සිනමා හා ටෙලිනාට්‍ය තාක්ෂණික ශිල්පීන් මුහුණදෙන අර්බුදය

නොවැම්බර් 1, රාවය –චාමිනි වික‍්‍රමසිංහ-

සිනමාව, රූපවාහිනිය සහ තාක්ෂණික ශිල්පීන් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. දම්වැලක පුරුක් මෙන් ඔවුහු බැඳී රසවත් කලා නිර්මාණ පේ‍්‍රක්ෂකයා හමුවේ තබයි. තිරේ ඉදිරියෙහි පෙනෙන නළු නිළියන් සේ ම ඔවුන් අලංකාර කරන වේශ නිරූපණ ශිල්පීන්, කැමරාකරුවන් මෙන්ම සියලූදෙනාම කොරෝනා අවදානම නිසා මේ මොහොතේ සිටින්නේ අසීරු අඩියකයි. ගාමන්ට්වල අනිකුත් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින් මෙන්ම ඔවුන් ද ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටිති. මේ ඒ පිළිබඳ වූ කතාබහකි.

අපිට කිසිම යැපීම් මාර්ගයක් නැහැ

වසන්ත විට්ටච්චි (වේශ නිරූපණ ශිල්පියෙක්)


අපි අවුරුදු ගාණක් තිස්සේ රජයට කලාකරුවන් වෙනුවෙන් ප‍්‍රතිපත්ති මාලාවක් ගේන්න කියලා යෝජනා කළා. ඒත් කිසිම රජයකින් ඒක කළේ නෑ. දැන් මේ ක්ෂේත‍්‍රයේ තේ හදන මනුස්සයත් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.
වේශ නිරූපණ ශිල්පියෙක් විදියට විතරක් නෙවේ. කලාකරුවෙක් වශයෙනුත් අපිට මේ ප‍්‍රශ්නේ තදින් දැනිලා තියෙනවා. මේ කාලවකවානුව තුළ කිසිම කලා නිර්මාණයක් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. එහිදී වෘත්තීය අංග රචන ශිල්පීන් වශයෙන් අපි කිසිම යැපීමක් නැති තත්වෙකට පත්වෙලා තියෙනවා. අපි කලා ශිල්පීන් ළඟින්ම ඉන්න, ඒ අයව සමීපව ඇසුරු කරන අය. ඒ නිසා ගොඩාක් අය හිතනවා අපේ වෘත්තිය තුළින් මේක බෝ වෙන්න තියෙන ඉඩ ප‍්‍රස්ථාව වැඩියි කියලා. ඒත් අපේ මේ කොරෝනාවලට කලින් ඉඳන්ම අපේ රාජකාරිය කළේ ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව. කෙනෙක්ගෙන් තව කෙනෙක්ට කිසිම විෂබීජයක් යන්නේ නැතිවෙන්න අපි ඒ උපකරණ හොඳින් පිරිසිදු කරලා තමයි අපේ වැඩ කටයුතු කළේ. ඒ නිසා අපි වෘත්තීමය වගකීමකින් එදා පටන් අද දක්වා වැඩ කරලා තියෙනවා.


පළමු කොරෝනා රැල්ල අවසන්වීමත් එක්කම ටවර් හෝල් පදනම මගින් සංවිධානය කළ පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙලේ සංවිධායක මණ්ඩලයේ මම හිටියා. අපිට ඒකෙදි ඕන උනේ පේ‍්‍රක්ෂකයින්ට බය නැතුව පේ‍්‍රක්ෂකාගාරයට එන්න කියන්න. එතනදි වෙනමම නාට්‍ය සංස්කෘතියකුත් බිහිවුණා. මේ මේ දෙවනි රැල්ලත් එක්ක ඒක කඩන් වැටුණා. මිනිස්සු ඒක රැස්වෙන්න බය වුණා. ඒ නිසා කවදා ආයේ අපේ වැඩ පටන් ගන්න වෙයිද කියන අවිනිශ්චිතතාවයෙන් තමයි අපි ඉන්නේ.


මේ දවස්වල ඇඳිරි නීතිය නැති ප‍්‍රදේශවල ඇතැම් රූගත කිරීම් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව කරගෙන යනවා. ඒත් ඇතැම් වෙලාවට ආරක්ෂක අංශය අපිට කියනවා රටේ මෙච්චර අර්බුදයක් තියෙද්දි ඔයාලා ඇයි ඒවා කරන්නේ කියලා. ඒ කතාව සාධාරණ නෑ. මොකද කලාව කියන්නේ මිනිස්සුන්ගේ මානසික සුවය වර්ධනය කරන මිනිස්සුන්ගේ හිත සුවපත් කරන දෙයක්. ඒත් රජය හා ආරක්ෂක අංශ ඇතැම් අවස්ථාවල ඒක ඒතරම් වැදගත් නැති දෙයක් විදියට සලකනවා.

ඒ වගේම මේ ප‍්‍රශ්නය කවදා ඉවර වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වයට අපිට හැඩ ගැහෙන්න වෙනවා. මීට කලින් කාලවලත් සරම්ප, කක්කල් කැස්ස වගේ රෝග ආවා. ඒත් මිනිස්සු ඒවට ප‍්‍රතිකර්ම හොයාගත්තා. ඒ ලෙඩ එක්ක වුණත් තමන්ගේ වැඩ කරගන්න මිනිස්සු පුරුදු වුණා. ඒ නිසා කොරෝනා නිසා අපිට කලාව සහ අපේ රැුකියා අත හරින්න බෑ. ඒ වෙනුවෙන් රජය හ ආරක්ෂක අංශ මේ සඳහා නිදහස වගේම අවකාශය ලබා දෙන්න ඕනේ. මොකද මේකත් අනික් දේවල් වගේම ජන ජීවිතයට අවශ්‍ය දෙයක්.


අපිට කලාව කිව්ව ගමන් ඔළුවට එන්නේ නළු නිළියෝ. ඒත් ටෙලි නාට්‍යයක් ගත්තම අපිට පේන්නේ නළු නිළියෝ දහ දෙනෙක් විතර. ඒත් තිරය පිටුපස ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා. මොකද මේ ක්ෂේත‍්‍රයේ තේ හදන මනුස්සයත් ලොකු කාර්යයක් කරනවා. ඒ අය වෙලාවට ඇහැරිලා අනික් අයවත් ඇහැරවලා තමන්ගේ වැඬේ හරියට කරනවා. ඒ ගැන ගොඩාක් අය හිතන්නේ නෑ. ඒ වගේම රියදුරු මහත්තුරු නිදි මරාගෙන තමන්ගේ රාජකාරිය කරනවා. ඒ නිසා ඒ අය ගැනත් අපි හිතන්න ඕනේ. මේ සියලූදෙනා මේ මේ කලාවේ කොටස්කාරයෝ. ඒ නිසා නළු නිළියෝ ගැන වගේම අනික් අය ගැනත් හිතන්න ඕනේ. මොකද මේ වෙලාවේ තාක්ෂණික ශිල්පියෝ ඇතුළු බොහෝ අය මේ වෙලාවේ ඉන්නේ අසීරු අඩියක. එක ටෙලි නාට්‍යයක් නතර වෙනවා කියන්නේ හතළිහකගේ පනහකගේ වෘත්තීය අයිතිවාසිකම් නැතිවෙනවා. ඒ අය මූල්‍යමය වශයෙන් අස්ථාවර වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කාර්මික ශිල්පීන් ඇගයිමේ කිසිදු ක‍්‍රමවේදයක් ලංකාව තුළ නෑ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා චිත‍්‍රපටි කීයක් අධ්‍යක්ෂණය කළාද කියලා දන්නේ කීයෙන් කී දෙනාද? සමහර අය අහයි ඒ කවුද කියලා. ඔහු ලංකාවේ හිටිය දැවැන්ත සිනමාකරුවෙක්. ඒ නිසා මම හිතන්නේ කාර්මික ශිල්පීන් ගැන සමාජයේ අවතක්සේරුවක් තියෙන්නේ. ඒකට මූලික වශයෙන් මාධ්‍යයත් වගකියන්න ඕනේ. ඒ වගේම කිසිම රජයකින් කලාකරුවන් වෙනුවෙන් වැඩක් කළා කියලා ඉතිහාසයේ කොහේවත් නෑ. ඒ තරම් ප‍්‍රශස්ත මට්ටමකට අපේ රජය ඇවිත් නෑ.


පහුගිය කාලේ කලාකරුවන් වෙනුවෙන් දුන්නු ණය මුදලත් ගොඩාක් අයට ලැබුණේ නෑ. මොකද රජයට කලාකරුවන් අවශ්‍ය වෙන්නේ ඡුන්දේ කාලෙට විතරයි. ඒ නිසා කලාකරුවන් මිසක් කලාව රජයට අවශ්‍ය නැති බවයි අපිට පේන්නේ.

ලංකාවේ සතියකට ටෙලි නාට්‍ය 140 කට වැඩිය පෙන්නනවා. හොඳට හොයලා බැලූවොත් ඒකෙන් නාට්‍ය 115 කට ආසන්න ප‍්‍රමාණයක්ම හඬකවපුවා. චීන, කොරියන්, ඉන්දියන් කොහේහරි එකක් මෙහේ හඬකවලා පෙන්වනවා. මේකෙන් අපේ කලාව ගොඩ නැගෙන්නේ නෑ. අපේ නව නිර්මාණ බිහිවෙන්නේ නෑ. එතනදී වේශ නිරූපණ ශිල්පීන්ට මොකද වෙන්නේ? කලා අධ්‍යක්ෂට මොකද වෙන්නේ? රංගන ශිල්පීන්ට මොකද වෙන්නේ? රියදුරන්ට මොකද වෙන්නේ? තේ හදන අයට මොකද වෙන්නේ? එතන තනිකරම හඬකැවීම් ශිල්පීන් පස් හය දෙනෙක්ට විතරක් යැපෙන අවකාශයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි අවුරුදු ගාණක් රජයට මේ වෙනුවෙන් ප‍්‍රතිපත්ති මාලාවක් ගේන්න කියලා යෝජනා කළා.


ලංකාවේ මෙගා රැල්ලට කලින් ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය තුළ 2000 කට ආසන්න ප‍්‍රමාණයක් වැඩ කළා. අන්තිමට මෙගා රැුල්ලත් එක්ක ඒ ප‍්‍රමාණය 200ක් 300ක් වගේ ප‍්‍රමාණෙකට අඩු වුණා. ඒ නිසා මේකේ ඉඳපු දැවැන්ත ශිල්පීන් වෙන වෙන ක්ෂේත‍්‍ර හොයන් ගියා. ඒ අය මේසන් බාස්ලගේ අත් උදව්කාරයෝ හැටියට පවා ගියා. හේතුව ඒ අයට ජීවත් වෙන්න ක‍්‍රමයක් තිබ්බෙ නෑ. ඒ නිසා මේ ගැන ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව රජයට තේරුණේ නැත්නම් මේ කර්මාන්තය ඉබේම නැතිවෙයි. කලාකරුවන්, කලා සංවිධාන, මාධ්‍ය ආයතන මේ සියලූ දෙනා මේ වෙනුවෙන් මේ මොහොතේ හෝ හඬක් නැගිය යුතුයි. අපි පහුගිය රජය කාලෙත් වතාවන් ගාණකදී මේ ඉල්ලීම කළා. අපි 200 ක විතර කමිටු සාමාජිකයින් මේ වෙනුවෙන් පෙළ ගැහුණා. මේ ඉල්ලීම් ඉටු නොවුණේ කොහේ හරි ගෑවිච්ච දේශපාලනයක් නිසා. ඒත් කලාව දේශපාලනය සඳහා තිබෙන දෙයක් නෙවේ. අපි කියන්නේ කලාකරුවව දේශපාලනය සඳහා පාවිච්චි කළත් කලාකරුවව දේශපාලනය සඳහා පාවිච්චි කරන්න එපා. රජයේ ඉහළ ස්ථරවලට මේ අර්බුදය දැනෙන්නේ නැත්තේ ඇයි කියන අර්බුදය අපිට තියෙනවා. ඉන්දියාව වගේ රටකට ගිහින් අපිට ටෙලි නාට්‍යයක් චිත‍්‍රපටියක් කරන් එන්න බෑ. මට ගිහින් එහේ මේකප් කරන්න බෑ. මොකද ඒ රටවල්වල වෘත්තීය සමිති තියෙනවා. ඒ අය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත් අපේ රටවල්වල කලාකරුවන් වෙනුවෙන් එහෙම වටිනාකමක් නෑ

වැඩ 10 ආවොත් 8ක් නවතිනවා

ලවින්නගේ (ආලෝකකරණ ශිල්පී)


අනික් රැකියා වගේම අපිට නිවැරදිව අපේ අනන්‍යනතාව ඔප්පු කරන්න පුළුවන් හැඳුනුම්පතක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.
මාර්තුවලින් පස්සේ ඉඳලා අපි ගොඩාක් අමාරුවෙන් ඉන්නේ. පහුගිය රජයෙන් අපිට ලක්ෂ 5 ණය මුදලක් දෙනවා කියලා අපිට ඒක ලැබුණෙත් නෑ. ඒ වගේම ණය ගෙවන්න දුන්නු ණය සහන කාලේ ඉවර වෙද්දිම ආයේ මේ දෙවනි රැුල්ලත් ආවා. ඊට පස්සෙත් අපිට වැඩ ආවා. ඒත් වැඩ 10 ක් ආවොත් මේ ප‍්‍රශ්නේ නිසා ඒකෙන් 8 ක් විතර අපිට නැති වෙනවා.


අපිට දැන් පාරවල්වල රූගත කිරීම් කරන්න බෑ. ඒ නිසා රූගත කිරීම් පටන් ගන්න බෑ අතරමගදි දාලා යන්න වෙයි කියලා. අපි අද කරන වැඬේ වෙනයි හෙට කරන වැඬේ වෙනයිනේ. අද එක තැනක හෙට එක තැනකනේ වැඩ කරන්නේ. ඒ නිසා අපිට මේ වෙලාවේ වැඩ අඩුයි.

අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි මේ වගේ කාලේක අපිට ජීවිත රක්ෂණයක් හරි ලැබෙන වැඩපිළිවෙලක් ලංකාවේ නෑ. අපිට මාසෙට වැඩ 10 ක් තිබ්බොත් ඒක එක්කෙනෙක්ට කරන්නත් පුළුවන්. 10 දෙනෙක්ට කරන්නත් පුළුවන්. ඒත් එහෙම සැලසුමක් අපිට නෑ. පෞද්ගලික ආයතනවල නම් මේ වගේ වෙලාවක මාසේ පඩියෙන් හරි කීයක් හරි ලැබෙනවා. ඒත් අපිට කිසිම දෙයක් නෑ. අපි වැඩ කළොත් විතරයි අපිට සල්ලි හම්බ වෙන්නේ.
අනික මේ තත්ත්වය අලූතෙන් ක්ෂේත‍්‍රයට එන්න ඉන්න අයටත් බලපානවා. ගොඩාක් අය මේ වෙලාවේ අවදානමක් ගන්න කැමති නෑ. මොකද මේක හොඳ රැුකියාවක්. මොකද මාසෙට දවස් 10 ක් 15 ක් වැඩ කළත් ඇත්තටම පෞද්ගලික ආයතනයකට වඩා මූල්‍යමය ස්ථාවරයක් මේකෙන් හදාගන්න පුළුවන්. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ 2006. ඒ කාලේ ඉඳන් මේ වෙනකල් අපිට ප‍්‍රශ්න තිබ්බේ නෑ. ඒ නිසා අපිට මේ වෘත්තියට අමතර දේවල් කරන්න වෙලා තියෙනවා. මේ ගැන කතා කරන්න තියෙන අපේ වෘත්තීය සමිති පවා මේ වෙලාවේ ක‍්‍රියාකාරී මට්ටමක නෑ. මම දැනුවත්ව නම් අපි ගැන කිසිම කෙනෙක් කතා කරලා නෑ.


ඒ වගේම සීයට 50 කට වගේ මේ ක්ෂේත‍්‍රයේ ඉන්න අයට චිත‍්‍රපටි සංස්ථාවේ හැඳුනුම්පත් තියෙනවා. ඒත් අපි කියන්නේ මේ වගේ වෙලාවක සෞඛාරක්ෂිතව හරි මේ දේවල් කරන්න අවස්ථාවක් දුන්නොත් ආරක්ෂක අංශ වලට හරි හරියට පෙන්නන්න හැඳුනුම්පතක් හදලා දෙන්න කියලා. මොකද ආරක්ෂක අංශවල ඇතැම් අය චිත‍්‍රපටි සංස්ථාව ගැනවත් ඒකෙන් කරන දේ ගැනවත් හරියට අවබෝධයක් නැති අවස්ථා තියෙනවා. ඒ සඳහා රජය මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා අනික් රැුකියා වගේම අපිට නිවැරදිව අපේ අනන්‍යනතාව ඔප්පු කරන්න පුළුවන් හැඳුනුම්පතක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ අයිතිය මේ ක්ෂේත‍්‍රයේ හැමෝටම දෙන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි.
අනික අපි මේ කොරෝනා පටන් ගත්ත කාලෙත් රූගත කිරීම්වලට ගියේ ගොඩාක්ම ආර්ථික ගැටලූ නිසා. හැමෝම අවදානමක ඉන්න වෙලාවේ අපිත් ඒ අවදානම ගත්තේ අපිට මූල්‍යමය අස්ථාවරයක් තිබ්බ නිසා.

