ආගම, ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. ආගමික ස්ථානය යම් රටක පාලකයින් පත් කරගන්නා ප්‍රධාන මර්මස්ථානය වී තිබේ. මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා තුළ වෛරය වපුරමින් ආගමික පූජකවරුන් සිය දේශපාලන සබඳතා වර්ධනය කරමින්, රටෙහි බලය හිමි ආණ්ඩුවට බලපෑම් කරනු ලැබුවේ අද ඊයේ සිට නොවේ. මෙවැනි අතපෙවීම් ඈත අතීතයේ සිට අපට දැකගත හැකි විය. මෙලෙස පූජකරුවන් ධර්මය යැයි පවසා අධර්මය රජ කරවන සමයක ධර්ම සාකච්ඡාවක අවශ්‍යතා පැහැදිලිව මතුවෙමින් තිබෙන අවස්ථාවක එවැනි සාකච්ඡාවක් සඳහා මුල පිරු චිත්‍රපටියක් ලෙස මූකුත්ති අම්මන් (Mookuthi Amman) හඳුන්වා දිය හැකිය.
මාධ්‍යවේදීයෙකු සතු වූ සමාජ වගකීම අසීමිතය. ඒ වෙනුවෙන් ඔහු විසින් සිදු කරනු ලබන කැපවීම හුදු වචනවලට සීමා කළ නොහැකිය. වර්තමානයේ පවතින ධනවාදී ආර්ථික ක්‍රමයත් සමඟ ජනමාධ්‍ය ව්‍යාපාරික ස්ථාන බවට පත්ව ඇත. එම නිසාම ජනමාධ්‍ය සිය සමාජ වගකීම පසෙකලා සිය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටිති. එවැනි පසුබිමක ඒංගල්ස් රාමසාමි නමැති මාධ්‍යවේදීයා තමන් ජීවත් වන ගම්මානය අවට සිදු වන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් කෙතරම් හෙළිදරව් කළ ද ඉන් පළක් නොවීය. නමුත් ඔහු සිය උත්සහය කිසිදු අවස්ථාවක අතනොහැර කටයුතු කිරීමත් විශේෂත්වයකි. එමෙන්ම ඔහු සේවය කරනු ලබන්නේ සාමාන්‍ය රූපවාහිනි නාළිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙසය. මෙවැනි රූපවාහිනි නාලිකාවන් හරහා කෙතරම් හොඳ වැඩසටහන් සහ අපක්ෂපාති ප්රවෘත්ති ඉදිරිපත් කළ ද ජනතාව හුරුවී සිටින්නේ සුප්‍රසිද්ධ නාලිකාවල විකාශය කරන විනෝදාස්වාදය ලබා දෙන වැඩසටහන් නැරඹීමටය. එවැනි වැඩසටහන් නරඹමින් ඒවාට දොස් පවසන තවත් පිරිසකුත් සමාජය තුළ සැරිසරන බවත් මතක් කළ යුතුය. ඔවුන් ද රැල්ලකට යමින් එවැනි වැඩසටහන් නරඹමින් මාධ්‍ය භාවිතයේ ඇති වැරදි අඩුපාඩු පෙන්වා දීම විහිළුසහගතය.
මෙවැනි නාලිකා ප්‍රතික්ෂේප කරමින් ඉහත සඳහන් සාමාන්‍ය නාලිකා කරා වෙනස් වන්නේ නම් සුප්‍රසිද්ධ යැයි කියාගන්නා මාධ්‍ය ආයතනවලට දැඩි පහරක් එල්ල වනු ඇත. මෙම චිත්‍රපටිය තුළින් අධ්‍යක්ෂකවරයා එම කරුණ සෘජුවම නොපවසා වක්‍රව ප්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ අතීත අත්දැකීම් සමග විය යුතුය. මෙහි සම අධ්‍යක්ෂකවරයකු වන ආර්.ජේ බාලාජී කලක් තමිල්නාඩුවේ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් රැසක් මෙහෙයවූ නිවේදකයෙකි.නොයෙකුත් පීඩා මධ්‍යයෙහි ජීවත් වන ජනයා හට මානසික සහනයක් ලබා දෙනු ලබන්නේ ආගමික විශ්වාස පමණය. එහෙත් දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය බිඳි ගිය විට ජනයා මිථ්‍යා විශ්වාස පසුපස හඹා යන්නෝය. එසේ නොමැති නම් තම ප්‍රශ්න දෙවියන් හට ඉදිරිපත් කිරීමට අතරමැදි පුද්ගලයෙකුගේ පිහිට පැතීමක් ද දක්නට ලැබේ. මෙය ප්‍රයෝජනයට ගැනීමට විශාල පිරිසක් මග රැකගෙන සිටින බව අප අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. මෙලෙස අතරමැදියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ඔවුන්ව රවටා එම පුද්ගලයින් සතුව තිබු සියලුම ධනය තමන්ගේ පඬුරු පෙට්ටිවලට දමා ගත් සිද්ධින් ද අසීමිත ලෙස වාර්තාවී ඇත. යම් ආයතනයක් ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශය යටතට එකතු වන්නේ නම් එම ආයතනය ආදායම් බදුවලින් නිදහස් වන බව සත්‍යයකි. මෙවැනි ආශ්‍රමයන් හරහා කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් රැගෙන යන බව ද කවුරුත් දන්නා රහසකි.
මෙවැනි තත්ත්වයක් තුළ පංචවනම් නමින් අක්කර 11,000ක ව්‍යාපෘතියක් ආරම්භ කරන භගවදි බාබා නමැති පූජකවරයා විසින් ආගමික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව පවසමින් සිදු කරන මෙම කූඨ උපක්‍රමය ව්‍යාර්ථ කිරීමට දියත් කරන සටනක් ලෙස මෙම චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද කෝවිලේ වැඩ කටයුතු අකැපය. ඒ වෙනුවෙන් දෙවියන් බලය පවරන ලද වෙනත් පිරිසක් සිටින බවට මෙම සමාජය තුළ අතීතයේ සිට මතයක් මුල් බැසගෙන ඇති බව අප කවුරුත් දනිමු. නමුත් එම මතයට මෙම චිත්‍රපටිය හරහා සියුම් පහරක් වැදුණා යැයි කීමට හැකිය. සිය කුල දෙවියන්ගේ කෝවිලට යන රාමසාමි නමැති සාමාන්‍ය තරුණයා කෝවිල තුළ දූවිලි බැඳි තිබු දේව ප්‍රතිමා ශුද්ධ පවිත්‍ර කරනු ලබයි. එමෙන්ම කෝවිලේ පැවැත්වෙන සියලු පුද පූජා කාන්තාවක විසින් සිදු කරනු ලබන ආකාරයේ දර්ශන කිහිපයක් ද චිත්‍රපටියට ඇතුළත් කර තිබුණි. අපට ඇති වන දෝෂවලින් ආරක්ෂා වීමට විවිධ පාෂාණ සහිත මුදු පැළඳීම, සුර පැළඳීම වැනි කරුණුවලින් ලැබෙන ආරක්ෂාවට වගකීමක් ලැබෙන බවට වගකීම් සහිතකයක් අදාළ පූජකවරයා විසින් නිකුත් කළ හැකි දැයි ඇසු ප්රශ්නය එවැනි පිරිස් වෙත එල්ල කළ විශාල පහරක් ලෙස පැවසිය හැකිය.
නිවස ආලෝකමත් කිරීමට ගන්නා විදුලි බුබුළකට පවා මාස හයක වගකීම් සහතිකයක් නිකුත් කෙරුණ ද, දහස් ගණන් මුදල් වියදම් කරමින් පළඳින සුර සහ මුදුවලින් ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් නැගු ප්රශ්නය ප්‍රශංසා කළ යුතු කරුණකි. බගවත් ගීතය, බයිබලය සහ කුර්ආණය ඇතුළු ආගමික ග්රන්ථ නිවැරදිව පරිශීලනය නොකරන පිරිස් මෙවැනි පූජකරුවන් පසුපස හඹා යමින් ද මිථ්‍යා විශ්වාසයන් අනුව කටයුතු කරමින් සිටින බව ද මෙම චිත්‍රපටිය හරහා සාකච්ඡාවකට ලක් කිරීම ප්‍රශංසා කළ යුතු කරුණකි. එමෙන්ම ආගමික පාසල් තුළින් අන්‍යාගමික දරුවන්ගේ සිත වෙනස් කරමින් තම ආගම වැළඳ ගැනීමට අනුබල දීමේ ක්‍රියාවලි රැසක් ඉන්දියාව තුළ සිදු වන බව විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම චිත්‍රපටිය තුළින් එවැනි කරුණු සම්බන්ධයෙන් ද ඉතා සියුම්ව පෙන්වා දී ඇති ආකාරය දැකගත හැකි විය. එය කිසිවෙකුට හානියක් නොවන අයුරින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා දැක්වූ දක්ෂතාවය සුවිශේෂීය.තමන් මුහුණ දෙනු ලබන කරදරවලින් බේරියාමට උත්සහ කරනු ලබන ජනයා විවිධ දෙවිවරුන්ගේ පිහිට පතා යන අතර ඉන් කිසිදු සහනයක් නොලැබීම තුළින් වෙනත් දෙවිවරුන්ගේ පිහිට සොයා යාම වෙනුවෙන් තමන් තුළ සිටින දෙවියන් හඳුනා ගත යුතු බවට පවසන සංකල්පය අවසානයේදී ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට මූකුත්ති අම්මන් (Mookuthi Amman) චිත්‍රපටි කණ්ඩායම උත්සහ ගෙන ඇත.
ඉන් ඔවුන් ජයගෙන ඇතැයි පැවසීමට හැකිය. එමෙන්ම දෙවියන් වෙත තම දුක පැවසීමට අතරමැදියෙකු එසේ නොමැති නම් කපුවෙකුගේ අවශ්‍යතාවයක් නොමැති බවත්, දෙවියන්ට සිය දුක සෘජුවම පැවසිය හැකි බවත් මෙම චිත්‍රපටිය තුළින් පුළුල් ලෙස සාකච්ඡා කර තිබුණි. එමෙන්ම නොයෙකුත් ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් උපහාසාත්මකව පෙන්වා දී තිබු ආකාරයක් ද දැකගත හැකි විය. එමෙන්ම අප සතුව කෙතරම් වස්තූන් තිබුණ ද කිසිදු දිනක මිනිස් සිත ඉන් තෘප්තිමත් නොවන බවත් මෙම චිත්‍රපටියේදී සාකච්ඡා කර තිබුණි.මෙම චිත්‍රපටියේ මූකුත්ති අම්මන්ගේ චරිතය ලේඩි සුපර් ස්ටාර් ලෙස හඳුන්වන නයන්තාරා විසින් නිරූපණය කරන ලදි. මෙහි ඇති සුවිශේෂි කරුණ නම් කලකට පසුව ඇය සුපුරුදු රිද්මය වෙත පැමිණ තිබීමයි. එමෙන්ම දෙවියන්ගේ චරිතයට ගැළපෙන අයුරින් ඇඳුම් නිර්මාණය කර තිබු ආකාරයත් දැකගත හැකිව තිබුණි. එම නිසාම චිත්‍රපටියෙහි වර්ණවත්බාවය ඉස්මතු වූ ආකාරයක් ද හැකිය හැකි විය. රාමසාමිගේ චරිත නිරූපණය කළ බාලාජී ද සිය සුපුරුදු වාග් ප්රහාරයන් එල්ල කළේය. නමුත් ඔහු තමන්ව යම්තාක් දුරට පාලනය කරගෙන සිටි ආකාරයක් දැක ගත හැකි විය.
මෙවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමේදී මුහුණ දිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් මනා අවබෝධයකින් ඔහු කටයුතු කර තිබු ආකාරයක් දැකගැනීමට තිබුණි. වීදුරු මාලිගාවක් බඳු මෙම චිත්‍රපටිය කිසිදු සීරීමකින් තොරව ප්‍රේක්ෂකයා හමුවේ තැබීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට ස්තූතිවන්ත විය යුතුමය.මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මූකුත්ති අම්මන්ගේ චරිතය නිරූපණය කිරීම සඳහා ප්‍රථමයෙන් අනුෂ්කා ශෙට්ටි සහ නයන්තාරා සමඟ සාකච්ඡා කර තිබුණ ද ඔවුන් දෙදෙනාම එම චරිතය භාරගැනීමට අකමැත්ත ප්‍රකාශ කළහ. අනතුරුව ශ්රැති හාසන් ද මෙය භාරගැනීමට අකමැති වූවාය. අනතුරුව නයන්තාර විසින්ම මෙම චරිතය භාරගැනීමට කැමැත්ත පළ කළාය. එමෙන්ම මෙම චිත්‍රපටියෙහි දර්ශන කිහිපයක් සඳහා මනෝබාලා සහ ගෞතම් කාර්තික් එක්ව සිටිය ද ඔවුන් සිටි දර්ශන සංස්කරණ කර තිබීමත් විශේෂත්වයකි. අතීත දේව කතාවලට සාපේක්ෂව බොහෝ වෙනස්කම් තිබුණ ද මෙය ඉතා කාලෝචිත චිත්‍රපටියක් ලෙස හඳුන්වාදීමට කැමැත්තෙමි.
-ජෙගන් ගනේෂන් –