800 පෝස්ටරයේ තත්පරයෙන් තත්පරය

-ජෙගන් ගනේෂන්-

දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තරම් ජනප්‍රිය වූ ක්‍රීඩාවක් නොමැති තරම්ය. මේ වනවිට එය නිළනොලත් ජාතික ක්‍රීඩාව බවට පත්ව තිබේ. මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ගිය ක්‍රීඩකයින් අතරින් මුත්තයියා මුරලිදරන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු විසින් ක්‍රිකට් වංශ කතාව තුළ තබා ඇති වාර්තා එතරම්ය. ඉන් සමහර වාර්තා අසලට වෙනත් කෙනෙකුට ළං විය හැකි ද යන සැකය පවා මතු කරනු ලබයි. මෙම විශිෂ්ඨ ක්‍රීඩකයාගේ ජීවිත චරිතාප්‍රදානය මේ වනවිට චිත්‍රපටියක් ලෙස පැමිණීමට නියමිතව තිබෙන බව කවුරුත් දනිමු.

මෙම චිත්‍රපටිය සම්බන්ධයෙන් වන සාකච්ඡා ආරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පමණ පෙර මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබුණි. ප්‍රථමයෙන් වෙන්කට් ප්‍රභුගේ අධ්‍යක්ෂණය යටතේ විජය සේදුපති ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළවී තිබුණි. කෙසේ වෙතත් එම කරුණ සම්බන්ධයෙන් වෙන්කට් දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. විජයසේදුපති පවා එසේය. අනතුරුව නැවතත් 2019 ජූලි මාසයේදී යළිත් මුරලිගේ චරිතප්‍රදානය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වන්නට විය. ඒ වනවිටත් විජයසේදුපති විසින් මෙහි ප්‍රධාන චරිතය කරන බවට යළිත් මාධ්‍ය වාර්තා පළ වන්නට විය. මේ සම්බන්ධයෙන් මාධ්‍යයක් වෙත අදහස් පළ කරමින් විජයසේදුපති ද සනාථ කළේය. ඒ වනවිටත් විජයසේදුපති මෙම චිත්‍රපටියට සම්බන්ධ නොවිය යුතු බවට දැඩි විරෝධයක් ඉන්දියාවේ ඇතැම් පිරිස් තුළත් ශ්‍රී ලංකාවේ පිරිස් තුළත් මතුවෙමින් තිබුණි. නමුත් එම විරෝධතා හමුවේ සේදුපති අඩියක්වත් පස්සට නොතබා සිය තීරණයේම දැඩි සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට මුරලිගේ චරිතාප්‍රදානය සහිත 800 චිත්‍රපටියේ මෝෂන් පෝස්ටරය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබිය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියකින් ආරම්භ වන දර්ශනය මුරලිගේ ළමා කාලය වෙත රැගෙන යන ආකාරයක් දක්වා තිබුණි. පාසල තුළ සිය මිතුරන් සමඟ ක්‍රීඩා කරමින් සිටින දර්ශනයක් ඇතුළත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 11ක් පමණ ඇතැයි විශ්වාස කළ හැකිය. අනතුරුව මෙරට තුළ පැවැති කළුජූලිය රූප දර්ශනයක් ඇතුළත්ව තිබුණි. එහිදී මුරලිගේ මව විසින් මුත්තයියා ලෙස කෑගසන දර්ශනයකුත් පියතුමෙකු වෙත මුරලිව භාරදී ඔහුගේ මව ඉන් බැහැරව යන දර්ශනයකුත් තිබුණි. සිය සැමියාව ඇය සොයාගෙන ගියා විය හැකිය. කළුජූලියෙන් අනතුරුව මුරලිගේ ඥාතීන් බොහෝ පිරිසක් යළි ඉන්දියාව බලා ගියෝය. පාසලේ ක්‍රිකට් පුහුණුකරු පැමිණි පුහුණුවීම්වලට පැමිණෙනවා ද කියා විමසන දර්ශනයක් ද ඊට ඇතුළත්ව තිබුණි. එය කවුරුත් දන්නා පරිදි මුරලිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි.

ඊළඟ දර්ශනය වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධි යැයි විනිසුරු ඩැරල් හෙයාර් විසින් සංඥා කළ අවස්ථාවයි. අනතුරුව ක්‍රීඩා පිටිය ආසන්නයේ සිදුවන බෝම්බ පිපිරීම දර්ශනයක් ඇතුළත් කර තිබුණි. බොහෝදුරට 1996 ජනවාරි 31 වනදා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මහබැංකුව ඉදිරියේ සිදු වූ බෝම්බ පිපිරීමේ දර්ශනයක් විය හැකිය. ඉන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම පිපිරීම සිදු වූයේ 96 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කිරීමට දින 15ක් වැනි කාලයක් තිබියදීය. ඒ වනවිට ශ්‍රී ලංකාව, පාකිස්ථාන සහ ඉන්දියාව එම තරඟාවලියේ සත්කාරකත්වය හිමි කරගෙන සිටීමත් විශේෂත්වයකි. මෙම බෝම්බ පිපිරීමත් සමඟ කැන්ගරුවන් සහ කොදෙව්වන් මෙරට පැමිණිම ප්‍රතික්ෂේප කළෝය. මෙරට තුළ තරඟ පැවැත්වීමේ හැකියාවක් පවතින බව පෙන්නුම් කිරීම සඳහා පාකිස්ථාන සහ ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පැමිණ එක් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟයක් කොළඹ ක්‍රීඩා කිරීමත් විශේෂත්වයකි.

කෙසේ වෙතත් කැන්ගරුවන් සහ කොදෙව්වන් ශ්‍රී ලංකාවට නොපැමිණීම හේතුවෙන් එම තරග දෙකෙහි ජය ශ්‍රී ලංකාවට හිමි වූයේ ප්‍රසාද ලකුණු ද සමඟින්ය. එම ලකුණුත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලබාගන්න ලදි.2009 වර්ෂයේදී පාකිස්ථානයේ සිදු වු ත්‍රස්තප්‍රහාරයේ දර්ශන කිහිපයක් ද මෝෂන් පෝස්ටරයට ඇතුළත් කර තිබුණි. එහිදී බස් රථය තුළ මුරලි දිගාවී සිටින ආකාරයක දර්ශනයක් විය. අනතුරුව පන්දු යැවීමේ ඉරියව් පරික්ෂණය මුහුණ දෙන ආකාරයක දර්ශනය සහ මුරලි සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සහිත පසුබිමක් එහි තිබුණි. පෝස්ටරය නිමාවීමට පෙර 800 වන කඩුල්ල දවාගැනීමේ අරමුණින් පන්දුව සිය අතෙහි තබාගෙන සිටින ආකාරයක දසුනක් විය. අනතුරුව මුරලිගේ මුහුණ විජයසේදුපති ලෙස වෙනස් වන ආකාරය ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබුණ ආකාරයක් දැකගත හැකි විය.

විටෙක මේ මුරලිම ද යන පැනය පවා අප තුළ ජනිත කරන ආකාරයට එය නිර්මාණාත්මකව සිදු කර තිබීම විශේෂත්වයකි. ටෙස්ට් තරඟ සඳහා භාවිත කරනු ලබන පන්දුවෙහි වර්ණයෙන් 800 නිර්මාණය කර තිබු ආකාරය ද අතිවිශිෂ්ඨ යැයි කීමට හැක. සෑම් සී.එස් සිය සංගීතය හරහා මෙම පෝස්ටරය අප වෙත තවදුරටත් ළඟා කළේය. එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආර්.ඩී රාජසේකර්ය. විරෝධතා මධ්‍යයෙහි විජයසේදුපති ගෙන ඇති මෙම තීරණය අගය කළ යුතුමය. ඉන්දියාවේ නළුනිළියන් කෙරෙහි විරෝධතා මතුවීම සාමාන්‍ය දෙයකි. මෙලෙස දැඩි විරෝධය හමුවේ රූගත කළ බොහෝ චිත්‍රපට අතිසාර්ථක ලෙස තිරගත වූ අවස්ථා දැකගත හැකි විය. මේ සියල්ලටම කාලයා විසින් පිළිතුරු ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *