2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා
-දේශය-
සුජීව ප්‍රියාල් යද්දෙහිගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ North west films වෙනුවෙන් කල්‍යාණි රණවක නිෂ්පාදනය කළ දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල් වැනි රංගන ශිල්පීන් ගේ රංගන සම්මිශ්‍රණයකින් හැඩවත් වූ පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා ජනගත කෙරෙන සුපර්ණා සිනමා කාව්‍ය පිළිබඳව කෙරෙන විචාරයකි.)
මා අදහන මා විශ්වාස කරන මා ආදරය කරන මා නමදින සර්වබලධාරී දෙවියන් වහන්සේ යනු ස්වභාවධර්මයයි. ඒ දෙවියන් වහන්සේ අප්‍රමාණ ඉවසිලිවන්තයෙකි. ආදරය අංශුමාත්‍රයක් ඒ දෙවියන් වෙත පුද දුන් කල්හි උන්වහන්සේ ඒ වෙනුවෙන් සමුදුරක් තරම් ආදරයක් අප වෙත තිළිණ කරයි. අනාදරයෙන් අප සලකද්දීත් අප වෙත දයාවම තිළිණ කරයි. එහෙත් ඒ ඉවසිලිවන්ත හදවතේ එක් ගැස්මක් මහා ප්‍රකම්පනයක සමාරම්භය විය හැක. ඒ ගැස්ම මහා භූකම්පනයක්, ගංවතුරක්, ලැව්ගින්නක්, මේ කවර වේෂයකින් මුදාහරින්නේදැයි නිශ්චිතයක් නැත. ඒ වගට සාක්ෂි දරන්නේ ඒ මොහොතමය.
මහ ගසක් යනු නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන බෝධිසත්ත්වයෙකු සේමැයි. ඉඳින් ඒ සා ආදරයකට ප්‍රතිචාරය එරෙහිබවනම්, අනාදරයනම්, නොසැලකිල්ලනම් රිදුම් පිරිමැද මොහොතකට ප්‍රකම්පනය වන ස්වභාවධර්මයේ හදගැස්ම අනාගත මහපොළොවේ ඉරණම කවරාකාර වෙසකින් තීරණය කරනු ඇත්ද?
මේ සා සිතුවිලි නදියක කිමිදෙමින් මම සුපර්ණා නැරඹුවෙමි.
සිනමාව නම් රූපකාරකය මානව සංහතියේ අක් මුල් ගැඹුරට ප්‍රසාරණය වෙමින් මානව මනෝභාවයන්ගේ සහ සමාජ යථාර්ථයන්ගේ විවිධ පැතිකඩ විනිවිද දකින්නට දරන උත්සාහයන් අප්‍රමාණය. තවත් වෙසෙකින් පුද්ගල මානව රූප සංජානනයකට සහ ප්‍රතිරූපවාදයට (Imagism) දිශානුගත කරන සිනමාව මනුෂ්‍ය සන්තානයේ කලාත්මක හා සෞන්දර්යාත්මක විඥාන වර්ධනයේ උච්චතම ප්‍රතිඵලයක් ලෙස ද හුවා දැක්විය හැකිය. මනසින් සහ මසැසින් ලෝකය කියවන්නට ආරාධනා කරන, පොළඹවන සිනමාව විචාරශීලී ඥානයෙන් හෙබි ප්‍රේක්ෂක පරපුරක් බිහිකිරීමේ මාධ්‍යයක් ලෙස මෙන්ම සමාජ සංස්කෘතික මූලයන් විශ්ලේෂණාත්මකව හා සංශ්ලේෂණාත්මකව කියවන මහා ආඛ්‍යානයක් ලෙසද සම්භාවනාවට පාත්‍ර කළ හැකි වේ. සැබැවින්ම මානව සංහතිය වෙනුවෙන් කලාකරුවකුගේ මෙහෙවර විය යුත්තේ ප්‍රගතිශීලී සමාජ ප්‍රගමනයක් ඇති කරනු වස් සාරාර්ථ සම්බන්ධීකාරකවරයකුගේ භූමිකාවට පණපොවමින් මානවීයත්වයෙන් පූර්ණ පුරුෂාර්ථ නිෂ්පාදනය කිරීමයි.
