මනි රත්නම් ගේ ක්‍රමයට යන තාල – පිලිප් ශාන්ත

කුඩා දරුවන් උසුලන්නට නොහැකි පොත් බර දරමින් අපහසුවෙන් පාසැලට යන එන අන්දම සිත් කම්පා කරන සුළු ය. ඒ දරුවන්ට ජීවත් වෙන්නට අවශ්‍ය මග පෙන්වීම හැර අන් සියල්ල පාසැලේ දී වන පොත් කරවයි. දරුවන්ට තම ළමා කාලය සෙල්ලමින් ගත කරන්නට වෙලාවක් නැත. දරුවන්ට තම ළමා කාලය පරිසරය සමඟ මුහු කරන්නට කාලයක් නැත. දරුවන්ට තම ළමා කාලය නිර්මාණශිලීව ගෙවන්නට කාලයක් නැත. දරුවන්ට තම ළමා කාලය රසවිඳින්නට කාලයක් නැත. ඊට හේතුව ඉංජිනේරුවකු, දොස්තරෙකු කරවීමේ මහා අරගලයකට ඒ දරුවන් තල්ලු කර ඇති නිසා ය.

නගරයේ පරිසරය එසේ වුවද වන්නි හත් පත්තුවේ දරුවන් මුහුණ දෙන්නේ ඊටත් වඩා අසීරු ප්‍රශ්න රැසකටය. අධ්‍යාපනයේ වැදගත්කම දරුවන් තබා දෙමව්පියෝ ද නොදනිති. ගෙදර ආර්ථිකය ප්‍රධානම කරුණ නිසා කුඹුරු වැඩ කාලයට දරුවන් පාසැල් නොයවති. එහෙත් හරිහමන් අධ්‍යාපනයක් ලබාදෙන්නට ගුරුවරු නොමැත. ඉන්න ගුරුවරු ද ආදරය කරන්නේ තමන්ට පමණි. දරුවන් අයාලයේ වේලෙන අතර ගම පසුපසටම ගමන් කරයි.
“අසේල සර්” ඈත දුෂ්කර හැටගල්ල ප්‍රාථමික පාසැලට පැමිණෙන්නේ මෙවැනි සංදර්භයක ය. ඔහු සම්ප්‍රදායික ප්‍රවේශය මග හැර දරුවන් කරා යන්නේ නැවුම් ආකල්ප වලින් යුක්තව ය. තම ස්ථානමාරුව වෙනුවෙන් මහන්සි වන ගුරුවරුන් සිටින යුගයක අසේල සර් මහන්සි වන්නේ දරුවන්ට ජීවිතය කියාදීමට ය. රාජකාරි වෙලාවෙත් බිස්නස් එකක් කරගෙන කීයක් හෝ හොයා ගැනීමට මහන්සි වෙන ගුරුවන් ඉන්නා පරිසරයක අසේල සර් මහන්සි වන්නේ දරුවන්ට ජීවිතය සොයා ගැනීමට උදව් වීමට ය.

අසේල සර්ගේ ආකර්ශනීය තාරුණ්‍යය විසින් පන පොවන ගුරු චරිතය සම්ප්‍රදායික අර්ථයෙන් බැහැර භූමිකාවකි. ඔහු ගුරුවෘත්තියත්, ගුරු ජීවිතයත් අර්ථදක්වාගෙන ඇත්තේ නව මානයකිනි. සම්මත සමාජයේ රූපිත දෑ ඔහු බැහැර කරමින් තමන්ගේ එකම ඉලක්කය බවට පත් කර ගන්නේ දරුවන්ට ජීවිතය කියාදීම ය.

ඔහු උගන්වන්නට කැප වෙන්නේ පාසැලේ සම්මත කාල පරිච්ඡේදයන් අට තුළ පමණක් නොවේ. සමහරවිට රෑ බෝ වෙනකම්ම පාසැල් දරුවන්ගේ ජීවිතය සූදානම් කිරීමට අසේල සර් කැපවේ. එහිදී අසේල ඉගැන්වීමේ උපාය උපක්‍රම නිර්මාණශීලීව යොදා ගනී. ඔහුගේ තාරුණ්‍යය එම නිර්මාණශීලීත්වය තීව්‍ර කරයි. දරුවන් එදිනෙදා ජීවිතයේ දී ලොල් කරන විනෝදාංශ අසේල සර් විසින් ඉගැන්වීමේ ක්‍රම බවට හරවා ගැනීම ඔහුගේ දක්ෂතාවයි.

“තාල” චිත්‍රපටය සමාජයට වැදගත් වන නිමිත්ත පවතින්නේ වෙනස් අන්දමින් ලෝකය දකිමින් සමාජයට ආදරය කරන ගුරුවරයකු එහි සිටීම තුළ ය. ඒ සම්මාන දිනූ නළුවකු වන හේමාල් රණසිංහයි. අසේල සර්ගේ භූමිකාවට පණ පොවන හේමාල් රණසිංහ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකි. ඔහු හොඳම නළුවා, ජනප්‍රියම නළුවා ආදී වශයෙන් සම්මාන උළෙල කිහිපයක දී ම සම්මාන වලින් පිදුම් ලැබූවෙකි.

දරුවන්ට පරිසරය ආශ්‍රයෙන් ඉගැන්වීම නව ආරක ඉගැන්නුම් උපක්‍රමයකි. අද දියුණු ලෝකයේ අධ්‍යාපනය ලබාදීමට යොදා ගන්නේ එවැනි උපායන් ය. අසේල සර්ගේ චරිතය වටා ගොනුවී ඇති තාල චිත්‍රපටය ඉගැන්නුම් ක්‍රමවේදයේ වැදගත්කම ඉස්මතු කර පෙන්වන්නකි. එහි සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ තිර පිටපත් රචකයාට ය. තාල චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා හා නදී කම්මැල්ලවීර ය. පාලිත හා නදී සහයෝගයෙන් ඉටු කර ඇති ඒ කාර්යය පැසසිය යුත්තේ එහි නවමු අරුතකින් යුත් තිර පිටපතක් අඩංගු නිසා ය.

තරුණ හේමාල්ගේ රංගනයෙන් පිරිපුන් සිනමා පටය තුළ ජයලත් මනෝරත්න, කෞෂල්‍ය ප්‍රනාන්දු හා කලණි දොඩන්තැන්න රංගනයෙන් දායකවීම නිසා එය ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වේ. ඔවුන්ගේ සමස්ත දායකත්වය නිසා තාල ආකර්ශනීය සිනමා පටයක් බවට පත් වේ. සිනමා පටය පවතින්නේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව තුළ නොව තිර පිටපත් රචකයාගේ භූමිකාව තුළ යැයි තහවුරු වන්නට තාල හොඳ නිර්මාණයකි.

තාල ගැඹුරු කතා අර්ථයක් සහිත ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරන නිර්මාණයක් නොවේ. එහි ඇත්තේ ඈත දුෂ්කර දුප්පත් මිනිසුන්ගේ ගමක ජන ජීවිතයේ හරස්කඩකි. එහෙත් තිර පිටපත් රචකයාට හා අධ්‍යක්ෂවරයාට පවසන්නට අවශ්‍යව තිබෙන්නේ අලුත් ඉගැන්නුම් ක්‍රම වලින් දරුවන් වෙනස් කරන්නට හැකි බව පමණි. එහිදී සරළ ආකෘතියකින් ප්‍රේක්ෂකයා ඇද බැද තබාගෙන ඔහුව ආකර්ශනය කර ගැනීමට තිර පිටපත් රචකයා හා අධ්‍යක්ෂවරයා සමත්ව සිටිති. එය දකුණු ඉන්දීය විශිෂ්ඨ සිනමාවේදී මනිරත්නම් අනුගමනය කිරීමක් බව පැහැදිලි වේ.

මනිරත්නම්ගේ සිනමා පටවල විශේෂත්වය වන්නේ සරල තේරුම් ගැනීමේ හැකියාවකින් සිනමා පටය රසවිඳිය හැකිවීම ය. එහෙත් ඇත්තේ සරල කතාවකි. එහෙත් ඊට සමාන්තරව ඉතා ගැඹුරු සමාජ දේශපාලන පසුබිමක් දිග හැරේ. ඒ විශේෂත්වය නිසා පොදු ජනයා සිනමා පටය සම්බන්ධයෙන් උනන්දු වේ. ඒ සිනමා රීතිය තාල සිනමා පටය තුළ ද දකින්නට ලැබේ.

ග්‍රාමීය දුප්පත්කම මැද අධ්‍යාපනයෙන් කෙනහිලිකම් විඳින බහුතර අසරණ ජනයාට අධ්‍යාපනයේ වරම් ලබාදෙන්නට නව නිර්මාණශීලී මානයන් ඔස්සේ අත්හදා බැලීම සාර්ථක යැයි තාල ඔප්පු කර පෙන්වයි. ඊට අධ්‍යක්ෂ පාලිත පෙරේරා හා තිර පිටපත් රචක නදී කම්මැල්ලවීර දරා ඇති මහන්සිය අගය කළ යුතුය.

-කේ.ජී.පිලිප් ශාන්ත –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *