#ලලිත්ගේ “රිවර්ස්ටන්” වාර්තා තබයි…

1995 වර්ෂයේ සිට ෆිඇප්ෆ් අනුමැතිය හිමි (FIAPF ACCREDITED) ලොව “ඒ” ශ්‍රේණියේ තරගකාරි සිනමා උළෙලක් ලෙසින් වර්ගීකරණයට නතුවන චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ 27 වෙනි අදියරේ සම්මාන ප්‍රදානෝත්සත්වය පසුගිය 21 වෙනි දින රාත්‍රියේදී ලොව සුපතල ෂැංහයි ග්‍රෑන්ඩ් තියටර්හිදී පැවැත්වුණි. මෙහිදී උළෙලේ ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා නිර්මාණ උදෙසා වූ වෙන්වූ තරගකාරි අංශය (“ඒෂින් නිව් ටැලන්ට් තරගය”/ ASIAN NEW TALENT
OMPETITION) නියෝජනය කළ ලලිත් රත්නායකගේ “රිවර්ස්ටන්” (RIVERSTONE) චිත්‍රපටය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත්විය. විශිෂ්ටතම තිර රචනය වෙනුවෙන් ලලිත් රත්නායක සහ නිලන්ත පෙරේරා සම්මානනීය වූ අතර , විශිෂ්ටතම කැමරාකරණය වෙනුවෙන් හිමි සම්මානය ප්‍රභාත් රෝෂනට හිමිවිය.
ශ්‍රී ලංකාව පළමු වරට ෆිඇප්ෆ් අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලකදී සම්මානනීය වූයේ 1975 වසරේ රුසියාවේ පැවැති 09 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදීය. ඒ ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ රංගනය උදෙසා මාලනී ෆොන්සේකා ලද විශේෂ ඇගයීමත් සමගය. එකී සම්මානයත් ඇතුළුව 1975 සිට 2023 වසර දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපට 6 ක් (එයා දැන් ලොකු ළමයෙක්/ සිරිපාල හා රන් මැණිකා/ මල්දෙණියේ සිමියොං/ සංකාරා/ ඔබ නැතුව ඔබ එක්ක/ විහඟ ප්‍රේමය) උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරමින්ද, චිත්‍රපට 02 ක් ( සුළඟ එනු පිණිස/ නෙලුම් කුලුන) කුළුදුල් නිර්මාණ උදෙසා වූ තරග අංශයක් හෝ තරගකාරි සම්මානයක් නියෝජනය කරමින්ද, එක් චිත්‍රපටයක් (තනි තටුවෙන් පියාඹන්න) විශේෂිත තේමාවක් උදෙසා වූ තරගකාරී සම්මාන අංශයක් නියෝජනය කරමින්ද, චිත්‍රපට 03 ක් (මේ මගේ සඳයි/ තනි තටුවෙන් පියාඹන්න/ ඉනි අවන්) යම් නිශ්චිත භූගෝලීය කලාපයකට අයත් රටවල සිනමා නිර්මාණ උදෙසා වූ තරග අංශයක් නියෝජනය කරමින්ද, ෆිඇප්ෆ් අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ උළෙලවලදී ජයග්‍රහණය කොට ඇති සම්මාන සංඛ්‍යාව 12 කි. ඒ අනුව ෂැංහයිහිදී ‘රිවර්ස්ටන්’ ලද සම්මාන ද්විත්වය “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලක කුමන හෝ තරගකාරී අංශයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ලද 13 වෙනි සහ 14 වෙනි සම්මාන වේ. එසේම මෙකී සම්මාන ජයග්‍රහණය, ලොව “ඒ” ශ්‍රේණියේ උළෙලකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මාන ද්විත්වයකින් පුදලද පළමු අවස්ථාව වේ. එයට අමතරව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලකදී කුමන හෝ තරගකාරී අංශයක් තුළදී “තිර රචනය” සහ “කැමරාකරණය” යන සිනමා අංශ උදෙසා ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් සම්මානනීය වූ පළමු අවස්ථාවද මෙය වේ.
ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ ආරම්භය 1993 වර්ෂයේදී සටහන් වේ. එකී සමාරම්භක වර්ෂයේදීම උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබීම විශේෂත්වයකි. ඒ අමරනාත් ජයතිලකගේ “යුවතිපති” චිත්‍රපටය තුළිනි. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපට 10 කට ෂැංහයි උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇත. එහෙත් ඒ අතුරින් උළෙලේ කුමන හෝ තරගකාරී අංශයක් නියෝජනය කරමින් සම්මාන උදෙසා තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවූයේ අවස්ථා 03 කදී පමණි. ඒ අනුව මේ වසරේ උළෙල නියෝජනය කළ ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයට පෙර, ප්‍රසන්න විතානගේ ‘අනන්ත රාත්‍රිය’ 1997 වර්ෂයේදී උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයත්, ලලිත් රත්නායකගේ “විෂම භාග” 2019 වර්ෂයේදී ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන් උදෙසා වූ තරගකාරී අංශයත් නියෝජනය කිරීමට සමත් විය. එහෙත් ෂැංහයි උළෙලේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මානනීය වූ පළමු අවස්ථාව “රිවර්ස්ටන්” හරහා සනිටුහන් වේ. එසේම සිය කුළුදුල් නිර්මාණය (විෂම භාග) හරහා ෂැංහයි උළෙලේ ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන්ගේ තරග අංශය නියෝජනය කළ ලලිත් රත්නායක, සිය දෙවෙනි නිර්මාණය (රිවර්ස්ටන්) හරහාද එකී අංශයම නියෝජනය කරමින් සම්මානනීය වීම කැපී පෙනේ.

නිමන්ති පෝරගේ හා ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවර්ස්ටන්හී ප්‍රධාන චරිතවලට ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා හා ප්‍රියන්ත සිරිකුමාර පනපොවති. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, චාලක යසස්
පෙරේරාගේ සංගීතයෙන්, සමන්ත වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන්, සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන් හැඩවෙන රිවර්ස්ටන්හී වේෂ නිරූපනය ප්‍රියන්‍ත දිසානායකගෙනි.
යූල්කේ ෆිල්ම්ස් වෙනුවෙන් “රිවර්ස්ටන්” ෂැංහයි උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය උදිත කහඳවආරච්චිගෙනි.
සටහන උදිත ලක්මාල් කහඳවආරච්චි
Designed By Kalaavata කලාවට