ප්‍රාථමික රසිකත්වයෙන් ගැලවෙමු

ප්‍රවිණ සංස්කරණ ශිල්පි ගුරුගේ (සංස්කාරක ශිල්පී)


කොරෝනාවලින් පස්සේ සිනමාශාලා තියෙන ප‍්‍රමාණෙනුත් සීයට 50 ක් විතර වැහෙයි
සංස්කාරක ශිල්පියෙක් වගේම සිනමාවේදියෙක් විදියටත් අපිට මේ ප‍්‍රශ්නේ තදින්ම බලපෑවා. දැන් සිනමා ශාලාවල් වහලා. රූගත කිරීම් කල් ගිහිල්ලා. සිනමා සංස්කරණ ශිල්පියෙක් විදියට මට සහ සෙසු සියලූම ශිල්පීන් දැන් ඉන්නේ ලොකු අවදානමක. තව ටික දවසකින් රූගත කිරීම් පවා නවත්වන්න වෙයි. එතකොට කර්මාන්තයක් වශයෙන් මේ ක්ෂේත‍්‍රය බිඳ වැටෙනවා. ඒ වගේම හැමෝම මේ වෙද්දි ආර්ථික ප‍්‍රශ්න ගොඩක ඉන්නවා.
විශේෂයෙන් සිනමාව කවදා ගොඩ එයිද කියලා ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. මේකෙන් පස්සේ සිනමා ශාලා අරින්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙයිද ? සිනමා ශාලා කීයක් ඇරෙයිද සිනමා ශාලා කීයක් වැහෙයිද කියන ප‍්‍රශ්න අපිට තියෙනවා. කොරෝනාවලින් පස්සේ මට නම් හිතෙන්නේ සිනමා ශාලා තියෙන ප‍්‍රමාණෙනුත් සීයට 50 ක් විතර වැහෙයි කියලා. ඒ නිසා අපේ ඉදිරි ගමන ගැන අපිට විශාල අර්බුදයක් තියෙනවා. කලින් කොරෝනා වලින් පස්සේ අපි මේක යම් තලයකට ගෙනාවා.


මම සිනමා සංස්කාරකවරයෙක් විතරක් නෙවේ. මම ද වීඩියෝ ටීම් කියන ආයතනයේ සභාපතිවරයෙක්. මගේ කණ්ඩායමේ 35 ක් විතර ඉන්නවා. ඒ හැමෝටම අපි අමාරුවෙන් හරි මේ මාසේ වෙනකල් පඩි ගෙව්වා. අපි කිසි කෙනෙක්ව අයින් කළෙත් නෑ. ඒත් ගොඩක් ආයතනවල ශිල්පීන් ගොඩකට අයින් වෙන්න වුණා. ගොඩාක් සංස්කරණ ශිල්පීන් මට කතා කරලත් රස්සාවල් තියෙනවද කියලා අහනවා.


ඕනෑම ප‍්‍රශ්නයකදි මේ ක්ෂේත‍්‍රය මුලින්ම කඩන් වැටෙනවා. මේ ක්ෂේත‍්‍රයේ තාක්ෂණික ශිල්පීන් ගැන කතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. ඒකට හේතුව තමයි මේක කර්මාන්තයක් විදියට ලංකාව තුළ මුල් බැහැලා නෑ. සිනමා කර්මාන්තයක් විදියට හරි රූපවාහිනි කර්මාන්තයක් විදියට හරි මේක නෑ. ඒත් මේක කර්මාන්තයක්. මේක ඇතුළේ වෘත්තීය ශිල්පීන් දහදාහක් පහළොස්දාහක් ඉන්නවා. ඒත් කිසිම රජයකින් මේක සිනමා කර්මාන්තයක් විදියට ස්ථානගත කරලා නෑ. ඒක අපිට ඉතා දරුණු ලෙස බලපානවා. අනික තමයි කතිකාවක් ඇති වුණත් ඒ මතුපිටින් ඉන්න ශිල්පීන් හා නළු නිළියෝ ගැන විතරයි. අනික් අය ගැන කතා කරන්නේ නෑ. පේන්න ඉන්නේ නළු නිළියෝ විතරනේ. දේශපාලනඥයින්ට පාවිච්චි කරන්නත් පුළුවන් නළු නිළියෝ විතරනේ. හැබැයි මේකේ ඊට වඩා ලොකු කාර්යයක් කරන්නේ තාක්ෂණික ශිල්පියෝ. නළුවෙක් නිළියෙක් අධ්‍යක්ෂවරයෙකුට සුළු කාලයකින් හදාගන්න පුළුවන්. පාරේ ඉඳලත් සුළු කාලයකින් නළු නිළියෝ වුණු අය මේ ලෝකේ ඉන්නවා. ඒත් තාක්ෂණික ශිල්පියෙක් එහෙම හදාගන්න බෑ. තාක්ෂණික ශිල්පියෙක් කියන්නේ වසර ගාණක් තමන්ගේ දැනුම සහ අත්දැකීම් පාවිච්චි කරලා ඒ තැනට ආව කෙනෙක්. පාරෙන් හොයාගත්ත කිසිම කෙනෙක් තාක්ෂණික ශිල්පියෙන් වෙලා නෑ. ඒත් ඒ අය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒක තමා ලොකුම ප‍්‍රශ්නේ.


මෙතනදි අපි පොදුවේ සන්ධානගත වෙලා මේ ගැන කතා කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහට අපිට බොහෝ ප‍්‍රශ්නවලට මූණ දෙන්න වෙයි. මොකද මේ ක්ෂේත‍්‍රයෙන් ඉන්න අය වෙන වෙන ක්ෂේත‍්‍රවලට ගියොත් ඒකෙන් මේ ක්ෂේත‍්‍රයට විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා රජය විසින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද කුඩා තේ වතු, රබර් වතු අයට පවා මේ වෙලාවේ සහන ලැබිලා තියෙනවා. මොකද ඒ අය කර්මාන්තයක් වශයෙන් රජයෙන් පිළිගෙන ඇති නිසා.


රූපවාහිනිය සහ සිනමාව කියන්නේ ඉතාමක් හොඳ ක්ෂේත‍්‍ර දෙකක්. ඒත් අපි මූණ දීලා තියෙන ගැටලූව අනූව දැන් මේක අවදානමක තියෙන්නේ. ඒ නිසා මේ වගේ අවදානමකදී අපි ලෝකයේ අනික් රටවල් වගේ හොඳට මූණ දෙන්න පුළුවන් ක‍්‍රමවේද හොයාගන්න ඕනේ. ඒකේ ලොකු අඩුවක් මේ වෙද්දි තියෙනවා. මේ පිළිබඳ අපි විධිමත් සාකච්ඡුාවකට යන්න ඕනේ. මෙකෙද ලංකාව ඇතුළේ දක්ෂ තරුණ කණ්ඩායමක් ඉන්නවා. මම දන්න සමහර අය ඉන්නවා ලංකාවට විතරක් නෙවේ ලෝකෙටම වැඩ කරන අය. ඒ නිසා අපි අපේ හැකියාවන් සහ ශිල්පීය වටිනාකම මෙතනින් ඉළියට ගෙනියන්න ඕනේ. මොකද අපිට ඒකෙන් ලොකු ජයග‍්‍රාහී මාවතකට යන්න පුළුවන්. ඒ නිසා මේ තත්වෙත් එක්ක අපි අලූත් විදියකට හිතන්න ඕනේ. අලූත් මාවතක් හදාගත්තොත් අලූතෙන් එන පරම්පරාව ගොඩක් ශක්තිමත් වෙනවා. මොකද අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. මේ ගැන ධනාත්මකව හිතන්න ඕනේ. මේකත් එක්ක ජීවත් වෙන්න ඕනේ.


දැන් ලෝකේ ගොඩාක් දියුණුයි. ඒ නිසා අපි දැන් ලෝකෙට ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් කණ්ඩායම් හදන්න ඕනේ. අපි ඉන්න ප‍්‍රාථමික රසිකත්වයෙන් අපි ගැළවෙන්න ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *