රමිත විමුක්ති විසින් අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.) සමුහට ලියු සටහන.
මිනිස් සත්වයා යනු අතිශයින්ම සංකීර්ණ සත්ව කොටසක්. එය කෙතරම් සංකීර්ණද කිවහොත්, තමන්ට තමාවද තේරුම් ගැනීමට අපහසු සත්ව කොටසක් ලෙස අපට මිනිසාව හඳුන් වන්නට පුළුවන්. අපි පිරිමින්ට ආදර්ශමත් චරිතයක් ලෙස සිද්ධාර්ථගේ චරිතය හඳුන් වනවා. කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් ලෙස යශෝදරාව හඳුන් වනවා. මෙම ප්‍රතිරූපයන් ද්විත්වය උපයෝගී කර ගෙන අපට මවා පාන්නේ පට්ට පිවිතුරු සුදු චරිත ලෙස. අප තර්කානුකූලව මෙය සැබෑ ලෝකයත් සමග සසඳද්දී, මෙම මතය විහිළුවක් බවට පත් වනවා. ඊට හේතුව අප බහුතරයක් සුදු චරිතයන්ට වඩා, දෝෂ සහිත කළු සුදු මිශ්‍ර වූ චරිත නිසා. Kaanekkaane හරහා අධ්‍යක්ෂක මනූ අශෝකන් සහ තිර රචකයින් වන බොබී සංජේ ඔබට ඉදිරිපත් කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ දෝෂ සහිත චරිත ත්‍රිත්වයක්.
චිත්‍රපටය ආරම්භයේදී පෝල් නම් පුද්ගලයෙක් එක්තරා නිවසකට පැමිණෙනවා. එම නිවසේ දොර විවර කර ‘පපා’ ලෙස ඔහුව පිළිගන්නේ ස්නේහා නම් ගැබිණි කාන්තාවක්. ස්නේහා විවාහ වී ඇත්තේ ඇලන් සමගයි. ඇය පෝල්ව නිවසට පිළිගනු ලැබුවත්, ඔවුන් දෙදෙනා අතර යම්කිසි දුරස්ථ බවක් සහ ආධුනික ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඊට සුළු මොහොතකින් අපට දැන ගන්නට ලැබෙනවා, පෝල් සහ ඔවුන් අතර තිබෙන සම්බන්දය කුමක්ද යනුවෙන්. පෝල් යනු සැබවින්ම ඇලන්ගේ පෙර විවාහක බිරිඳගේ පියාය. ඇලන්ගේ පෙර විවාහක බිරිඳ වන ෂෙරීන්ගේ හදිසි වියෝවෙන් පසුව ඔහු ස්නේහා සමග විවාහ වී ඇත. තම දියණියගේ හදිසි මරණය සම්බන්දව ඔහු වසර දෙකක් පුරාවට සොයා යනවා. එහි නීතීමය කටයුත්තක් වෙනුවෙන් සහ ඔහුගේ මුනුපුරා වන කුට්ටුව දැක ගැනීමට ඔහු නගරයට පැමිණ ඇත.
ෂෙරීන් ඇලන් සමග විවාහ වී සිටි කාලයට වඩා, පෝල් සහ ඇලන් අතර දැඩි දුරස්ථ බවක් ඇතිවී තිබෙනවා. දියණියගේ වියෝවෙන් වසර දෙකක් ගත වූවත්, පෝල් තම දියණියගේ මතකයන් සමග විඳවනවා. කලකට ඉහතදී තම දියණිය සමග ගත් ඡායා රූප වලින් පිරුණු ඇලන්ගේ නිවස, වර්තමානයේ ස්නේහා සමග ගත් ඡායා රූප වලින් පිරී ඇත. මෙවැනි පියෙකුට අත්විඳිය හැකි දරුණුම වේදනාවක් එය. පෝල් ඇලන්ගේ නිවසට පැමිණීම තුල, තම දියණියගේ මරණය සම්බන්ද ප්‍රධාන පසුබිම් කතාවක් මතුපිටට පැමිණෙනවා. මේ සියල්ලක්ම හෙළිදරව් වීමට මග පෑදෙන්නේ, එම නිවසේ තිබෙන ඡායා රූපයක්. එම ඡායා රූපය ඇලන් සහ ස්නේහා ගෙන ඇත්තේ, ෂෙරීන් ජීවමානව සිටියදී යන කාරණය ඔහුගේ මතක ආවර්ජනයක් සනාථ කරනවා. ඒ අනුව ස්නේහා ඇලන් සහ ෂෙරීන් අතර සිටි තුන්වන පාර්ශවයක් බව නිගමනය වනවා. මේ සමගම ඇලන් සහ ස්නේහාගේ පැතිකඩවල්ද අපට පෙන්නුම් කරනවා. ඇලන් තුලින්ද එය සම්බන්දව විශාල අතපසු වීමක් සිදුවී ඇති වගද අපට පෙන්නුම් කරනවා. තම දියණියගේ මරණය එසේම එසේ මරණයක් නොවන වග පෝල් වටහා ගැනීමෙන් අනතුරුව, ඔහු නීතියේ පිහිට පැතීමට තීරණය කරයි. පෝල් මෙය වෙනුවෙන් විවිද අන්තයන්ට ගමන් කරයි. මින් ඉදිරිය ඔබට දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.
ආරම්භයේදී සඳහන් කළ දෝෂ සහිත කළු සුදු මිශ්‍ර චරිතයන් යන කාරණයේදී, මෙහි අපට හමුවන පෝල්, ඇලන් සහ ස්නේහාද එම ගණයට අයත් චරිතයන්. මිනිසුන් වශයෙන් අපට අපවම තේරුම් ගැනීමට අපහසුය. එය හමුවේ අපට විවිදාකාර වැරදි දෝෂ සහිත තීන්දු තීරණ ගැනීමට මග පාදා දෙනවා. ඇලන්ද එවැනි වරදක්/අතපසු වීමක් සිදු කළ පුද්ගලයෙක්. ඔහු වසර දෙකකට කළ වරද නැවත නිවැරදි කිරීමට කිසි සේත්ම අවස්ථාවක් නැත. ඔහු එම අතපසු වීමෙන් ඉදිරියට පැමිණියත්, තම හෘද සාක්ෂියට අනුව ඔහු දැඩි වරදකාරී හැඟීමකින් ජීවත් වනවා. එය හමුවේ ඔහු තුල දැඩි පසුතැවීමක්ද තිබෙන බව දක්නට ලැබෙනවා. ස්නේහා තුන්වන පාර්ශවයක් වශයෙන් ඇලන් සහ ෂෙරීන් අතරට පැමිණි කාන්තාවක්. ෂෙරීන්ගේ අනපේක්ෂිත මරණය සහ පෝල්ගේ පැමිණීම හමුවේ, ඇයද එක්තරා ආකාරයක වරදකාරී සහ ව්‍යාකූල හැඟීම් පෙලක් සමග දෝලනය වෙමින් සිටිනවා. පෝල් දෝෂ සහිත චරිතයක් ලෙස අපට පෙනෙන්නේ ඔහු යුක්තිය වෙනුවෙන් ගමන් කරන ඇතැම් අන්තයන් තුලදී පමණයි. නමුත් නරඹන්නා තුල දැඩි සංවේදයක් ඇති කරන්නේ පෝල්ගේ චරිතයයි. තම දියණිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ගිය සෑම අන්තයකම, ඔහුගේ පිය සෙනෙහස මනාව පෙන්නුම් කළා. පිය සෙනෙහස නැතිනම් දෙමාපියෙකුගේ සෙනෙහස සීමා වන්නේ තමාගේ ලෙයින් උපන් එකාටම නොවන වගත් පෝල්ගේ චරිතය පෙන්නුම් කළා. ඕනෑම පියෙක් සහ මවක් තම දියණිය විවාහ කර දෙන්නේ, ඇයව එම සහකරුවා ආදරයෙන් රැක බලාවී යන විශ්වාසය මත. පෝල්ද එම විශ්වාසය මත තම දියණියව ඇලන්ට විවාහ කර දෙනවා. නමුත් ඇලන් වෙනත් කාන්තාවක් සමග සම්බන්දවී එම විශ්වාසය මුළුමනින්ම බිඳ දැමූ වග දැන ගත් විට, මෙම පියාගේ නිහඬ හඬා වැටීම වචනයෙන් විස්තර කළ නොහැකිය. ඒ සැබෑ පිය/දෙමාපිය සෙනෙහසයි.
බොබී සහ සංජේගේ තිර රචනයේ ප්‍රභල සාධකයක් වන්නේ, මෙම කිසිදු චරිතයක්වත් විනිෂ්‍ය කරන්නේ නැත. එම විනිෂ්‍යන් නරඹන්නාට තීරණය කිරීමට මෙම තිර රචනය හරහා අවකාශයක් ලබාදී තිබෙනවා. Non linear narrative ශෛලයක් යොදා ගැනීමද මෙහි තවත් සුවිශේෂී අංගයක්. අතීතයේ සහ වර්තමානයේ අතර සිදුවන සිදුවීම් කිහිපයක් මත පදනම් කිරීම, කතාවේ හොඳ වර්ධනයක් ඇති කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නා. මෙහි රංගනයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. Suraj Venjaramoodu එම පියාගේ චරිතය ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. එම චරිතය නිහඬව අතිවිඳින වේදනාව සහ සීමා මායිම් නොමැති පිය සෙනෙහස නරඹන්නාගේ හදවතට දැනෙන ආකාරයට රඟ දැක්වීමට ඔහු සමත් වුනා. Tovino Thomas සහ Aishwarya Lekshmi ද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. මෙම චිත්‍රපටයේ ස්වරය පිලිබඳ සලකා බැලුවොත්, කතාව පුරාවටම දක්නට ලැබුණේ අඳුරු ගුප්තසහගත ස්වරයක්. විශේෂයෙන්ම මෙහි තේමාවත් සමග සංසන්දනය කරද්දී. එය ප්‍රභලව ඉස්මතු කිරීමට Alby Antony ගේ සිනමාකරණය සහ Ranjin Raj ගේ සංගීත අධ්‍යක්ෂණයද උපයෝගී කර තිබුනා.
සංකීර්ණ මානුෂීය හැඟීම් ඉතා යථාර්තවාදී ලෙස පෙන්නුම් කළ නිර්මාණයක් Kaanekkaane. එම නිසා ඔබටද මෙය නැරඹීමට යෝජනා කරනවා.
රමිත විමුක්ති.