සංකල්පීය වශයෙන් ගත් කල වත්මන් මානව සමාජය අබිමුව නිසගයෙන්ම කතා කළ යුතු තේමාවක් තම සිනමා කාව්‍යයට අනුභූතිය කරගත් සුපර්ණා චිත්‍රපටය ගුණාත්මක සංකල්පයක් ප්‍රස්තුතය කරගත් සිනමා ආඛ්‍යානයක් ලෙස සැලකීම නිරවද්‍ය වේ. සැබැවින්ම නව සාරාර්ථ සංකල්ප සමාජගත කිරීම සහ සමාජ හරස්කඩ හා යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යභාරය ඉටුකිරීමේ ක්‍රියාවලිය තුළ සිංහල සිනමාව තවමත් පවතින්නේ දුප්පත් සහ දූපත් මානසිකත්වයක හා පසුබිමක වන බැවින් ඒ ඉඩෝරයට ඇදහැලුණු නවමු සංකල්පමය පොද වැස්සක් ලෙස සුපර්ණා පළමුව ඇගයීමට ලක් කිරීම සාධාරණය.
විචාරය වූ කලී කලාකරුවකු විසින් සමාජගත කළ හෝ නොකළ ඕනෑම කලා කෘතියක් යළිත් නව්‍ය කියවීමකට පාත්‍ර කරමින්, එහි අක් මුල් ඉසියුම් ලෙස පිරිමදිමින් මෘදු – සිනිඳු ස්පර්ශයන් ඔස්සේ එහි ගැඹුරට වැද සෞන්දර්යාත්මක සහ යථාර්ථවාදී පෙරහන්කඩකින් එය පෙරා බැලීමකි.
සිනමාමය ප්‍රස්තුතය චලනමය ආකෘතියක් තුළ පෙළගස්වද්දී බිඳෙන සුළු ධාරාවක් ඔස්සේ රූප රාමුවෙන් රාමුවට වරෙක අධි ස්වභාවික දිශානතීන් තුළ සුපර්ණා ගමන් නොකළා නම් යෙහෙකැයි සිතේ.
සුපර්ණා ප්‍රබන්ධමය මායාවත් අතීත යථාර්ථයත් අතර දෝලනය වෙමින් දිගහැරෙන සිනමා නිර්මාණයකි. දකුණුලක ඈත ගම්මානයක සිදුවන සිදුවීම් පෙළක් මෙම සිනමා නිර්මාණයට වස්තු මූල වී ඇත.
විදේශිකයන් විසින් පවත්වාගෙන යන පාරිසරික පර්යේෂණ ආයතනයක් විසින් එම ගම්මානයේ ජීවමය හදවත බඳු වූ වැවට වෛරසයක් මුදාහැරීමට දරන ප්‍රයත්නයත්, එය වළක්වාලීමට රවීන්, ඉන්ද්‍රජිත් සහ සුපර්ණා දරන ප්‍රයත්නයත් අතර සැරිසරමින් ගෙත්තම්ව ඇති මෙම සිනමා කාව්‍යයෙන් භීම නැමැති ග්‍රහලෝකය පිළිබඳවද කතා කරයි. සුපර්ණාගේ සම්භවය භීම නැමැති ග්‍රහලෝකයේ වැසියකුගේ පීතෘත්වය හා සබැඳෙන බවත් ඒ රහස හෙළි කරන අමුත්තකු හා බැඳෙනා කතාන්දරයත් සුපර්ණා තුළින් තවදුරටත් චිත්‍රණය වේ.
ඓතිහාසික සාක්ෂීන් විසින් ගෙනහැර දක්වන ලාංකික ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද තවමත් අප අවබෝධාත්මක ඥානයකින් පූර්ණව කියවා ඇත්දැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුව තිබේ.
අපේ ඉතිහාසය තුළ සැඟවී පවතින මහා ආඛ්‍යානයත් අපරදිගට රැගෙන ගොස් ඒවා යළි සකස් කර, ප්‍රතිචක්‍රීයකරණයකට ලක් කර ඔවුන්ගේ නිෂ්පාදනයන් උරුමයන් ලෙස හුවාදක්වමින් නැවත අප වෙතටම එවනු ලබන අපේකම අපි වන්දනීය ලෙස බටහිර දායාදයන් ලෙස පිළිගැනීමේ ඛේදවාචකය තුළ අප දැන හෝ නොදැන මරා දමන්නේ අප සතුව තිබූ අසංඛ්‍යාත්මක වටිනාකමකින් හෙබි අපේම උරුමයයි. ඉතිහාසයයි.
ඒ උරුමය ඉතිහාසය නැවත සිහිපත් කරන්නට සුපර්ණා අපට බල කරයි.
සුපර්ණා චිත්‍රපටය නරඹන විට ආචාර්ය වන්දනා ශිවාගේ STOLEN HARVEST (සොරාගත් අස්වැන්න) කෘතිය මගේ මතකයට නැගෙයි. එම කෘතිය තුළ මොහොතින් මොහොත අප සොබාදහම මඟහැර විනාශය පිළිගත් සහ එයට නතුවෙමින් එය නඩත්තු කරන ආකාරය, දුර්දාන්ත බලවේග විසින් අප මෙහෙයවන ආකාරය පිළිබඳ කතා කරයි.
සුපර්ණා පිළිබඳව සුජීව සහ දුලීකා මෙලෙස සටහනක් තබයි.
යුග යුග ගණනාවක් පුරා කොතරම් සතුරැ විපත් මේ භූමියට පැමිණියද, සොබාදහමට පෙම් බඳින මිනිසුන් නැවත නැවතත් උපදිමින් මේ භූමිය ආරක්ෂා කරති. ඇතැම්විට දෘශ්‍යමානව ද, අදෘශ්‍යමානව ද, මේ භූමිය තුළ ඔවුන් වාසය කරති.
මෙකී තුන් ඈඳුණු කතාවන් සමඟ සුපර්ණා දිගහැරේ. සුපර්ණා මෙන්ම රජ්ජුරුවෝ නමින් හඳුන්වන්නා වූ අපූරු මිනිසා ද යුග යුග ගණනාවක් මේ භූමියේ උපත ලැබූ සොබාදහම රකින මිනිසුන්ගේ වර්තමාන පුනරුත්පත්තියයි.
රජ්ජුරුවන් ගම්වැසියෝ පිස්සකු ලෙස හඳුන්වති. ඔහුගේ රංගනය නාටකීය ස්වරෑපයකින් අප ඉදිරියේ දිස්වේ. ප්‍රථමයෙන් ඔහු වැව අසල මනු රජුන් ලෙස අප ඉදිරියේ රඟයි. සොරකමින්, දූෂණයෙන් මිනිසුන් පෙළෙන කල ඒ සියල්ලෙන් භූමිය මුදවාගැනීමට සියලු දෙනාගේ සම්මතයෙන් මනු රජුන් තෝරාපත් කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ. අද මේ භූමිය සොරකමින්, දූෂණයෙන් පෙළෙන මුත් මනු වැනි රජකු නොමැති බැවින් මනු ලෙසින් පෙනී සිටිමින් තරුණයන්ට නායකත්වය දෙන්නේ රජ්ජුරැවෝය.
දෙවැන්නෙන්, රජ්ජුරුවෝ වෙරළේ මුළුමහත් ලෝකය පුරා පවතින යුද්ධය පිළිබඳ රඟයි. මිනිසුන් ජාති, ආගම් දේශසීමා මෙන්ම ශරීර වර්ණය ද මුල්කොට ගනිමින් බලය කේන්ද්‍ර කොටගෙන එකිනෙකා මරාගනිමින් සිටිති. එකකුගේ මරණය තවකකුගේ ජයග්‍රහණය වී ඇත. ඒ සඳහා ඔවුහු ඔල්වරසන් දෙති. ප්‍රීති ඝෝෂා කරති. නටති. ගයති. කැවුම් කිරිබත් (අපට ආවේණිකව) කති. අවසානයේ වන්දි භට්ටයන් රජුන්ට ප්‍රශස්ති ගී ගයති. බලයෙන් උමතුව රජුන් නිරුවතින් නුවර පුරා දුවති. මෙයයි ලෝවැසි යුද්ධයේ ස්වභාවය.
සොබාදහමට කොතකුක් විපත්තීන් සිදුවුවත් මුළු මහත් ලෝවැසියෝම සත්‍ය දැක දැක නොදැක්කා සේ තම භූමිකාවන් රඟන ආකාරය රජ්ජුරුවන්ගේ චරිතය තුළින් දිගහැරේ. ඔහු සිනමාපටයේ කිසිදු චරිතයක් සමඟ ඍජුව ගනුදෙනු නොකළත්, සියල්ලන් දෙස බලා සිටියි. එහෙත් සොබාදහමට වින කරන යමක් වේ නම් ඔහු ඉන් සොබාදහම ගලවා ගනියි. එය ඔහුගේ රාජකාරියයි.
ආත්ම ස්නේහයකින් සොබාදහමට මහපොළොවට ආදරය කළ රතු ඉන්දියානු නායක සියැටල් මේ මොහොතේ මා අබිමුවය.
එහෙයින් සොබාදහමට අපමණක් ආදරය කළ රතු ඉන්දියානු නායක සියැටෙල් 1854 වසරේදී කළ දිගු කතාවක පරිච්ඡේද කිහිපයක් මම නැවත කියවමි.
නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.
මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තකම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තුහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණ රැගෙන යන්නේය.
සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහපොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලේ කොටසක් වන්නෙමු. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද තණබිම්වල තෙතමනය ද පෝනියාගේත්, මිනිසාගේත් සිරුරේ උණුසුම ද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.
ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබාගත මැනවි. පොකුණුවල පැහැදිලි ජල තලාවේ පතිතවන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬ වන්නේය.
ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරු ද පාරු ද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගා අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ට ද එය කියා දෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.
ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම උදාවන හිරු ඉදිරියේ පලා යන්නා සේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම අපට පූජනීය භූමි වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැප වූ භූමියකි.
එහෙත් උලමා ගයන හුදෙකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ද ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක් වෙමි. එනිසා මට මේවා තේරැම්ගත නොහැකිය.
සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ මද මුදු පවනේ පාවි අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සතුන්, තුරුලිය, මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදාගතිමු. ඔබගේ මිනිස්සු තමන් ආශ්වාස, ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළඟේ සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන් මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ද ආපහු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ද ප්‍රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණබිම් හරහා යන මද සුළඟේ පහස විඳීමට ඔබටවත් හැකිවනු නොඅනුමානය.
භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසා ගැනීමකි. අප දන්නා පරිදි මේ මහපොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහපොළොවට අයත්ය. පවුලේ සියලු දෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.
ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කර ගන්නා උපද්‍රවයකි.
අන්තිම රතු මිනිසාත් මේ පොළෝතලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වළාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලාව වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඒ සියල්ල මේ මහපොළොවට දැක්වූ අනන්ත ස්නේහයයි.
ඒ සියැටල්ය.
සුපර්ණා අතීතය කියවන්නට අඬගසමින් සොබාදහමට ආදරයෙන් බැඳී තුරුලු වන්නට අපට නැවතත් ඔව් නැවත නැවතත් අඬගසයි. මහපොළොවේ හදගැස්ම ඉකියකට පරිවර්තනය කරන්නට දඟලන උන්මන්තකයන්ට එරෙහිව පෙළගැසෙන්නට අඬගසයි. ආදරය මහා පරාර්ථයක් දේවත්වයක් බෝධිසත්ව ගුණයක් බව සොබාදහම ඇසුරින් කියන්නට යත්න දරයි. එනයින් සුපර්ණා සංකල්පමය වශයෙන් ඉඳුරාම සුන්දරය.පොහොසත්ය. පූර්ණය.
-සංජු-