ළමා මනස කම්පනයට පත් කරන රාමුගත අධ්‍යාපන ක‍්‍රමයේ ඛේදවාචකය ‘‘විෂම භාග’’

‘‘විෂම භාග’’ රූපමය පරිමාව ඉහළයි.

2019 දෙසැම්බර් 20 – දිවයින
අජිත් ගලප්පත්ති

 ‘‘විෂම භාග’’ චිත‍්‍රපටය ආශ‍්‍රිතව පළමු වරට සිනමාකරුවකු ලෙස අපගේ අවධානයට ලක්වන මෙම සිනමාකරුවා මීට පෙර රූප මාධ්‍යය තුළ විවිධාකාරව හරඹ පෑවෙකු ලෙස ප‍්‍රකටය. රූප භාෂාවට මුල්තැන නොදෙන තැන්වල පවා ඔහු රූප බසට ශික්ෂිතව නැඹුරු වීම සිනමාකරුවකු ලෙස පරිනාමය වීමේදී සහෘද අප තුළ අපේක්‍ෂා දැල්වූවකි. ලලිත් රත්නායක රූප මාධ්‍ය තුළ යම් අනන්‍යතාවක් හා ප‍්‍රකාශන සුවිශේෂතාවක් සෙවූවෙකි. එනම් රූපය චලනය කරවීම සහ එකී චලන රූපයද නිෂ්චලව තබන රිද්මයක් භාවිතයට ගැනීමය. එමෙන්ම එහි අර්ථ මතුකිරීම උදෙසා ආලෝකය හැසිරවීම යන හරඹයයි. මෙය චිත‍්‍රපටය උදෙසා ගත හැකි අර්ථකථනයකි. එලෙස සැලකූ කල්හි ‘‘විෂම භාග’’ චිත‍්‍රපටය රූප බස යොදා ගැනෙන ප‍්‍රමාණික අවස්ථාවක් ලෙස හැෙඟයි.
 
 ‘‘විෂම භාග’’ චමත්කාරජනක චිත‍්‍රපටයකි. සිනමාකරුවා වගබලාගන්නේ සියළු රසයන්ගේ සාරය මතු කරන්නටය. ‘‘චමත්කාරය’’ යනු එක් අතකින් එම සියළු රසයන්ගේ ඒකරාශි වීමයි. අනෙක් අතට විස්මය යනුද චමත්කාරයයි. මෙම චිත‍්‍රපටය අවසන් වන්නේ අප විස්මයට පත්කරමිනි. එය සිත පුරවා දමන විස්මයකි. මෙම චිත‍්‍රපටය විඳිද්දී අප තිගැස්මකට ලක්වන්නේ මන්දා යන කාරණය නිරවුල් කොට ගත් කල්හි එකී සිත පුරවන විස්මය යනු කුමක්දැයි විසඳාගත හැකිය. රසිකයා තිගැස්මකට ලක්වීම නිර්මාණයේ ප‍්‍රබලත්වය කියාපායි.


මෙම චිත‍්‍රපටයේ වස්තු විෂය පරස්පර විෂයයන් දෙකක් ඔස්සේ විහිදෙයි. එකක් වන්නේ සම්ප‍්‍රදායික, රාමුගත අධ්‍යාපන ක‍්‍රමය සහ ඉන් චිත්ත පීඩාවට පත් ළමා මනසයි. අනෙක් විෂය වන්නේ මාරාන්තික වකුගඩු රෝගය සහ ඊට හේතුවන විෂ රසායනික ද්‍රව්‍ය භාවිතයයි. මෙම විෂය ක්‍ෂේත‍්‍රනික ද්‍රව්‍ය භාවිතයයි. මෙම විෂය ක්‍ෂේත‍්‍ර කිසිදු සම්බන්ධතාවක් දනවන්නේ නැත. නමුත් එලෙස අන්‍යොන්‍ය සබඳතාවක් නොදක්වන විෂයයන් දෙකක් සිය තේමාව හා බද්ධ කර ගැනීමෙන් එක් පොදු නිමිත්තකට සිනමාකරුවා කේන්ද්‍රගත වෙයි. එනම් මනුෂ්‍යයා අත්විඳින පීඩාවන්ට හේතු වන්නා වූ කෲරතර බලවේගයයි. මිනිසා සමඟ බැඳී පවත්නා අධ්‍යාපනය හෝ කෘෂිකර්මාන්තය යන විෂයයන් වසා නැගී සිටින ගතානුගතිකත්වය, සම්ප‍්‍රදායය, රාමුගත විෂය නිර්දේශ, වෙළෙඳ බල අධිකාරිත්වය යන ආක‍්‍රමණික පීඩකයෝය. අධ්‍යාපනය හෝ කෘෂිකර්මාන්තය යන විෂයයන් හා බැඳී පවත්නා මෙහි වස්තු විෂය සුලබ ස්වභාවයක් ගනී.

මෙම තේමාවන් මින් පෙර සිනමාකරුවන් ඇතුළු නිර්මාණකරුවන්ගේ බහුල භාවිතයට ලක්ව ඇත. සුලබ තේමාවන් විසින් නිරායාසයෙන් ඉස්මතු කිරීමට නියමිත ඒකාකාරීත්වය අපගේ වින්දන සීමාවෙන් මග හරින්නේ සිනමාකරුවාගේ රූපවියරණ පරීක්‍ෂණයයි. එම ශික්‍ෂණය යනු රූප බස හැසිරවීමේ ඉවසීම සහ ප‍්‍රමිතියයි.
 
 ශිෂ්‍යයා අප‍්‍රමාණ පීඩාවට පත් කෙරෙන අධ්‍යාපන ක‍්‍රමවේදය දරුණු විනිශ්චයකට හසුකරන සිනමාකරුවා යෝජනා කරන ප‍්‍රබල ඉඟියක් ඇත. එනම් ජීවිතය පිළිබඳ ඉගෙනුම කුමනාකාර විය යුතුද යන්නයි. මෙහි දරුවා දෙපස තැබෙන පාසල් ගුරුවරයා සහ සීයාගේ චරිත මෙම චිත‍්‍රපටය පුරා විකාශය කෙරෙනුයේ එම ඉඟිය තීව‍්‍ර කරමිනි. අවසානයේ සැබෑ ගුරුවරයා එනම් ‘‘සීයා’’ මරණයට පත්වෙයි. යාන්ත‍්‍රික ගුරුවරයා අඛණ්ඩව සිය රාමුගත විෂය නිර්දේශයම උගන්වයි. පීඩිත දරුවා ඉහළ පන්තියට හෝ පහළ පන්තියට සමත් හෝ අසමත් විය යුතුය. ගතානුගකික විෂය නිර්දේශයේ දරුවා උගත යුතු පාඩම් බොහෝය. නමුත් සීමා උගන්වන්නේ එකම පාඩමකි.
 
 එනම් දරුවා උගතයුත්තේ ජීවිතයට පිළිබඳ පාඩම පමණි. සිනමාකරුගේ අවධාරණය එයයි. උගන්වන දේ සහ උගැන්වියයුතු දේ අතර එම අවධාරණය තැබෙයි.
 
 ‘‘විෂම භාග’’ චිත‍්‍රපයේ චමත්කාරය අපූර්ව, අමුතු ආශ්වාදයක් වනුයේ එය මන්දගාමී රූපාවලිය සහෘදයාගේ සිත්හි උපදවන ස්වීය භාවරූප ජනනය නිසාය. ඒනම් සිනමාකරුවා තම චිත‍්‍රපටය ලෙස යෝජනා කරන දෘෂ්‍යමාන රූපාවලිය විසින් බලකර සිටින රසිකයා දැකිය යුතු භාව රූපාවලියයි. රසිකයා විස්මයට පත්ව තිගැස්සෙනුයේ තමා මත පැටවෙන මෙම හදිසි වගකීම නිසාවෙනි. විස්මය හා තිගැස්මට පත්වන රසිකයා විඳින රසය යනු එහි දිගුවකි. මෙම තිගැස්සුණු ස්වභාවය හට ගන්නේ අපූර්ව වස්තුවක් දැක ඇසුරු කිරීමෙනි. ‘‘විෂම භාග’’ චිත‍්‍රපයේ අපූර්ව භාගය වනුයේ එහි වස්තු විෂය නොව එය රඳවන ආකෘතිය හෙවත් සිනමාකරුවාගේ ශික්‍ෂිත රූප ව්‍යවහාරය බව හැෙඟයි. රූපයේ ශික්‍ෂණය විසින් අර්ථය හසුරුවනු ලබයි.
 
 චරිත ගොඩනැගීමේදී සිනමාකරුවකු භාවිතයට ගන්නා උපක‍්‍රමයක් වනුයේ එකිනෙකට පටහැනි ප‍්‍රතිවිරුද්ධ චරිත සංසන්ධනයයි. ‘‘හොඳ’’ ගුරුවරිය සහ ‘‘නරක ගුරුවරිය’’ දක්‍ෂ දරුවා සහ ‘‘අදක්‍ෂ’’ දරුවා, ‘‘ගණිතයට’’ දක්‍ෂ දරුවා සහ ‘‘සංගීතයට’’ කැමති දරුවා, ‘‘විෂ රසායන ඉසින’’ ගොවියා සහ ඊට සපුරා ‘‘එරෙහි වන’’ මහල්ලා, මියගිය සීයා ජීවත්වන ‘‘සුළු පියා’’ යනාදී ද්විත්ව, පටහැනි චරිත එයි. සංස්ථාපනය කරමින් මෙහි කතන්දරය ගොඩනැගීමට සිනමාකරුවා උපායශීලී වෙයි. ඉන් උපදින්නේ විස්මය මුසු චමත්කාරයයි. අප තිගැස්සෙන්නේ එම සංසන්දනයේ උච්ඡුතම තැනකදීය. එනම් ඒ අපගේ විනිශ්චය මතුවීමයි.
 
 අප එය විස්මිත චමත්කාරයකැයි කියමු. චමත්කාරය යනු සුන්දරත්වයද අතික‍්‍රමණය කරන්නකි. සුන්දරත්වය යනු ලෝකයේ පියකරු බවය. පියකරු සහ බියකරු යන ස්වරූප දෙක චමත්කාර තුළ වෙයි. ‘‘විෂම භාග’’ චිත‍්‍රපටයෙන් චමත්කාරය යන්න පුළුල් අරුතෙන් ගත යුත්තේ එබැවිනි. සිනමාකරුවා සිය චරිත සහ සිද්ධි සමූහය රඳවන පසුබිම් පරිසරය මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධානතම රූපකය බවට පත්වෙයි. එනම් එම පසුබිම් පරිසරය හෙවත් සොබාදහමට අදාළ ගුඪත්වය හා අපරිමිත බව තුළින්ම නැගෙන චමත්කාරයයි. සොබාදහමේ හුදෙකලා, නිශ්චල රූප මත බොහෝ වෙලා නතර වී සිටින්නට සිනමාකරුවා අපව පොලඹවයි. ප‍්‍රබල රූපක භාවිතය ‘‘විෂම භාග’’ රූපාවලියේ රිද්මය එලෙස තීව‍්‍ර කරයි.
 
 පෙර සඳහන් කළ ප‍්‍රතිවිරෝධී සංකල්ප එකිනෙක ඝට්ටනය කිරීමේ විලාසයේ ප‍්‍රබලතම රූපකයක් මෙහි වෙයි. එනම් අසමාන, විෂම විලාසයේ දරුවන් දෙදෙනාට එකම බාහිර ස්වරූප සහිත ගුරුවරුන් දෙදෙනකු ගැනීමයි. භාවකම්පිත ප‍්‍රකාශනයෙහිලා එම රංගන ශිල්පීන්ගෙන් නිරූපණය වන පරස්පර විරෝධී අන්ත දෙක අවසානයේ කේන්ද්‍රීය අර්ථය කුළුගැන්වීමට හේතු වෙයි.

වින්දනාත්මක චිත‍්‍රපට ප‍්‍රවාහයේ ළමුන් හැසිරවීමේ ශූරත්වයට වඩා ‘විෂම භාග’’ චිත‍්‍රපටයේ මෙම ළමා චරිත ගොඩනැංවීම භාර¥ර කාර්යයක් ලෙස මතු වෙයි. අපට වැදගත් වනුයේ භාවතිශය වූ දරුවන්ගේ සංවේදී ලෝකය නොව පීඩිත දරුවන් ලෙස මතු කෙරෙන සැබෑ මනුෂ්‍යයන්ගේ ඉරණමයි. එම ඛේදනීය ඉරණමට සහෘද අප සිතින් එරෙහිව අරගල කරන තරමයි. අප අත්විඳින තිගැස්ම යනු එම චිත්ත අරගලයේ උච්ඡුස්ථානයයි. කූඨප‍්‍රාප්තියයි.
 
 ‘‘විෂම භාග’’ චිත‍්‍රපටයේ දරුවන් මුහුණදෙන පීඩනය මැවීම සඳහා සිනමාකරුවා ඇතැම් තැනකදී වැඩිහිටි චරිත ස්වභාවයන් අතිශෝක්තියෙන් මවයි. ජැක්සන් ඇන්තනි රඟපාන රෞද්‍ර ගුරුවරයා එබඳු අවස්ථාවකදී එම ගුරුවරයා එපමණටම රෞද්‍ර සිත්පිත් නැත්තකු ලෙස ?????? ඊට ප‍්‍රතිපක්‍ෂ අන් චරිත සානුකම්පිතව ඉස්මතු කරවීමටය.
 
 එම කෲරතර හා යාන්ත‍්‍රික ගුරුවරයා තුළ ජීවත්වන රහස්‍ය අසරණ මනුෂ්‍යයා මතුවන තත්පරයක් මෙම දිගු රූපාවලියෙහි අග වෙයි. නමුත් එම මනුෂ්‍යයාට ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ ඔහු යටපත් කොට ජීවත්වන යාන්ත‍්‍රික වෘත්තිකයාම බව සිනමාකරු වහා කියයි. පීඩිත දරුවා මෙතනදී යාන්ත‍්‍රික ගුරුවරයාට උගන්වන පාඩම ප‍්‍රබලය.
 
 චිත‍්‍රපටය තුළ චරිත, සිදුවීම් සහ එහි ගලායෑම් විලාස රිද්ම දෙපසට ඛණ්ඩනය කොට විනිශ්චය කිරීමට රසිකයා යොමු කෙරෙයි. දරුවා ගුරුවරයාට උගන්වන්නේ ජීවිතය පිළිබඳ පාඩමයි. එය වහා යටපත් කොට ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ ඊළඟ පාඩම අරඹයි. වඩාත් වලංගු විය යුත්තේ කුමන පාඩම දැයි සහෘදයාට පැහැදිලිවෙයි.
 
 මින් අවධාරණය කෙරෙන මිනිසුන් සහ ඔවුන්ගේ ඉරණම් විෂම බවයි. ඒ වෙනුවෙන් ඔවුන් නියුතු අරගලය සහ ඉන් ලබනා ජය පරාජයන්ද විෂම බවයි. උපතින් සහ ස්වරූපයෙන් සම ස්වරූප ඇති දරුවන් දෙදෙනා චිත‍්‍රපටය තුළ ප‍්‍රබල රූපයක් කොට ගැනෙන්නේ එම විෂම බව ජීවිතය යැයි කීමටය. සිනමාකරුවා තම ප‍්‍රකාශන භාෂාව සහ එම ආකෘතියෙහි රඳවන අර්ථය තුළ සූක්‍ෂ්ම වන්නේ එලෙසටය. මදවේගී රූප ශික්‍ෂණය විසින් පුපුරුවා හරින ප‍්‍රබල අර්ථ රූපය එයයි.
 
 රූප ව්‍යවහාරයේදී සිනමාකරුවා දක්වන ශික්‍ෂණය චරිත හා සිද්ධි ගොඩනැංවීමේදීද තබාගන්නට සැලකිලිමත් වෙයි. සිනමාකරුවාගේ එම ශික්‍ෂණය රසික සිත සක‍්‍රිය කරන්නකි. මෙහි නිර්මාණකරුවා ශික්‍ෂණය වනුයේ හැකි තරමින් නොපෙන්වා පෙන්වීමටය. එනම් රසිකයාට දැකීමට සලස්වන තරමට ඉඟි පමණක් පෙන්වීමටය. නොපෙන්වීම යනු ව්‍යංග රූප ප‍්‍රබල කිරීමකි.
 
 ‘‘විෂම භාග’’ චිත‍්‍රපටයෙහි පුරා දිවෙන චරිත සිදුවීම් සහ ප‍්‍රබල සංකල්ප අවධාරණයන් මතු කිරීමට සිනමාකරුවා භාවිත කරන ඉංගිත රූප සහ දෙබස් සංකේතමය රූපක ස්වරූප ගනී. නිදසුන් ලෙස මෙහි විෂ රසායන සමස්ත කෘෂිකර්මාන්තය ගිල විනාශ කොට නැගී සිටින යක්‍ෂයකු වන තරම ඉඟිකරන්නේ එකී ජවනිකාවකිනි. ‘‘ඉපනැල්ලට නොව හාල්වලටත් වස ගහන්න වෙයි’’ කියා තරුණයා විසින් මහල්ලා වෙත පිළිතුරු දෙන කෙටි රූප පෙළ සමස්ත රූපවාලිය පුරාම දිවෙයි.
 
 ගණං බැරි, අසමත්, ප‍්‍රබල පීඩිතයා අවසානයේ තම පීඩකයාට උගන්වන පාඩම සමස්ත අධ්‍යාපන ක‍්‍රමවේදයම ප‍්‍රශ්න කරන තරම් විසල් දර්ශනයකි. සමස්ත චිත‍්‍රපයේම ජයග‍්‍රාහකයා එම දුබලයාය. පරාජිතයාය. සිනමාකරුගේ ව්‍යංග අදෘෂ්‍යමාන යටිපෙළ රූපය ප‍්‍රබල වන්නේ එලෙසිනි.
 
 දෘෂ්‍යමානයට මුළාවීම සහෘදයාගේ වින්දනය වන්නේ නැත. මෙහි පීඩිත දරුවා මේ මොහොත තුළ පරදින්නේ අනාගතය ජයගනිමිනි. ඔහු වර්තමානය තුළ දුබල වනුයේ ඉදිරි මොහොතට ප‍්‍රබල අර්ථයක් දෙමිනි. සිනමාකරුගේ ප‍්‍රකාශනය එයයි. වඩාත් දැනුවත් මිනිසා යනු යාන්ත‍්‍රික ගුරුවරයාගේ දඬුවමට, අපහාසයට හා පීඩනයට නතුව අසමත් කෙරෙන ගණිතය බැරි ‘‘අයියා’’ බව ප‍්‍රබල අවධාරණයයි. ඔහු අසමර්ථ වන ගණිත භාග පාඩමට වඩා සීයාගේ ජීවිත ඉගැන්වීම හා සංගීත ගුරුතුමියගේ සින්දු පාඩම ජීවිතයට යාවන සුවිශාල ඉගැන්වීම් බව සිනමාකරුවා නිශ්චය කරයි. මේ මොහොත පරදින යාන්ත‍්‍රිකයා ඊළඟ මොහොත ජයගන්නා බව එකී අවධාරණයයි. අපි තිගැසෙන්නේ එම ඊළඟ මොහොතට බියෙනි. එනම් මේ මොහොත අත්හරින්නට නොකැමැත්තෙනි. ගණිත පාඩම සහ ජීවිත පාඩම අතර දුර එපමණකි. ඉන් වඩාත් ප‍්‍රයෝජනවත් පාඩමට වහා අප යොමුවිය යුතුය. ජීවිතය ඇත්තේ එතැනය.
 
 මිනිසා යනු කුල පෘෂ්ඨයක් නොව යම් වස්තුවකි. පරිමාව යනු එම වස්තුව හෙවත් මනුෂ්‍යයාගේ පිහිටීමට හිස් අවකාශයෙන් ඉල්ලා සිටින නිශ්චිත ඉඩ ප‍්‍රමාණයයි. වර්ගඵලය මැනීමට වඩා පරිමාව මැනීම දුෂ්කර බව චිත‍්‍රපටයේ අවසන් රූප රාමුවේ තැබෙන අවධාරණයයි. පරිමාව සහ ධාරිතාව ඒ අලූත් පාඩමයි. ජීවිතයේ පරිමාණය විශාලත්වයෙන් හා අගයෙන් වැඩිය.
 
 -අජිත් ගලප්පත්ති-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *