අරුණ ගුණරත්න
සරසවිය e – paper – 26/03/2020
පසුගිය වකවානුවේ මෙරට ටෙලිවිෂනයේ පැරැණි සිංහල චිතපටයක් විකාශය වන විට නිරන්තරයෙන් දැක ගත හැකි අකුරු දෙකක් විය. ඒ ති.නා. ය. ති.නා යැයි පැවසුවේ තිස්ස මහානාම නාගොඩවිතානටය. ගම ගාල්ලේය. උගත්තේ රිච්මන්ඩ් විදුහලේය. උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ආර්ථික විද්‍යාව ගෞරව උපාධියකි. බොහෝ මිනිසුන්ගේ උපාධි දැනුම ප්‍රායෝගික නොවේ. ගෙඩි පිටින් ගිලින ලද විෂයානුබද්ධ වචන විනා ප්‍රායෝගික කිසිත් එහි නොවේ.එහෙත් තිස්ස සිය දැනුම යොදා අලුත් ව්‍යාපාරයක් ගොඩනැංවුයේය.
එක් කලෙක කිසිවකු හෝ විසින් නොසලකා හරින ලද එමෙන්ම, කාලයාගේ ඇවෑමෙන් නිෂ්පාදකවරයන්ගේ අගුපිල්වල ගොඩ ගසා තිබුණු පැරැණි චිත්‍රපට රත්තරන් ඉල්ලමක් කරන්නට තරම් ඔහුගේ දැනුම ප්‍රායෝගික විය. තිස්ස නාගොඩ විතානගේ එම ව්‍යාපාර ඥානය නොවන්නට අපේ සිනමාවේ පැරැණි චිත්‍රපට රාශියක් අපට ඉතිරි නොවනු ඇත. හැත්තෑ වසරක කථානාද සිනමාවේ පැරැණි අතීතය මේ අයුරින් හෝ ඊළග පරම්පරාවට ඉතුරු කරදීමේ ගෞරවය තිස්ස නාගොඩවිතානට විනා කිසිවකුට හෝ ලැබෙන්නේ නැත.
විශ්වවිද්‍යාලයෙන් බැහැර වූ පසු තිස්ස අයියාගේ ජීවිතය ඇරඹෙනුයේ ගුරුවරයෙකු හැටියටය. එහෙත් එය ටික කාලයකි. ගම ගාල්ලේ නිසාවෙන්දෝ අලුත් දෙයකට සිත යොමන්නට ඔහුට වුවමනා විය. බොහෝ දෙනා නොදන්නා නමුත් තිස්ස ගායකයකු ද විය. අද පරම්පරාවේ දුෂ්‍යන්ත් වීරමන් ගයනු ලබන ‘වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉඳල ආව’ ගීතේ සැබෑ ගායකයා තිස්ස අයියාය . මා දන්නා තරමින් එහි රචකයා ද ඔහුය. තිස්ස අයියා සිරස නිපදවූ සුසාර දිනාල් හා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ලද ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයට දුෂ්‍යන්ත්ට එම ගීතය ගයන්නට ඉඩ හළේය. ගීතයේ ලක්ෂ්මන් මෙන්ඩිස් පෙනී සිටින ජවනිකාවේ පසුබිම් හඬ එදා මෙන්ම තිස්ස අයියාගේය.
තිස්ස පැරැණි චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරයට අත ගැසුවේ අසූ ගණන්වල මුලය. අද අප අතර නැති එවකට චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයකු වූ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතා මා සමඟ පැවසූ අන්දමට තිස්ස මුලින්ම මිළයට ගන්නට ගියේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ තුෂාරා චිත්‍රපටයයි. මොකක්දෝ හේතුවකට තිස්සට තුෂාරා හමු නොවිණ. ඒ වනවිට තිස්ස නාගොඩවිතාන නම සිනමාවට එක්වී අවසානය. ඒ ටයිටස් තොටවත්තගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටයේ සම නිෂ්පාදක හැටියටය. තුෂාරා හමුනොවුණ ද ඔහුට තවත් වටිනා චිත්‍රපටයක් පිළිබඳ ඔත්තුවක් ලැබිණ. ඒ 1958 වසරේ දෙබස් කවා ප්‍රදර්ශනය කරන ලද මනුෂ්‍යත්වය චිත්‍රපටයයි. රොබින් තම්පෝට අයත් ව තිබුණ මේ චිත්‍රපටය එකල තිබුණේ යාපනයේය. වහා යාපනයට ගිය තිස්ස අයියා මනුෂ්‍යත්වය රැගෙන පැමිණ එහි නව චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේය. මේ අවදියේ ඔහු චිත්‍රපට නිෂ්පාදනයට ද යොමුවිය. එකක් කෝලම්කාරයෝය. ඔහු එය මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ සම අධ්‍යක්ෂණයේ නියැළිණ. දෙවැන්න කිං කැකිල්ලේ ය. එහි නිෂ්පාදක හා අධ්‍යක්ෂ තිස්ස අයියාමය.
චිත්‍රපට නිෂ්පාදනයට වඩා පැරැණි චිත්‍රපට යළි ප්‍රතිසංස්කරණය කොට තිරගත කරවීම වඩා වැදගත් බව මේ වන විට ඔහු වටහා ගෙන සිටියේය. එහෙත් එය අලුත් චිත්‍රපටයක් නිපදවනවාට වඩා දුෂ්කරර කාර්යයක් විය. පැරැණි චිත්‍රපට රැස්කිරීම හා ඒවා ගබඩා කිරීම සෙල්ලමක් නොවේ. ඉතා ඉක්මනින් පිටපත් නරක් වන්නේය. එබැවින් කෙනෙකු සිතනවාට වඩා දුෂ්කර ක්‍රියාවලියක් හා කැපවීමක් මේ සදහා කළ යුතුවිය. එමෙන්ම මේ චිත්‍රපට සොයා ගැනීම පහසු කාර්යයක් නොවිණ. පැරැණි චිත්‍රපට විකුණා දැමීමෙන් තමන්ට අවනම්බුවක් වෙතැයි සිතූ නිෂ්පාදකවරු එම චිත්‍රපට කාලය සමඟ විනාශ වන්නට ඉඩ හැරියහ. සමහරුන්ට තිස්ස පෙනුණේ පරණ බෝතල් පත්තර එකතු කරන්නෙකු හැටියටය. එහෙත් මේ කුඩා මිනිසා අලුත් ව්‍යාපාරය කිසිසේත් අත අරින්නට සූදානම් වුයේ නැත. එය එක් අතකින් පෙනෙනවාට වඩා ජාතික මෙහවරක් විය. තිස්ස විසින් අසීරුවෙන් හා වැර වෑයමෙන් සොයා නොගන්නට මේ බොහෝ චිත්‍රපට නාමික වස්තුන් වන්නට ඉඩ තිබිණ. තිස්ස ඒ සඳහා මහන්සියක් මෙන්ම ධනයක් ද වැය කළේය. ඇතැම් චිත්‍රපට වාණිජමය වශයෙන් කිසිදු වැදගත්කමක් නැත. පැරැණි චිත්‍රපට පමණකි. එහෙත් තිස්ස ඒ කිසිදු දෙයක් අපතේ යැව්වේ නැත. සමහර චිත්‍රපට තිබුණේ රීලයක් හෝ දෙකක් පමණකි. චිත්‍රපට සංරක්ෂණයේ දී තිස්ස ව්‍යාපාරිකයෙකු ලෙස සැලකූ බොහෝ දෙනකු ඒ සඳහා ඔහු කෙතරම් මුදලක් හා කාලයක් කැප කරන්නේ දැයි සැලකුවේ නැත.
මට තිස්ස අයියා මුලින් මුණ ගැසෙන්නේ 1983 වසරේය. ඒ වන විට කොළඹ ආනන්දයේ මා මිතුරු හේමසිරි අබේරත්න සිහිනයක් නමින් කෙටි චිත්‍රපටයක් නිපද වූ අවදියයි. එයට දායක වූ ප්‍රධාන අයෙකු වූයේ මාය. අපේ චිත්‍රපටය මිනිත්තු දහයක් බැවින් ඒ සමඟ වෙනත් චිත්‍රපටයක් ද පෙන්වීමට අපට අවශ්‍ය විය. ඒ වන විට තිස්ස නාගොඩවිතාන ළඟ මනුෂ්‍යත්වය නමින් චිත්‍රපටයක් ඇති බව අපට දැන ගන්නට ඉඩ ලැබිණ. හේමසිරිත් මාත් ඔහු සොයා ගියෙමු. ඒ වනවිට තිස්ස අයියා සිටියේ බම්බලපිටිය මහල් නිවාස ඉදිරිපිට අතුරු පාරක නිවහනකය. අපට අඩු මුදලකට මනුෂ්‍යත්වය පෙන්වන්නට තිස්ස අයියා එකඟ විණ. අපේ ‘සිහිනයක්’ සමග ‘මනුෂ්‍යත්වය’ ද ආනන්දයේ කුලරත්න ශාලාවේ පෙන්වීමට අපි වරම් ලදිමු.
පසුකලෙක සරසවියට එක්වන මට මුල් අවදියේ ම තිස්ස අයියා සමඟ සාකච්ඡාවක් කොට ලිපියක් ලියන්නට පවරනුයේ එවකට සරසවිය කරතෘ ඒ.ඩී.රංජිත් කුමාර මහතාය. ඒ වනවිට තිස්ස අයියා ජීවත්වූයේ කොළඹ ගංගාරාමය අසබඩ පෙරහැර මාවතේය. ඔහු ඒ වනවිට චිත්‍රපට සංරක්ෂකයකු ලෙස නමක් දිනා සිටියේය. එයින් පසු අප අතර මිත්‍රත්වයක් ඇති විය. චිත්‍රපට සොයා ගැනීම අසීරු කාර්යක් බව වැටහුණේ මේ සාකච්ඡාවේදීය. ඇතැම් පැරැණි නිෂ්පාදකයන් කැමැත්තෙන්ම චිත්‍රපට විකුණා දැමුව ද සමහරුන්ගෙන් ඇසූ කල ඇයි අප බංකොලොත්දැයි විමසා තිස්සට බැණුම් අහන්නට ද සිදුවිය. මේ අවදියේ සිරස ටීවී මඟින් ගෙන ආ ඕල්ඩ් හිට්ස් නම් පැරැණි චිත්‍රපට ගීත ඇතුළත් වැඩසටහනේ පිටපත රචනාවූයේ මා අතිනි.
පූරකයා වූයේ ටීටර් සිංඥෝට ඇඳගත් රොඩ්නි වර්ණකුලය. අධ්‍යක්ෂණය කරන ලද්දේ ශාන්ත බණ්ඩාර ජයවර්ධන සහ අරුණ ජයවර්ධන දෙපොළයි. චිත්‍රපට දර්ශන සැපයූවේ තිස්ස අයියාය. අපි නිතර මුණගැසෙමින් හෝ දුරකතන මඟින් හෝ පැරැණි චිත්‍රපට ගැන හෝ කරුණු කාරණා ගැන දැන ගතිමු. පැරණි චිත්‍රපට එකතු කෙරුව ද තිස්ස අයියා යාවත්කාලීන වූ මිනිසෙකි. ටෙලිවිෂන චිත්‍රපට පෙන්වීම පමණක් නොව අන්තර්ජාලය හරහා චිත්‍රපට මුදාහැරීමේ දී ඔහු සතු විශිෂ්ට ව්‍යාපාරික දැනුම මවිත කරවන සුලු බව මගේ හැඟිමය. මුල් වරට සිංහල චිත්‍රපටයක බ්ලු රේ පිටපත් නිකුත් කරන ලද්දේ ඔහුය. ඒ මාතලන් සහ මනුෂ්‍යත්වයයි. ඔහු ඇතැම්විට චිත්‍රපටයක දර්ශන රූප රාමුව වෙනත් අවශ්‍යතා සදහා සපයද්දී මිළක් අය කළේය. කාරණාව ඇත්තය. ඔහු විසින් වැර වෑයමෙන් එකතු කොට මුදල් වැය කොට සංරක්ෂණය කරන චිත්‍රපට වෙනත් අරමුණු සඳහා භාවිත කරද්දී අපොයි තිස්ස ගාව නිකම් තියන ඒවානේ දුන්නම මක් වෙනවාදැයි අසන අය එයට ඔහු කළ කැපවීම දැන සිටියේ නැත.
තිස්සගෙන් නොමිළයේ ලබා ගන්න රූප රාමු ටෙලිවිෂන නාළිකාවල විකාශය කරනුයේ තත්පර ගණනකට දැන්වීම් ලබා ගෙනය. එබැවින් ඔහු විකිණෙන මිළ ගැන දැන සිටියේය. ඒ ආර්ථික විද්‍යාව පිළිබඳ කළ හැදෑරීමය. එහෙත් තිස්ස මිත්‍රත්වයේ දී නිර්ලෝභී මිනිසකු විය. එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාගේ මෙහෙයුම මත මවිසින් අධ්‍යක්ෂණය කරන ලද රන්මිහිතැන්න වාර්තා චිත්‍රපටය සඳහා පැරැණි චිත්‍රපට රූපරාමු රාශියක් අවශ්‍යව තිබිණ. නිෂ්පාදන සැලසුමේදීම තිස්ස අයියාට අදාළ දර්ශන සදහා මුදලක් ගෙවිය යුතු බැව් මම පැවසුවෙමි. එයට අනුමැතිය ද ලැබිණ. ඒ සඳහා වැයවන මුදල කොපමණ දැයි දැන ගන්නට මට අවශ්‍ය විය. ආණ්ඩුවේ වැඩක් වුණාට ඔයාගෙනේ වැඩේ. තිස්ස අයියා පැවසුවේය. ඕනෑ චිත්‍රපටයි. සීන් ටිකයි ඔයාම ඇවිත් බලලා කොපි කර ගන්ඩ.
එය ස්ථිර වචනයක් විය. පසුකලෙක මා සරසවිය කර්තෘ පදවියට පත් වූ පසු පැවැත්වූ සරසවිය සම්මාන උලෙළේ දී ද ඔහු මා වෙනුවෙන් ඒ ආකාරයට ම උපකාර කළ බැව් මෙහි සදහන් කන්නේ ඔහුට ගෞරවයක් හැටියට. පසුගියදා ගාමිණි වේරගම රචනා කළ දේශිය සිනමා වංශය ද්විතීය කාණ්ඩය ග්‍රන්ථය දොරට වැඩි උලෙළේ දී ප්‍රදර්ශනය කළ චිත්‍රපට දර්ශන ද තිස්ස සැපයුවේ එම ප්‍රතිපත්තියේ පිහිටා ගෙනය.
සිනමා කර්මාන්තයේ දී ඔහු බොහෝදෙනා හා සමීපව ඇසුරු කළේය. ඔහු හොඳ මිතුරෙක් විය. චිත්‍රපට ප්‍රදර්ශකයෙකු ලෙස ඔහු එම්.පී.අයි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විය. ඒ හැමට වඩා ඔහු ආදර්ශමත් සැමියකු හා පියෙකු විය. ඔහුගේ භාර්යාව කුමාරිට ඔහු ආදරණීය සැමියකු විය. පුතුන් වූ හරේන්, චරිත් හා චමිලට දයාබර පියෙකුවූවා පමණක් නොව ඔවුන් සමාජයේ ඉහළ තලයට ගෙන ඒමට කැපවිණ.
තිස්ස නාගොඩවිතානයන්ට නිවන් සැප ලැබේවා යැයි පතමි. ඔහුගේ වටිනාකම අදටත් වඩා හෙට වඩා හොඳින් මෙරට සිනමාවට දැනෙනු ඇත.
-අරුණ ගුණරත්න-