ශාරුක් ඛාන් පුතා එක්ක සිංහයන්ට අඳී

මේ මොහොතේ බොලිවුඩයෙන් ලැබෙන උණුසුම්ම පුවත ලැබෙන්නේ ශාරුක් ඛාන් ගැන. 90 ව දශකයේ කුඩා දරුවන්ව හිඳ නැරඹු ‘The Lion King’ සජීවිකරණ චිත්‍රපටය අද ඔවුන් තරුණයන් ලෙසද ඉතාම ආදරයෙන් නරඹනවා. ‘The Lion King’ උන්මාදය නැවතත් ලෝකෙට එනවා. ඒ ජූලි 19 වෙනිදා සිට. ‘The Lion King’ ඩිස්නි බෙදාහැරීමක්.

ශාරුක් ඛාන් කියන්නෙත් හොඳ ලයන් කිං රසිකයෙක්. ඩිස්නි සමාගම තෝරා ගැනීමක් කරලා තිබෙනවා. ඒ 19 වෙනිදා ලොව පුරා නිකුත් වන මේ ඉංග්‍රීසි චිත්‍රපටයේ හින්දි හඬක් සඳහා ඔවුන් තෝරා ගත්තේ ශාරුක් ඛාන්. ඒ එහි ප්‍රධාන චරිතය වන ‘මුෆාසා’ සිංහ රජුගේ හඬටයි. එමෙන්ම අනෙක් අපූරු තෝරා ගැනීම වූයේ ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය සිංහ පෝතකයාගේ චරිතය වන ‘සිම්බා’ ගේ චරිතයටයි. ඒ වෙන කිසිවෙක් නොව ශාරුක් ගේ වැඩිමල් පුත් ආර්යන් ඛාන්.

තාත්තා සහ පුතා මේ දිනවල ක්‍රිකට් ලෝක කුසලාන උන්මාදයෙන් පෙළුනත් ලයන් කිං ඔවුන්ට අමතක වූයේ නැහැ. පසුගිය ඉරිදා දින ඉන්දු – පකිස්තාන ක්‍රිකට් තරඟය නරඹන අතරතුර පිය පුතු දෙපල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටි අතර එහි පිට පැත්තේ ‘Mufasa’ සහ ‘Simba’ යනුවෙන් සඳහන් කොට තිබුණා. එම ඡායාරූපය ශාරුක්ගේ Instagram අනුගාමිකයන් අතර අතිශය ජනප්‍රිය වී තිබුනා.

කෙසේ වෙතත් බොලිවුඩයේ ප්‍රේක්ෂකයන්ට එම පිය පුතු හඬ සංයෝජනය අලුත් අත්දැකීමක් වනු ඇති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *