කමල් හසන්ටත් වඩා වැඩ්ඩෙක් ධර්මයුද්ධයේ හරිස්චන්ද්‍ර

– කමල් හසන් රඟපෑ පාපනාසම්හි අධ්‍යක්ෂක

මීට වසර විසි අටකට පමණ ඈත අතීතයේදී සුනන්ද සංගීත මාස්ටර් ලෙස ‘ගුරු ගෙදරින්’ සිනමාවට පිවිසි ඔහු අද වනවිට සංගීතය පමණක් නොවේ බොහෝ අංශවලින් ඇසූ පිරූ තැන් ඇති ජීවමාන විශ්වකෝෂයක්. එදා රාගම පොඩි වී කුඹුරේ කොල්ලො හයේ ගෙදර මැල්සි ලෙස ගම්මුන් අතර ප්‍රකට වූ ඔහු අද කවුරුත් හඳුනන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී.

දහසය වතාවක්ම හොඳම නළුවාට හිමි සම්මානයන්ට හිමිකම් කියූ ඔහු දිනක් මා ඔහු මුණගැසුණු මොහොතක මා සමඟ පැවසුවේ මෙවැනි දෙයක් “මම චරිතයක් තෝරගන්නකොට හරියට පස්මහබැලුම් බලන කෙනෙක්. හැබැයි ඒ පස්මහ බැලුම් බලලා තෝරගත්ත ගොඩක් චරිතවලට මම හොඳම නළුවා වෙලා තියෙනවා.”

ඔහු දේශීය සිනමාව වෙනුවෙන් උපරිමයටත් වඩා යමක් දුන් නිසාම මීට වසර දෙකකට පමණ ඉහතදී කේරළයටත් පය තැබුවේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මෙන්ම ‘ජැක්සන්’ කියන නාමය ‘ලක්නව්’ මලයාලම් සිනමාපටයෙන් මුළු ඉන්දියාවටම ගෙනයමින්. එහි ඔහුගේ ප්‍රියම්භිකාව ලෙස රංගනයෙන් දායක වෙන්නට වරම් ලැබුණේ නිරෑපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලිට. ඒ නැවුම් ආරම්භය පිළිබඳව අපි ඔහුගෙන් විමසුවා.

“මට ‘ලක්නව්’ චිත්‍රපටයට ආරාධනා ලැබුණේ අනිල් කුමාර් කියන එහි අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරිය වුණ බීනා උන්ණික්‍රිෂ්ණන් හරහා. ධර්මයුද්ධය චිත්‍රපටයට මූලික වුණ ඩ්‍රිෂ්‍යම් කියන මලයාලම් චිත්‍රපටයේ දෙමළ අනුවාදය වූ පාපනාසම් චිත්‍රපටයේ නිෂ්පදකවරයා වුණ සුරේෂ් භාලාජි කියන්නේ කැපිටල් මහරාජා සමාගමේ මිත්‍රයෙක්. කැපිටල් මහරාජා එකෙන් තමයි ධර්මයුද්ධය නිෂ්පාදනය කළේ. ඔහු ධර්මයුද්ධය චිත්‍රපටය නරඹලා තිබුණා ලංකාවෙදි. මේ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ හිටියේ මොහාන්ලාල් කියන ප්‍රවීණ නළුවා.
සුරේෂ් භාලාජි කියලා තිබුණා මොහාන්ලාල්ට පස්සේ රඟපෑ හොඳම කෙනා මමයි කියලා. දෙමළ අනුවාදයේ හිටි කමල් හසන් කියන්නෙත් අති දක්ෂ ප්‍රවීණයෙක්. ඉතින් සුරේෂ් නිෂ්පාදනය කළ පාපනාසම්හි සිටි කමල් හසන්ටත් වැඩිය ලංකාවේ ජැක්සන් ඇන්තනී හොඳට රඟපෑවා කියන කතාව ඉන්දියාවේ අධ්‍යක්ෂකවරුන් අතරේ කතාවක් ඇති කළා. ඒ ආරංචිය ඔස්සේ තමයි බීනා උන්ණික්‍රිෂ්ණන් මට ආරාධනා කළේ මේ ලක්නව් චිත්‍රපටයට. ඇය පසුව මගේ චිත්‍රපට කිහිපයක් නරඹලා තිබුණා. ඒ අතරින් ප්‍රවේගයට බෙහෙවින් කැමති වුණා.”

මේ මලයාලම් චිත්‍රපටය රෝමාන්තික ශානරයේ චිත්‍රපටයකුත් නෙවෙයි..

“විවිධ රටවල්වල මිනිස්සු එකට එකතු වෙලා ඉන්න මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් තුළ සිදුවන අයථා සම්බන්ධයක් පිළිබඳ සිදුවීමක් තමයි චිත්‍රපටයෙන් පෙන්නන්නේ.”

මේ චිත්‍රපටයේ ජැක්සන් ගැන කතා කරද්දි ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පෙවූ පියුමි හංසමාලි ගැනත් කතා නොකරම බෑ. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ කටගැස්මක් වන ඇයගෙන් ලැබුණු ඔහුට ලැබුණු සහය ගැන කිව්වෙ මෙහෙම දෙයක්..

“පියුමිව ඒ අධ්‍යක්ෂකවරු හඳුන්වලා දීලා තිබුණේ ලංකාවේ නිරූපිකාවන් අතරේ අන්තර්ජාලයේ ප්‍රකටම නිරෑපිකාව විදිහට. පියුමි ඉතා හොඳින් මගේ බිරිඳගේ චරිතය රඟපෑවා. නිරූපිකාවක් ලෙස ඇය ලංකාවේ ප්‍රසිද්ධ වුණාට ඇයට හොඳ රංගන හැකියාවක් තියෙනවා. අනිල් කුමාර් අධ්‍යක්ෂකවරයා බොහොම සියුම්ව ඇයව මෙහෙයෙව්වා. එය වෙනත් සබඳතාවක් ඇති කරගත් කාන්තාවක් ගැන දිවෙන කතාවක්. පියුමිට තිබුණේ දෙබස් අඩුවෙන් වුණත් ඇයගේ භාවන රෑපන ඉතා මැනවින් භාවිත කළා. ඇය හරි සරලවනේ දේවල් හිතන්නේ. එහෙම නොවී හොඳ කැපවීමක් සහිතව රංගන ගැන ඉගෙනගෙන හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රඟපෑවොත් ඇයට ඒ කුසලතාවය හොඳින් පිහිටලා තියෙනවා.”

ජැක්සන් ඇන්තනී කියන්නේ ‘ලක්නව්’ චිත්‍රපටයට සම්බන්ධ වුණත් ඉන්පසු ලැබුණු විදේශීය චිත්‍රපට ආරාධනා ප්‍රතික්ෂේප කළ කෙනෙක්…

“ඇත්තටම ලක්නව් චිත්‍රපටය රූගත කරපු කාලය තුළ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්ගෙන්ම මට ආරාධනා ලැබුණා. එයාලා හරි සතුටු වුණා මගේ රංගනය ගැන. නමුත් මේ වර්තමානයේ සිද්ධවුණ විලන්තෑසිත් එක්ක ඒවත් එහෙම්ම යට ගියා. තවත් අධ්‍යක්ෂකවරයෙක් මට ආරාධනා කරා ඔහුගේ චිත්‍රපටයකට. නමුත් එහි පිටපතට සහ මට තිබුණු චරිතයට මම කැමති වුණේ නෑ.”

ලංකාවේ ප්‍රවීණයෙක් රංගනයෙන් දායක වෙන මේ මලයාලම් සලරුව තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා. එයාලා කැමති වෙයි තවමත් ඇයි මේ චිත්‍රපටය තිරගතවීම ප්‍රමාද කියලා දැනගන්න…

“ඒ චිත්‍රපටයේ තවම රූගතකිරීම් අවසන් නෑ. ලක්නව් නුවරට හිම පතනය වන සිදුවීමකින් තමයි චිත්‍රපටය පටන්ගන්නෙත් අවසන් කරන්න තියෙන්නෙත්. නිවාස සංකීර්ණය තුළ සිදුවන සිදුවීම් සියල්ල එක්ක 95%ක්ම රූගත කිරීම් අවසන්. නමුත් එළිමහන් දර්ශනය ගන්න තවමත් ලක්නව් නුවරට බලාපොරොත්තු වූ තරම් හිම පතනයක් සිදුවී නැහැ. දෙවතාවක්ම අවසන් රූපගතකිරීම් යොදාගෙන ගුවන් ටිකට්පත් පවා සූදානම් කර නැවතත් නතර කළා. ඊටපස්සෙ මේ වසංගත තත්ත්වය ආවා. නමුත් අධ්‍යක්ෂකවරයා නිතර මාත් එක්ක කතාබහ කරනවා. කොයි මොහොතේ හෝ නැවතත් අපිව කැඳවන්න බලාපොරොත්තුවෙනුයි ඔහු ඉන්නේ.”

මොහාන්ලාල් රංගනයෙන් දායක වුණු ඩ්‍රිෂම් චිත්‍රපටයේ දෙවන කොටස පසුගිය සෙනසුරාදා තිරගතවීම් ආරම්භ වුණා. ලංකාවෙත් දෙවනි වරටත් ධර්ම යුද්ධයක් ඇති නොවේවිද යන්නත් රසිකයන් දැනගැනීමට කැමති වෙයි…

“මලයාලම් ඩ්‍රිෂ්‍යම් විතරක් නෙවෙයි දැන් කන්නඩා භාෂාවෙනුත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙනවා. හින්දි සහ දෙමළ චිත්‍රපට ද්විත්වයේත් දෙවන කොටස් සූදානම් කියලා ආරංචියක් තියෙනවා. සමහරවිට ලංකාවෙත් දෙවැනි ධර්ම යුද්ධයක් නිර්මාණය වේවි. දැනටනම් එහෙම ආරංචියක් නෑ. බොහෝවිට නිර්මානය වේවි.”

ඩ්‍රිෂ්‍යම් වගේම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Don’t Breath’ චිත්‍රපටයේ සිංහල අනුවාදයේ ප්‍රධාන චරිතයෙනුත් ජැක්සන් ඇන්තනීව නුදුරේදීම ඔබට දැකගන්නට හැකිවේවි….

“ඔව්. එම චිත්‍රපටයේ සිංහල අනුවාදය ‘සීරුවෙන්’. සුදේශ් වසන්ත මහත්මයාගේ නිර්මාණයක්. එහි රෑගතකිරීම් සියල්ල කර අවසන්. ඉදිරියේදී එය තිරගත වේවි.”

ඇන්තනී පවුලේ ‍සියලුම දෙනා මේ වෙනකොට පුංචි තිරයේ නිරන්තරයෙන් දැකගන්න ලැබෙනවා. හැබැයි පවුලේ මූලිකයා වන ජැක්සන් ඇන්තනී ඇරෙන්න…

“දැනටනම් කිසිම ටෙලිනාට්‍යයක මම නැහැ. නමුත් ටෙලිනාට්‍ය දෙක තුනක් ගැන කතාබහක් මේ දවස්වල කෙරීගෙන යනවා. මගේ පැත්තෙන් හරි තීරණයක් නැතිවයි තවම මම ඒ ගැන කල්පනා කරමින් ඉන්නේ. මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ මගේ පනාපුත්‍රගේ මතක වස්තුව පොතේ කොටස් දෙක වෙනුවෙන්.”

  • එරංදි කෞශල්‍යා (අරුණ – පිනිපලස)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *