The Newspaper ජීවිතය විනිවිද දකී

සුරූපී නිළි චරිත නැත.ප්‍රධාන චරිත රඟපාන කඩවසම් නළුවන් ද නොවේ.ගීත, සටන් ජවනිකා, බාල විනෝදය සපයන විහිලු තහලු ද නැත. එහෙත් ජීවිතය පිළිබඳ කියවෙන කතා පුවතක් ඇත.

ඉරිදා දිවයින සංග්‍රහය
2019 දෙසැම්බර් 29

සිංහල සිනමාවේ විකාශය පිළිබඳ විමසීමේ දී ආරම්භක දශක කිහිපය පුරා අපට නරඹන්නට ලැබුණු චිත්‍රපට බහුතරයක දක්නට ලැබුණේ දකුණු ඉන්දීය සිනමාවේ ආභාසය ලැබූ සම්මත වට්ටෝරුවකින් සැදුණු නිර්මාණ ය. සුකුමාර කඩවසම් පෙම්වතා,රූමත් පෙම්වතිය, ඔවුන්ගේ නිකැලැල් ආදරයට හරස් වන පවුලේම ඥාතියකු හෝ වෙනත් දුෂ්ටයකු, මල් වතු මුහුදු වෙරළ ගං ඉවුර ප්‍රේම ගීතිකා,පෙම්වතියගේ වියෝ ගීතය, සමාජශාලා ද්‍රශන හා නාටිකාංගනාවන්ගේ නැටුම්, සටන් ජවනිකා,පෙම්වතා හෙවත් වීරයා අවසන දුෂ්ටයා පරාජය කොට ජය ගැනීම, වෙඩිතබාගැනීම්, මෝටර් රථ හඹා යෑම්, විහිළු තහළු හා තවත් බොහෝ ජනප්‍රියාංග මෙම වට්ටෝරුවට ඇතුළත් වූ අතර ඉන් මිදුණු චිත්‍රපට කලාවක් අප පළමුවරට හඳුනාගන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාව තුළිනි.ගම්පෙරළිය හෝ නිධානයෙහි ඉහත කී එකදු වට්ටෝරු ලක්ෂණයක් නොවේ. වට්ටෝරුව පුපුරුවා හරින ලද පුරෝගාමී සිනමාකරුවා ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුන්වන්නේ නම්, ඔහු ගත් මග නිවැරිදිව හඳුනාගෙන වටහාගෙන සැබෑ සිනමාවක් , යථාර්ථවාදී සිනමාවක් කරා ප්‍රේක්ෂකයන් කැඳවූයේ ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර ආදී වම් ඉවුරේ සිනමාකරුවන් විසිනි. සිනමාව යනු අනෙක් බොහෝ කලා මාධ්‍ය මෙන් ම එකී මාධ්‍යයට හිමි ස්වලක්ෂණ තුළ මානව ජීවිතය දකින්නට නිර්මාණ බිහිකිරීමෙහි ලා පුරෝගාමීන් ගත් මග යමින්, සිංහල සිනමා ප්‍රේක්ෂකයන් සුරංගනා ලෝකයකට ගෙන යනු වෙනුවට, ජීවිතය විනිවිද දකින්නට භාවිත කළ හැකි ප්‍රබල කලා මාධ්‍යයක් බව ඔප්පු කළෝ වම් ඉවුර පසු පරපුර සේ සැලකෙන ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ආදීන් බව සිනමා වංශ කතාව පවසයි.
වට්ටෝරු ලක්ෂණවලින් වියුක්ත වූවත් මෙම චිත්‍රපට කරුවන්ගේ බොහෝ දෙනෙකුගේ නිර්මාණ තුළ කතා රසයෙන් යුත් එහෙත් අත්හදා බැලීම් ස්වරූපයේ නව සිනමා භාවිතාවක් ඔස්සේ , අපූර්ව ජීවිතානුභූතීන් සිනමාවේ බසින්, රූප මාධ්‍යයයෙන් ප්‍රතිනිර්මාණය වූ ලක්ෂණ දක්නට ලැබේ. කලාත්මක සිනමාව එවන් බොහෝ නිර්මාණ දක්නට ලැබුණ ද වට්ටෝරුවෙන් සම්පූර්ණයෙන් නොමිදුණ එහි යම් යම් ලක්ෂණ සහිතව වූවත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ චිත්‍රපට ද නිර්මාණය වී ඇති බවත් ඒවා ජනප්‍රිය සිනමාව ලෙස හැඳින්වෙන බවත් දනිමු.එහෙත් මෙකී වට්ටෝරුවෙන් සම්පූර්ණයෙන් ම වියුක්ත වූ එහෙත් කතා රසය රඳවා ගනිමින් ජීවිතය විනිවිද දකින්නට සමත් වූ අපූර්ව සිනමා ගෙත්තමක් නැරැඹීමේ වාසනාව අප ලද්දේ පසු ගිය දිනෙක නැරැඹූ The Newspaper නම් වූ සිනමා කාර්යය නිසාය.වට්ටෝරුවෙන් තොර සිනමානුරූපී චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ කෙසේ ද කියා සොයා බලන්නෙකුට දිය හැකි මාහැඟි පිළිතුර වන්නේ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල අධ්‍යක්ෂණය The Newspaper චිත්‍රපටයයි.

මීට ඉහත බොහෝ අවස්ථාවන්හි දී සම්මානලාභී , කලාත්මක හා සිනමාත්මක චිත්‍රපට නිර්මාණය සඳහා අර්ථපතිත්වය දැරූ තිදෙනෙකු The Newspaper පිටුපස සිටී. ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි හා රවීන්ද්‍ර ගුරුගේ ඔවුහු වෙත්. සුද්දිලාගේ කතාව, සිරි මැදුර, ආකාස කුසුම්, අසන්ධිමිත්තා, සුළඟ එනු පිණිස වැනි චිත්‍රපට සඳහා මේ තිදෙනා ගේ අර්ථපතිත්වය කැපී පෙනේ. මෙවර ඔවුන් තිදෙනා ම ආධුනික තරුණ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ පළමු සිනමා කාර්යය වෙනුවෙන් ආයෝජනය කිරීමට නිර්භීත වී ඇති බවක් පෙනේ.ඔවුන්ගේ එම නිර්භීත ආයෝජනය නිසැක වශයෙන් ම සිංහල සිනමාවේ විශිෂ්ට නිර්මාණයක් බිහි කිරීමේ ලා කළ දායකත්වයක් බව The Newspaper චිත්‍රපටය ඔප්පු කොට හමාරය.සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර තරුණ රූපණවේදීන් දෙදෙනා තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරන ලද ඔවුන්ගේ කුලුඳුල් සිනමා ව්‍යායාමය කලාවක් හා කර්මාන්තයක් ලෙස ශක්ති සම්පන්න වීමේ සිහිනය දකින සිංහල සිනමාවට පැමිණි වෙස් වළා ගත් ආශීර්වාදයක් වැන්න.

සිනමා මාධ්‍යය හා එහි ස්වලක්ෂණ මනාව හඳුනා ගත් නිර්මාණශීලී තිර රචකයන් දෙදෙනෙකු මෙන් ම එම තිර රචනය තුළින් සඳළු තලාවන් හි ජීවත්වන වරප්‍රසාද ලත් චරිත වෙනුවට ඈත දුෂ්කර මායිම් ගම්මානයක ජීවත්වන මවක හා පුතෙකු ද ඔහුගේ මිතුරෙකු ද මුල් කරගත් චරිත ත්‍රිත්වයක් මගින් ජීවිතයේ යථාර්ථය දකින්නට අධ්‍යක්ෂවරුන් ගත් උත්සාහය ප්‍රශස්ථ ය. පොළොන්නරුව, ගල්ලෑල්ල දුෂ්කර ගම්මානයේ ජීවත් වූ , තම පුතු සිංහල කොටියෙකැයි හංවඩු ගැසීමෙන් අනතුරුව චිත්ත පීඩාවට පත් අහිංසක නූගත් ගැමි මවකගේ ජීවිතාපේක්ෂාව ඉටු කිරීමෙහි ලා ඇගේ ආබාධිත පුතු හා ඔහුගේ නූගත් මිතුරා එක් වී ගමන් ගන්නා දුක් කම්කටොළු ගැහැට පිරි වෙහෙසකර චාරිකාවක ගමන් කෙළවර ඛෙදයකින්, අපෙක්ෂා භංගත්වයකින් චිත්‍රපටය නිමා වේ.තම පුතු අපරාධකරුවකු නොවන බව පුවත්පතක ශීර්ෂයකින් දැකීමේ සිහිනයක ජීවත් වූ කතා නායිකාවගේ සිහිනය සැබෑවක් බවට පත් කොට එපුවත ඇගේ පුතුගේ මිතුරා ( ලුය්යා ) ඈ වෙත රැගෙන එන මොහොතෙහි ඔහු දකින්නේ ඈ මිහිදන් කළ බිම පමණි. ඈ සිහින මැවූ ශීර්ෂය සහිත පුවත්පත් මුල් පිටුව ඈ මිහිදන් කළ බිම් කඩ මත තැබූව ද එය සුළඟට හසු වී ඉන් ඉවතට ඇදී යන්නේ සදහට ම නෙත් පියා ගත් මවගේ අවසාන අපෙක්ෂාව ද සිහිනයක් ලෙසින් ම සුළඟේ පා වී ගිය ලෙසක් සංකේතවත් කරමිනි.

තම නූගත් මවගේ අපෙක්ෂාව ඉටු කර ගැනීමට අගනුවර මාධ්‍ය කාර්යාලයක් සොයා පැමිණෙන ගුණා හෙවත් ගුණපාල (සරත් කොතලාවල ) හා ඔහු මිතුරා ලුය්යා ( කුමාර තිරිමාදුර ) ට හමුවන මාධ්‍යවේදී චරිත , ඔවුන්ගේ අධිකාරී බලය, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ලොවට පවසන එහෙත් මනුෂ්‍යත්වයට නිගා දෙන ඊනියා මාධ්‍ය ලෝකයේ චරිත හා මාධ්‍ය ආයතන ගුණාගේ හා ලුය්යාගේ බැගෑපත් ඉල්ලීම හමුවේ නිරුවත් වන ආකාරය තිර රචකයන් ගේ පරිකල්පනීය ගුණයට නිදසුන් ය. මාධ්‍ය ප්‍රධානීන්, හිමිකරුවන්, කර්තෘවරුන් හා මාධ්‍ය ආයතන මතු නොව, රජයේ මාධ්‍ය භාවිතාව ද තිර රචනය මගින් දැඩි ප්‍රශ්න කිරීමක ට ලක් කරවන අතර නිදහස් යැයි කියා ගන්නා මාධ්‍යය මෙන් ම පාලකයන් විසින් ද මාධ්‍යය තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට භාවිත කෙරෙන පහත්, නිර්ලජ්ජී ස්වරූපය ද සිනමාකරුවන් අප ඉදිරියේ තබන්නේ විශ්වසනීයත්වය රැක ගනිමිනි. හේතු ඵල සබඳතා මනාව ගොඩ නගමිනි. ලුය්යා වැනි ගැමි තරුණයකුගේ , ගොපලු කොලුවකුගේ ශක්තිමත් පා පහරින් බිම ඇද වැටෙන මාධ්‍ය දැවන්තයා ගේ ප්‍රතික්‍රියා , තම පුවත්පත හා එහි නිදහස අවභාවිත කරමින් ( බිරිඳ ට ද ජීවිත තර්ජන ඇතැයි යන අසත්‍ය පුවත් පළ කර ගැනීමෙන් ) මාධ්‍ය මාපියාව ක්‍රියාත්මක වන’යුරු පෙන්වන්නේ ඔවුන් පැළඳ සිටින මාධ්‍ය නිදහස නම් කඩතුරාව ඉරා දමමිනි. මේ මුග්ධ පිරිස අතර හමුවන මානව දයාවෙන් යුත් එකම චරිතය වන්නී පුහුණු පුවත්පත් කලාවේදිණියයි.

ගමෙන් පැමිණි තරුණයන් ට උපකාර කිරීමේ වන්දිය වන්නේ ඇගේ පුහුණු රැකියාව ද ඇයට අහිමි වීමයි. ඇ‍යගේ ඉරණම තුළින් ද මාධ්‍ය ඒකාධිකාරයේ විෂම බව ,අත්තනෝමතික තීන්දු ගැනීමට ඔවුන් බිය නොවීම වැනි ලක්ෂණ කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු කරවීමට මෙම නිර්මාණකරුවන් දෙදෙනා සමත් වේ.අගනගරයට පැමිණි ගැමි තරුණයන් දෙදෙනාට හමුවන ඇතැම් චරිත හා ඔවුන්ට මුහුණ පාන්නට සිදුවන ඇතැම් සිදුවීම් ඔස්සේ යාචක වේශයෙන් මුදල් එක් කරන සංවිධානාත්මක ඒකාධිකාරී කණ්ඩායම්, ලුය්යාට බන්ධනාගාරයේ දී හඳුනා ගන්නට ලැබෙන පාතාල කල්ලි නායකයන්, වැනි චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් කැඳවාගෙන යනු ලබන අගනුවර ක්‍රියාත්මක වන තවත් මාපියාවක තතු ද නිරාවරණය කිරීමට අධ්‍යක්ෂවරු සමත් වෙති. රැයෙක නවාතැන් ගැනීමට බෞද්ධ සිද්ධස්ථානයක සරණ පතන මේ ගැමි තරුණයන් එහි දී මුහුණ පාන අත්දැකීම, ඔවුන් පංසල ආරක්ෂකයා විසින් පලවා හරිනු ලැබීම දේශනාවට පමණක් සීමා වූ බුදු පුතුන්ගේ යථා ස්වරූපය හෙළිදරවු කරමින් උපහාසාත්මකව දැකීම රචකයන්ගේ දෘෂ්ටියෙහි නිර්භීත බව පෙන්වන්නකි.එහි දී ඔවුන් ප්‍රශ්න කරන්නේ, එදා බුදු හිමියන් වැඩ වාසය කළ ජේතවනාරාමය වැනි පින් බිමක් අද විහාරස්ථානයක් මෙන් උස් තාප්ප බැඳ යකඩ දොරගුළු දමා තිබුණා නම්, කිසාගෝතමියට හෝ පටාචාරා වැන්නියකට කෙබඳු ඉරණමක් අත්වේ ද කියායි.නූගත් ගැමි තරුණයෙකු ලවා එවන් ප්‍රශ්න කිරීමක් තුළින් ඊනියා සංඝ සමාජයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය බෝම්බ ප්‍රහාරයකට වඩා බලවත් ය.ඉන් විශදවන්නේ ද නිව්ස්පෑපාර් නිර්මාණකරුවන් සතු වූ සමාජ නිරීක්ෂණයයි. ආගමික සංස්ථාවක් සතු අධිකාරී බලය දෙස උපහාසාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන් තුළ වූ නිර්භීතත්වයයි.සිපිරි ගෙදරින් එළියට පැමිණිය ද ඔවුන්ගේ ජීවිතාපේක්ෂා ඉටු කරගන්නට හරස් වන අගනුවර විවිධ බලවේග ක්‍රියාත්මක වන ආකාරය හා ඔවුන් යළිත් පාතාලයේ ගොදුරු බවට පත් කරගන්නා’යුරුත් අවසන පොලීසියේ පිහිටෙන් ම මවගේ ඉල්ලීම ඉටු කර ගත්ත ද ,පාතාලයේ ම ගොදුරක් බවට පත් වෙමින් ගුණා හෙවත් මවගේ ජීවතුන් අතර සිටි පුතු ද ඝාතනය වීම ඔස්සේ චිත්‍රපටයේ කූටප්‍රාප්තිය ගොඩ නැංවේ.
චිත්‍රපටයේ කූටප්‍රාප්තිය උත්ප්‍රාසාත්මකව නිර්මාණය වේ. නොකළ වරදක් නිසා සමාජය විසින් කොන් කරනු ලබන, ගර්හාවට ලක් වන පවුලේ මව හා සොහොයුරා ගේ ආධ්‍යාශය වන්නේ කෙසේ හෝ තම පුතු, තම සොහොයුරා නිවැරිදිකරුවෙක් ය යන්න පුවත්පත් ශීර්ෂයකින් ම පවසා ගැනීමයි. අවසන එය ඉටු වේ. තම පුතු සිංහල කොටියකු නොවේය යන ශීර්ෂය සහිත පුවත්පත දැකගැනීමට මවට වාසනාව නොලැබේ. ඈ ජීවත්ව සිටියා නම් දකින්නේ වෙනත්ම ශීර්ෂයක් රැගත් තවත් පුවත්පත් මුල් පිටුවකි.නොකළ වරදකට සොහොයුරා පිළිබඳ පුවත පළ කරන පුවත් පත් ම නොකළ වරදකට ජීවත්ව සිටි සොයුරා වරදකරුවකු කරමින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පළවන පුවත්පත් ශීර්ෂයකි දෙවැන්න. ඒ නම් කිනම් උත්ප්‍රාසාත්මක අවසානයක් ද?

චිත්‍රපටයේ කතා නායකයන් දෙදෙනා ගේ හා මවගේ චරිත ත්‍රය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සමීපකරවන හෘද සංවේදී සිදුවීම් මාලාව ඔස්සේ අධ්‍යක්ෂවරුන් විසින් විසින් ප්‍රශ්න කරන්නේ මාධ්‍යයෙහි ඇති ව්‍යාජ ස්වරූපයයි. නාගරික පංතියේ හිස් බවයි. ගැමියන් නූගතුන් වීම අසරණ මිනිසෙකුගේ ජීවිතයට කෙබඳු අහිතකර බලපෑමක් සිදු කරන්නේ ද යන්න, අගනගරයේ දී සිදුවන සිදුවීම් සියල්ල හරහා අතිශය ප්‍රබල අත්දැකීමක් ලෙස ගොඩ නංවන අධ්‍යක්ෂවරුන් ඊනියා නිදහස් ස්වාධීන හා ලුම්පන් සමාජ ක්‍රමයට සිනාසෙයි.ඔවුන් අතර හමුවන එකම මිනිස් චරිතය ලෙස ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නා පුහුණු පුවත්පත් කලාවේදිණියගේ චරිතය තුළින් චරිත නිරූපණයේ පැතලි ස්වභාවය ඉක්මවමින් සංකීර්ණ හැඟුම් සිතුම් සතු සජීවී ගැහැනියක නිර්මාණය කරයි.ඈ ප්‍රෙක්ෂකයන්ගේ අනුකම්පාවට පාත්‍ර වූව ද ගමෙන් පැමිණි තරුණයන් ට උදව් කිරීමේ වරදට ඈ රැකියා අහිමිවන්නියක් බවට පත් වේ.රචකයන් මතු කරන උත්ප්‍රාසය එයයි. The Newspaper චිත්‍රපටය ජීවිතය, සමාජය, සමාජ චර්යා ප්‍රශ්න කරයි.අගනගරයේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන දෙබිඩි හැසිරීම් ප්‍රශ්න කරයි.යාචක ප්‍රජාව, පාතාලය, උඩු යටි කුරු කොට පෙන්වයි. එ දෙස සදය උපහාසයෙන් හා අවඥාවෙන් බලයි.සියල්ල කෙළවර වන්නේ ජයග්‍රහණය හා පරාජය අතර දෝලනය වන්නා වූ සිදුවීම් මාලාවකිනි.

ප්‍රබල තිර රචනයක් , ප්‍රශස්ථ අධ්‍යක්ෂයක් ( කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල ) මගින් ප්‍රකට කොට සිටින ප්‍රතිභාව පැසසුම් කටයුතුය. ඔවුන්ගේ රංගන කාර්යය, චිත්‍රපටයේ හදවත බවට පත් වී ප්‍රේක්ෂක ග්‍රහණය අත් නොහැර සිටී.ඔවුන් දෙදෙනා හැරුණු කළ නිර්මාණයට දායක වී ඇති ලොකු කුඩා සියලු චරිත නිරූපණ මනාව අධ්‍යක්ෂණය වී ඇත. ඒ අතරිනුදු ඉතාම නම්‍යශීලී, ආයාසයෙන් තොර රංගනයකට පණ පොවන පුහුණු මාධ්‍යවේදිණිය, මාෂි සිරිවර්ධනගේ රංගනය විශිෂ්ට ය. චිත්‍රපටයේ ආනුෂංගික අංශ අතර චන්දන ජයසිංහගේ නිර්මාණශීලී කැමරාකරණය ද ගයත්‍රි කේමදාස ගේ සිනමාවොචිත සංගීත නිර්මාණය ද වෙසෙසින් කැපී පෙනේ. තණ්හා රතී රඟා සිනමා කෘතියෙන් ඇරැඹි ගයත්‍රිගේ සංගීත නිර්මාණය තෙ නිව්ස් චිත්‍රපටයේ දී වඩාත් අර්ථවත් ව , චිත්‍රපටයේ තේමාව හා මනාව සුසංයෝගීව නිර්මාණය වී තිබීම පැහැදිලිව පෙනිණ. සිනමා සංගීතය යනු වාද්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සමූහයක් වාදනය කරමින් ජවනිකා අතර හිස්තැන් පිරවීමක් නොව අතිශය අභියෝගාත්මක, නිර්මාණ කාර්යයක් බව ගයත්‍රී මනාව ඔප්පු කොට සිටින්නී ය.The Newspaper අපූර්ව සිනමානුභූතියකි. චිත්‍රපටයේ අර්ථපතීන් මෙන් ම තිර රචක අධ්‍යක්ෂ භූමිකාවන් හි අභියෝගය ජය ගත් නිර්මාණකරුවන් දෙදෙනා, කුමාර හා සරත්, සිංහල සිනමාව මෑතක දී සොයා ගත් අපූර්ව සිනමාකරුවන් දෙදෙනකු බව The Newspaper සනාථ කොට සිටී. ඔවුන්ගේ අනාගත ගමන් මග පැහැදුල් ය.අපේක්ෂා සපිරුණකි.

බුද්ධදාස ගලප්පත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *