නාගොඩවිතානයන් ගැන ලියැවුණු සටහනක්

ෂෙනාල් ගුණසේකර විසින්..

පොඩි කාලේ මට ටීවි එකේ ෆිල්ම් බලද්දී එහේ මෙහේ දුවන ති.නා. ලේබල් එක ලොකු ගැටලුවක් වුණා. ඒ සිද්ධිය විහිළුවක් විදිහට අරගෙන අපි නොදන්න ලයිව් එකේත් එක එක සෙග්මන්ට්ස් පෙන්නද්දී “අ.ල.” කියලා තිරය පුරා දුවපු හැටි මට මතක් වෙනවා. නමුත් අද කොපිරයිට්ස් වගේ දේවල් ගැන ඉගෙනගනිද්දී, ඒ දේවල් අත්විඳිද්දී, ඒ විදිහට දුවන ති.නා. ලේබල් එකේ වටිනාකම, එහෙම එකක් දාන එක මොනතරම් සාධාරණ ද කියන එක තේරෙනවා.

හාඩ් පිරෙන්න ටීවි සීරීස්, ෆිල්ම්ස් දාලා එකතු කරගෙන තියෙද්දී, ඒ හාඩ් එකක් කැඩුණම, වයිරස් එකක් ගියාම, වැරදිලා ෆයිල්ස් ඩිලීට් වුණාම දැනෙන දුක ඒවාට ආදරය කරන මිනිස්සු දන්නවා. ඕනෑම විදිහක කලෙක්ට’ කෙනෙක්ට තමන් ආදරය කරන දේක කලෙක්ෂන් එක පණ වගේ පරිස්සම් කරන එක ජීවිතයේම කොටසක් වෙනවා. ඒක කාසියක, මුද්දරයක ඉඳලා වාහනයක් දක්වා වුණත් විහිදෙනවා. ති.නා. කියන්නේ එහෙම කලෙක්ෂන් එකක් හදාගත්ත, ඒ කලෙක්ෂන් එකට විධිමත් වටිනාකමක් දීපු පුද්ගලයෙක්. අපිට අතීතය දිහා බලද්දී මිස් වුණු දේවල් ගොඩක් තියෙනවා. ඒවා අතරට ලාංකේය සිනමාවත් එකතු වෙලා මිස් නොවුණේ ති.නා ආරම්භ කරපු සංරක්ෂණ වැඩපිළිවෙළ නිසයි. ලංකාවේ නිර්මාණ වගේම වෙනත් භාෂාවන්ගෙන් නිර්මාණය වුණු පරණ ෆිල්ම්ස් පවා ති.නා. පණ වගේ පරිස්සම් කළා.

ති.නා. නැති තැනක් වර්තමානයේ ඉඳලා අතීත ලාංකේය සිනමාව රිෆ’ කරන කෙනෙකුට හොයාගන්න අමාරුයි. මොකද අපි කොහේ කොහොම ෆිල්ම් එකක් බැලුවත් හැමතිස්සේම අපිත් එක්කම ඒ ෆිල්ම් එක බලන්න ති.නා.ත් එන නිසා. ති.නා. ෆිල්ම් එක පුරා එහා මෙහා උඩ පහළ ඇවිදින්නේ හරියට සැරින් සැරේ පැට්‍රෝලින් යන ආරක්ෂක නිලධාරියෙක්ගේ වගේ. ති.නා. තමයි ලාංකේය සිනමාවේ ආරක්ෂකයා, සංරක්ෂකයා.

ති.නා.ට අවසන් ගෞරවය දක්වන්න පවුලේ අයට ඇරෙන්න වෙන කාටවත් සහභාගි වෙන්න බැරි වාතාවරණයක් ඇතිවුණු එක හිතට වේදනාවක්.
අන්ධකාර වෙන්න ගිය අතීත සිනමා දිවිය එළිය කරළා වාසනා ලොවක් හදන්න වෙහෙසිලා ඔහු දිව්‍යලෝකයට ගිහින්.
කමක් නෑ, ආයෙ පරණ ෆිල්ම් එකක් බලන දවසට ති.නා.ත් අපිත් එක්ක ෆිල්ම් බලන්න එනවනේ.

සුබ ගමන්, තිස්ස නාගොඩවිතාන මහතා.

-ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *