සමරප්පුලි හේනයලාගේ බබා නෝනාගෙන් අත්හැරීම ඉගෙනගන්න.

බුද්ධදාස ගලප්පත්ති
ඉරිදා දිවයින සංග්‍රහය 30.08.2020

සමරප්පුලි හේනයලාගේ බබානෝනා අධිකරණ ශාලාවක දී සාක්ෂිකාරියක ලෙස මට හමු වේ.ඈ අධිකරණයට එන්නී තමාගේ දෑස් ඉදිරියේ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කොට ඇති ඇගේ එකම පුතු කවදා හෝ දකින්නට ලැබේය යන විශ්වාසය සිත රඳවාගෙනය.

ඈත දුෂ්කර ගම්මානයක ජීවත්වන බබානෝනා ගේ වෘත්තිය අනුන්ගේ කිලිටි රෙදි සේදීමය.ශ්‍රී ලංකාව පුරා භීෂණය රජ වු 1988-1989 කාල වකවානුව තුළ දී දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය හා පාලක රජය විසින් ඝාතනයට ලක් කරන ලද්දා වූ පණස් දහසකට අධික ගැහැනු හා මිනිසුන් අතර බබානෝනාගේ පුතු ද සිටින්නේය. එම මරණ හෝ අහිමි වූ, අතුරුදන් වූ ජීවිත පිළිබඳ වගකීම කුමන පාර්ශවයක් විසින් භාර ගන්නේද යන්නට මෙතෙක් පිළිතුරු ලැබී නැතැයි සිතමි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය ඛෙදජනක කාල වකවානුවක සිදු වූ සමාජ දේශපාලන සංසිද්ධීන් රැසක යම් යම් සිදුවීම් පිළිබඳ ලියැවුණු කාව්‍ය නිර්මාණ, කෙටිකතා, නවකතා මෙන්ම වේදිකා නාට්‍ය හා සිනමා කෘති ද වේ.

වළා පටල හෝ ගින්නෙන් උපන් සීතල වැනි සිනමා කෘතියක 71 කැරැල්ලට හෝ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ චරිත කතාවට අදාළව කියැවුණ ද විසාකේෂ චන්ද්‍රසේකරම් ගේ පාංශු සිනමා කෘතිය තුළින් කතා කෙරෙන 88-89 පශ්චාද් කැරැල්ල පිළිබඳ කතාව තරම් හෘද සංවේදී පුවතක් අප අත් විඳ නැති බව නිසැක වශයෙන්ම සටහන් කළ යුතුය.විසාකේස චන්ද්‍රසේකරම්ගේ ප්‍රතිභාන්විත තිර රචනය තුළින් ඒ යුගයේ තරුණ පුතුන් පහැර ගෙන යන ලද්දා වූ සිය ගණනක් අම්මාවරුන් අතරින් තෝරා ගත් එක් අම්මා කෙනෙකුගේ ජීවන වෘතාන්තය කාලය හා ඉඩ හසර (Time & Space ) පිළිබඳ මනා දැනුමකින් යුතුව ප්‍රතිනිර්මාණය කොට තිබෙනු පෙනේ.හේනයලාගේ බබානෝනා ඒ අම්මාය.

ඈ සියලු මව්වරුන්ගේ දුක්ප්‍රාප්ත කතාව නියෝජනය කරන්නීය.දේශපාලන හෝ සමාජයීය පක්ෂග්‍රාහිත්වයෙන් තොර නිරීක්ෂණ ඔස්සේ විසාකේසගේ සිනමා කෘතියේ සිදුවීම් පෙළ ගැසේ.චරිත ගොඩ නැගේ. හෝරාවකුත් අඩක් පමණ සීමිත කාලයක් තුළ තිර රචක අධ්‍යක්ෂ විසාකේස විසින් මනුෂ්‍යත්වය පිළිබඳ, මානව දයාව පිළිබඳ,බුදු දහමෙහි කියැවෙන අත් හැරීමේ සංකල්පය ඉසියුම්ව සංවේදීව සිනමානුරූපීව ගොඩ නගන ජීවන අත්දැකීමක් ලෙසින් ප්‍රේක්ෂක හදවත් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ගෙ හදවත් දශක කිහිපයක අතීතයට ගෙන ගොස් සසල කරවමිනි.බබානෝනාගේ පුතු නන්නාඳුනනා තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැරගෙන යනු ලබන්නේ ඇගේ දැස් ඉදිරිපිටදීමය.ඔවුන්ගේ මුහුණු වසා තිබූ ආවරණයක් ගැලවුණු මොහොතේ දී ඈ පැහැරගන්නාගේ මුහුණ දකින්නීය. පුතුගේ දෑස් වසන්නේ රෙදි වැලෙහි එල්ලා තිබූ ඔහුගේම සරමකින් ඉරාගත් රෙදි කඩකින් බව බබානෝනාට මතකය.

ඒ ඇසින් දුටු සාක්ෂි ඔස්සේ ඈ හඳුනාගනීමේ පෙරෙට්ටුවේදී තම පුතුට අභය දෙන ලෙස ඉල්ලමින් දෙපා ළඟ වැටී බැගැපත් වූ හමුදා සෙබළාගේ මුහුණ ඈ විසින් එක්වරම හඳුනාගනු ලබන්නීය.කාලය වසර ගණනින් ඉක්ම ගිය ද,නඩු වාර කීපයකටම ඈ නගරයට පැමිණිය ද තම නැති වූ පුතු පිළිබඳ කිසිදු හෝඩුවාවක් හෝ ලැබෙන්නී ඇයට නොවේ. තරුණ නීතිඥවරයා බබානෝනාට සාධාරණයක් ඉටු කර දීමට වෙහෙසෙන රැඩිකල් චරිතයක් ලෙස නිරූපිතය.සමූහ මිනී වලක් ගොඩ දමන අවස්ථාවෙ ඔහු ඈ එහි කැඳවා ගෙන යයි. එහි දී ගොඩගත් සරම් කැබැල්ල දකින බබානෝනා එය තම පුතුගේ දෑස් වැසීමට ඉරාගත් ඔහුගේම සරමෙහි කොටසක් බව තහවුරු කර ගනී.ඉනිදු ඈ තම පුතු ජීවතුන් අතර නොමැතිය යන නිගමනයට නො එළඹෙන්නීය.රෝහලේ උපස්ථායකයා ගේ ඔත්තුවකට අනුව රෝහලට ගෙනා රෝගී තරුණයකු බලන්නට ද යන්නීය.

එහෙත් ඇයට නොවේ පුතු දකින්නට ලැබෙන්නී. ඈ පුතුගේ වේලපත්කඩය ගමේ පංසලෙ හාමුදුරුවන්ට පෙන්වන්නේ කිසියම් හෝ සහනයක් ලබා ගැනීමටය. ආගමික සංස්ථාව ඈ ප්‍රතික්ෂේප කරන්නේ.”චේගුවේරකාරයන්ට මොන වේලපත්කඩ බැලිල්ලක් ද, අපරාදෙ සටන් කරපු හමුදාවෙ සෙබලු උසාවි ගාණෙ රස්තියාදු කරනවා ” වැනි පිළිතුරක් මුමුණමිනි.ගම්මානය හරහා දිවෙන පුද්ගලික බස් රියකට ගොඩවීමට හෝ බබානෝනාට වරම් නොලැබෙන්නී, ඈ රිදී නැන්දා කෙනෙකු වීම නිසා නොවෙද?කුල පීඩනය නිසා බැට කන බබානෝනා පුත්‍ර ස්නේහයෙන් මඬනා ලද මවක ලෙසින් ද දුකට පත්වන්නීය.තම පුතු පැහැර ගත්තවුන්ට හෙණ ඉල්ලා සිටිමට තරම් ඇගේ සිත අනුකම්පා විරහිත වෙයි.තොරතුරක් නොමැති අතුරුදන් වූවන් මිය ගියාය යනුවෙන් සලකා දෙනු ලබන වන්දිය ඈ පිළිකෙව් කරන්නී තම පුතු මිය ගොස් ඇතැයි යන්න විශ්වාස නොකරමිනි.ගමේ පළාත් සභා මැතිවරණයට රජය නියෝජනය කරමින් තරග කළ අපෙක්ෂිකාවගේ ඝාතනයට තම පුතු සම්බන්ධ වී ද යන සැකය ඇගේ සිතට පිවිසෙන්නී මියගිය කාන්තාවගේ දියණියගේ මල්වර මඟුලට සහභාගීවූ මොහොතෙහි ඇයට ඉස දිය වත් කරද්දීය. ඒ සිදුවීම ඔස්සේ ඇගේ මතකය අතීතාවර්ජනයකට යයි.

ඇගේ සිත ඈ විසින්ම ප්‍රශ්න කරනු ලබන්නී, රූපා නෝනා ඝාතනය වූයේ තම පුතු අතින්ම ද යන ප්‍රශ්නය සිතට පිවිසීමෙනි.අනෙක් අතට උසාවි බිමෙහි දී බබානෝනාට හමුවන , දකින විත්තිකාර සෙබළාගේ ගැබ්බර බිරිඳ ගේ පාපොච්චාරණය මැද ඇගේ සිත කැළඹේ.තම පුතුට දස වධ දුන් බව ඈ සෙබළ බිරිඳට පවසන්නීය. නියපොතු පව ගැළ වු අපරාදකාරයන්ට , ඔවුන්ගේ උපන් නූපන් දරුවන්ට හෝ හොඳක් සිදු නොවේවායි ඈ පළි ගසන්නීය.ගැබ්බර හමුදා සෙබළ බිරිඳගේ පාපොච්චාරණය බබානෝනාගේ වෛරී දැඩි සිත වෙනස් කළා වද්ද? දරුවකු කුස තුළ තබා ගෙන සිටින බිරිඳ බබානෝනාගෙන් ඉල්ලා සිටින්නී නඩුව අත්හැර දමන ලෙසයි. හමුදාවේ උසස් නිලදරුවන් ඇගේ සැමියා එවන් අපරාධවලට යොදාගත් බවත්, ඔහු ජීවත් වූව ද රෝගී තත්වයෙන් පසුවන පුද්ගලයකු බවත්, තම කුස සිටින දරුවාගේ නාමයෙන් ඔහුට සමාව දෙන ලෙසත් ඉල්ලමින් ඈ බැගෑපත් වන්නීය.

නූගත් බබානෝනාගේ සිත තම පුතු වෙනුවෙන් උපන් ස්නේහය හා ඔහු ඝතනය කළා යයි සැකකරනු ලබ සාක්ෂිද සහිත විත්තිකාර සෙබළාගේ බිරිඳ ගේ කුසෙහි ජීවත්වන කිරිකැටියා පිලිබඳ මවක ලෙස උපන් මාතෲ ස්නේහය අතර දෝලනය වන සංකීර්ණ සිතුවිලි දාමයක් අතර අතරමංවේ.ඇයට රෝහලේ දී නෙත ගැටෙන රෝගී දරුවකු, මහල්ලෙකු, භික්ෂූ රුවක් හා ඇඳක තබා ගෙනගිය මියගිය පුද්ගලයකු සිහියට නැගේ. සිදුහත්කුමරුට ගිහි ගෙය අත්හැරීමට තුඩු දුන් සතර පෙර නිමිතිම නොවේ ද නූතන ගැමි ගැහැනියක වූ නූගත් බබානෝනා දකින්නේ? මියගොස් අත්තේ තම පුතු වූව ද ඔහු නිර්දෝෂී චරිතයක් නොවේය යන්න ඇගේ සිත ඇයට පවසයි.රූපා නෝනා ඝාතනය කළ ගිනි අවිය ඈ විසින් දියෙහි සැඟ වූ බව ඇයට මතකය. හමුදා සෙබළා තවත් බලගතු පාර්ශවයක ඉත්තෙකු ලෙස ක්‍රියා කළා මිස සැබවින්ම ඔහුට තම පුතු මරා දමීමේ වුවමනාවක් තිබුනා ද? අවසන ඈ තම පුතු වෙනුවෙනුත්, ලොව දකින්නට සිටින කිරිකැටි බිළිඳෙකු වෙනුවෙනුත් සියල්ල අත්හැරීමට තීරණය කරන්නීය. නඩුව ඉදිරියට ගෙන යැමට අන්වශ්‍ය බව පැවසූ මොහොතේ තරුණ නීතිඥවරයා කෝපාවිෂ්ට වේ. ඔහු නීතිය දන්නා නමුත් නූගත් වූවත් ගැහනියකගේ, මවකගේ සිතක් හැසිරෙන අන්දම නොදැන සිටියා විය යුතුය.

විසාකේස චන්ද්‍රසෙකරම් ගේ පාංශුහි නළුවරණය විශිෂ්ටය. බබානෝනාගේ භූමිකාවෙහි නීටා ප්‍රනාන්දු,කුල පීඩනයෙන් බැට කන, අහිමි වූ පුතෙකු පිළිබඳ අත් නොහරින අපෙක්ෂා සතු වූ දිරිය මවක් ලෙස ජීවත් වන’යුරු විශිෂ්ටය.ඇගේ සියලු අභිනයන් තුළින් හේනයලාගේ බබානෝනා මිස නීටා ප්‍රනාන්දු නම් ජාත්යන්තර සම්මාන ලද නිළිය අපට හමු නොවෙ.ඇගේ රංගනය ඇතුළු හද ගැබින් මතුවන්නක් විනා ආරූඨ කරගත් චරිතයකට පිවිසීමක් ලෙස අපට නොදැනෙ.ජගත් මනුවර්ණ,මයුර කාංචන පෙරේරා ග්‍රේස් ආරියවිමල් මෙන්ම නදී කම්මලවීර ගේ රංගන ප්‍රශස්ථය. නදී තම දරුවා ලැබෙන්නට පෙර උසාවියේ දී කළ රංගනය, දරුවා රැගෙන බබානෝනා හමුවීමට ගමට ගිය අවස්ථාවෙහි රංගනය හා සසැඳීමෙන් ඇගෙ රංග පරාසය කෙතරම් පුළුල් ද යන්න අපට දැකගත හැකිය.

ෂෙවියර් කණිෂ්ක, මල්කම් මචාදෝ, නිල්මිණි බුවනෙක ආදී චරිත පාංශු ශක්තිමත් කරති ඖචිත්‍යයෙන් යුත් සංගීත නිර්මාණය, කර්කෂ දුෂ්කර ගම්මානයක පරිසරය මනාව හසුකරගත් කැමරාකරණය අධ්‍යක්ෂ විසකෙස චන්ද්‍රසේකරම්ගේ අධ්‍යක්ෂණයෙහි විශිෂ්ටත්වය ප්‍රකට කරන කඩඉම් වේ.මානව දයාව උතුරා ගිය, ජීවිතය පිළිබඳ විවෘත මනසකින් සිතන්නට පොළඹවනු ලබන අපේ කාලයේ ජීවන අත්දැකීමක් රූප මාධ්‍ය තුළින් භාවාතිශය නොවන ජීවන අන්දරයක් ලෙස ප්‍රතිනිර්මාණය වූ පාංශු සිංහල සිනමා වංශ කතාවෙහි නව පරිච්ඡේදයක් ලෙස ලි‍යවුණු විශිෂ්ට සිනමා ව්‍යායාමයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *