සම්මත වුනේ. ඒ අනුව ළමයෙක්ට රඟපෑමෙන් ලැබෙන ආදායමෙන් 15% අවම ප්‍රමාණයක් ඒ ළමයාගේ භාරකරුවන් විසින් ‘කූගන් ගිණුමක’ තැන්පත් කිරීම අනිවාර්යයයි.හැබැයි ඔය කූගන් පණත අදාල වෙන්නෙ ඇමරිකාවට. උදාහරණයක් විදිහට එංගලන්තයේ දෙමව්පියන්ට තමන්ගෙ ළමය රඟපෑම් වලින් හම්බ කරන සල්ලි කැමති විදිහකට වියදම් කරන්න පුලුවන්.

ජැකී කූගන්

දැන් ආපහු බබාල ගැන….ඉතිං බබාල සම්බන්ධයෙන් කතා කරද්දි අපිට එන තවත් ප්‍රශ්නයක් තමා, චිත්‍රපට වල සමහර දර්ශන වලදී ගානට ඕනෙ වෙලාවටම බබා අඬන්න ගන්නව… ඇත්තටම එහෙම කොහොමද කරන්නෙ? පස්ස කොනිත්තනවද? නෑ… එහෙම කළොත් ළමා හිංසනය යටතේ ඔක්කොම ගස්. ඒ වුනාට අධ්‍යක්ෂකට ඕනෙ වෙලාවට බබා අඬන්නත් ඕනෙ… මෙන්න මේ විදිහට බබ්බු ලවා අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය දේ කරවා දෙන්න වෙනම කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ බේබි ව්‍රැන්ග්ලර්ස්ල ( baby wranglers) කියල. බේබි ව්‍රැන්ග්ලර් කෙනෙක්, බෙබෙක්ව තමන්ට ඕනෙ වෙලාවට අඬවන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනව. හොඳම උපක්‍රමය තමා බබාට පේන්න එයත් බබෙක් වගේ අඬන්න ගන්නව. එතකොට බබාත් ටික වෙලාවකින් අඬන්න ගන්නව. (මේක මනෝවිද්‍යාත්මකවත් ඇත්ත කතන්දරයක්… ඕනෙ නම් ට්‍රයි කරල බලන්න.) එයා ආපහු අඬන එක නතර කරල බබාවත් නැලෙව්වම බබා අඬන එක නතර කරනව. හැබැයි මේ වැඩේ හැමෝටම බෑ, පුහුණුව අවශ්‍යයි.

ඒ වගේම ශූටින් වලට කලින් අදාළ වැඩිහිටි නලු නිළියන් සහ බබා අතර සම්බන්ධයක් ගොඩනගාගැනීමත් වැදගත්. මේකටත් සමහර විට ව්‍රැන්ගර්ස්ල මැදිහත් වෙනව.ඊට අමතරව සමහර ව්‍රැන්ගර්ස්ල මොනව හරි ගඳ දෙයක් බබාගෙ ලඟින් තැබීම, ලොකු සද්දයක් දැමීම වගේ දේවලුත් කරනවලු බබාව අඬවන්න. හැබැයි ඒව සවුත්තු වැඩ කියල තමා සැළකෙන්නෙ. එහෙමත් නැත්තං, බබාට බඩගිනි වෙලා හෝ එපා වෙලා අඬන කම් ඉඳල ඒ මොහොත කැමරාවට ගන්න එකත් තව ක්‍රමයක්…ඉන්පස්සේ එන තවත් ගැටලුවක් තමා ඉපදුනු ගමන් බබ්බුන්ව ෆිල්ම් වල පෙන්නන්නෙ කොහොමද කියන එක….මේකෙදිත් කලින් කියපු උපක්‍රමයම පාවිච්චි වෙනව.

ඒ තමා නිවුන්නු යොදාගැනීම. සාමාන්‍යයෙන් නිවුන්නු විදිහට උපදින බබාල, තනියම උපදින බබාලට වඩා නොමේරූ පෙනුමක් තමා තියෙන්නේ. මොකද ඉතිං එක්කෙනෙකුට වෙන් කරපු තැනක්නේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් බෙදාහදාගෙනනෙ මාස නවයක් තිස්සෙ හිරවෙලා ඉන්නෙ. ඉතිං එයාල ඉපදිලා මාස දෙකකට වගේ පස්සෙත්, සාමාන්‍ය බබෙක් ඉපදුනු ගමන් වගේ පෙනුමක්/බරක් තමා තියෙන්නෙ. ඒ නිසා ඉපදුනු ගමන් බබාලා විදිහට බොහෝවිට යොදාගන්නෙ නිවුන් බබෙක්. ඇත්තටම බැලුවම නිවුන් බබාලා කියන්නෙ මේ බබ්බු ඒජන්සි වලට ලොකු සම්පතක් එහෙම බැලුවම. මොකද වාසි දෙකක්ම තියෙනව.හැබැයි අපි දැකල තියෙනවා සමහර චිත්‍රපටවල අම්මගෙ කකුල් දෙක මැද්දෙන් ලේ පෙරාගෙන, පෙකෙණිවැල පවා එක්ක බබාව පෙන්නනව… ඉතිං එව්ව කොහොමද ගන්නෙ?බබෙක්ට මේකප් දාන එක කරන්නෙ නෑ සාමාන්‍යයෙන්… ඒක බබාට වදයක් නිසා බොහොම සීරුවෙන් පොඩ්ඩක් තමා කරන්නෙ.

ඉතිං අර වගේ සීන් වලට ඇත්ත බබ්බු පාවිච්චි කරන්න අමාරුයි… හැබැයි ඒවට පාවිච්චි කරන්න පුලුවන් රොබෝ බබාල නොහොත් ඇනිමට්‍රොනික් බබාල දවස් කුලියට දෙන ආයතන වෙනම තියෙනව. ඒත් මේ වගේ ඇනිමට්‍රොනික් බබෙක්ගෙ දවසෙ කුළිය සෑහෙන අධිකයි. ඉතිං පුලුවන් තරම් ඇත්ත බබාලම පාවිච්චි කරල, ඔය උඩ කිව්ව වගේ සීන් වල ඒ මොහොතට විතරක් ඇනිමට්‍රොනික් බබෙක්ව පාවිච්චි කරනව.ඒ ඇරුණම, බබාගෙ චලනයන්, මූණෙ ක්ලෝසප් ශොට්ස් පෙන්නන්න අත්‍යවශ්‍ය නැති සීන් වලට බොහෝවිට පාවිච්චි වෙන්නෙ රබර් බබාල. (උදාහරණයක් විදිහට American Sniper ෆිල්ම් එකේ මෙහෙම රබර් බබෙක් පාවිච්චි වෙනව. හැබැයි එතෙනදී නම් බබා ඇත්ත බබෙක් නෙවෙයි කියල හොඳට බැලුවම තේරෙනව.) ඇත්ත බබ්බුන්ට ඉතාම සමාන විදිහට හදපු මෙවැනි රබර් බබාල කුලියට දෙන ආයතනත් වෙනමම තියෙනව.ඊටත් අමතරව, බොහෝවිට ගෑනු පිරිමි කියල බේදයක් බබ්බු විෂයෙහි සැලකෙන්නෙ නෑ. මොකද පුංචි බබාලගෙ මූණ බලල එහෙම වෙනසක් කියන්න අමාරු නිසා. පොඩි පිරිමි බබෙක්ගේ චරිතෙකට ගෑනු බබෙක්ව පාවිච්චි කිරීම (හෝ අනික් පැත්ත) යොදාගන්න අවස්තා තියෙනව.ඉතිං ඔන්න ඔය විදිහට තමා බබ්බුන්ව චිත්‍රපට සහ ටෙලිවෘතාන්ත සඳහා යොදාගන්නෙ. ඇනිමට්‍රොනික් වගේ තාක්ෂණික විසඳුම් ඇවිත් තිබුනත්, ඒවා තාමත් මිළ අධික නිසා හොලිවුඩ් වල බබ්බුන්ට අනාගතයේදීත් වැඩ තියෙයි.හැබැයි මේ ඔක්කොම ඇමරිකාවට තමා අදාල. ලංකාවේ කොහොමද කියන්න නම් දන්නෙ නැත….

– දුටුනෙත ෆේස්බුක් පිටුවෙන් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *