හාස්‍යයෙන් ඔබ්බට ගිය චැප්ලින් ගේ Tramp

අග්‍රගණ්‍ය සිනමාකරු චාලි චැප්ලින් විසින් නිර්මාණය කරන ලද The Tramp කියන්නේ ඔහුගේ සිනමා දිවියේ අමරණීයම චරිත විස්තරයයි. ඒ වගේම ලෝක සිනමාවේ නිහඬ චිත්‍රපට යුගයේ බිහිවූ වඩාත්ම සුවිශේෂී චරිතයක් විදිහටත් The Tramp නම් පුංචි හාදයාව හඳුන්වන්නට පුළුවන්. කොහොමත් චාලි චැප්ලින් යන නම ඇසුණ සැනින්ම ඕනෑම කෙනෙකුගේ මනසේ මැවෙන චිත්‍රයත් The Tramp ම තමයි. මුදුනත රවුම් හිස්වැස්ම, කෙටි බුරුසු උඩු රැවුල, ඇඟට හිර කබාය, ලිහිල්ව එල්ලා වැටෙන කලිසම, අබලන් සපත්තු ‍යුගලය සහ බස්තම තමයි චාලි චැප්ලින් කිව්වම අපිට මතක් වෙන රූපය. ඔහුටම අනන්‍ය වූ ඇවිදින, දුවන, පනින, වැටෙන, පෙරළෙන සහ නොයෙකුත් භාව ප්‍රකාශනයන් සමඟින් චැප්ලින් නාමයත් එක්ක බැඳෙන අපූර්වතම හාස්‍යයක් තමයි එහිදී අපිට සමීප වෙන්නේ.

Limelight (1952), Monsieur Verdoux (1947) සහ A King in New York (1957) යන චිත්‍රපට වලින් චැප්ලින් ගේ රංගනයේ තවත් සුවිශේෂී වෙනස්ම පැතිකඩයන් දකින්නට ලැබුණත් චැප්ලින් යන නම වඩාත්ම මතකයේ රැඳෙන්නේ The Tramp විදිහටම තමයි. චාලි චැප්ලින් ගේ විශිෂ්ටතම චිත්‍රපටයක් වන The Great Dictator (1940) තුළ The Tramp ව දකින්නට නොලැබුණත් එහිදී හමුවන දිවිත්ව චරිතයන් අතුරින් එකක් වන යුදෙව් කරණවෑමියාගෙ චරිතය තුළත් Tramp ගති ලක්ෂණ අඩංගුයි. කෙටි චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් අතුරින් The Tramp ව දකින්නට ලැබෙන, අනිවාර්යයෙන්ම නැරඹිය යුතු feature films විදිහට මගේ පෞද්ගලික කැමැත්ත අනුව පිළිවෙලින්, Modern Times (1936), Citylights (1931), The Gold Rush (1925), The Kid (1921) සහ The Circus (1928) යන චිත්‍රපට 5 පෙළගස්වන්නට කැමතියි.

මුලිනුත් කිව්ව වගේ The Tramp එක්ක බැඳෙන්නේ හාස්‍යයයි. නමුත් හාස්‍යයට එහා යන මානුශීය ගුණාංගයන් රැසක්ම Tramp චරිතය සතුයි. ඉහතින් සඳහන් කළ චිත්‍රපට 5 ආශ්‍රයෙන් සළකා බැලුවොත් මේ චරිතය තුළින් මූලිකවම නිරූපණය කරන්නේ දරිද්‍රතාවයයි. ඒ වගේම තනිකමත් ඊටම ආවේණික ලක්ෂණයක් විදිහට හඳුනාගත හැකියි. ප්‍රේමය කියන දේත් මේ අතරට එක්වන අනිත් සාධකයයි. Tramp කියන්නෙ කොහොමටවත්ම කාන්තාවකගේ සිත් ඇඳගන්නා ආකාරයේ සිහින කුමාරයෙක් නම් නෙමෙයි. කොහොමත් සුරූපී කතකට ආලය කරන එක බොහෝ විට Tramp ට නම් ඒක පාර්ශවීය ප්‍රේමයකට එහා යන එකකුත් නොවෙයි. The Gold Rush තුළදී අපට හමුවෙන්නෙ එහෙම අයෙක්වයි. ඒ වගේම The Circus තුළින් ප්‍රේමය පරිත්‍යාග කරන්නෙක්ව හමුවෙයි.

නමුත් Modern Times තුළින් තම දිළිඳු ජීවන තත්ත්වය අවබෝධ කරගෙන තමන් කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රේමවන්තියකගේ සුවබර අනාගතයක් වෙනුවෙන් සිහින මවනා උත්සාහවන්තයෙක් හමුවෙයි. එමෙන්ම Citylights තුළින් ඇස් නොපෙනෙන මල් වෙළෙන්දියක් වෙනුවෙන් නිරායාසයෙන්ම උපන් හෘදයාංගම ප්‍රේමයකින් බරිත හදකින් යුතුව ඇගේ සුවය උදෙසා කැපවෙන්නෙක් හමුවෙයි. The Kid තුළින් මහමඟ අතැර දමා ගිය අනාථ දරුවෙකු නිසාවෙන් හටගන්නා මානුශීය ප්‍රේමයකින් සමන්විත සෙනෙහෙබර පියෙකු හමුවෙයි. මේ කරුණු කාරණා සළකා බැලීමේදි, චාලි චැප්ලින් රංගනයන් බොහෝ රසික පිරිසකගේ හදවතට කාවදින්නට හේතු වූයේ හාස්‍යයම නිසා පමණක් නොවන බව නම් පැහැදිලියි. ඒ වගේම ඔහු අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙක් පමණක් නොව, තිරරචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් යන කාරණාත් අමතක නොකළ යුතුයි. චාලි චැප්ලින් චිත්‍රපට අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තේත් අන්න ඒ නිසයි.

-ලක්ෂ්මන් අරංවල සිනමාවේදීන් – The Cinema People

Leave a Reply

Your email address will not be published. Required fields are marked *