ජනවාරි 5 ඉරිදා දිවයින සංග්‍රහය –
බුද්ධදාස ගලප්පත්ති
ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂෙත්‍රය තුළ , ඔහුට ම අනන්‍ය වූ අධ්‍යක්ෂණ ශෛලියක් ගොඩ නගා සිටින නිර්මාණකරුවෙකි ලලිත් රත්නායක. ඔහු තම කුලුඳුල් සිනමා ව්‍යායාමය ඔස්සේ ද චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලලිත් රත්නායක භූමිකාව සටහන් කරමින් , විෂම භාග නම් වූ අපූරු සිනමා කෘතිය ප්‍රේක්ෂකයනට ප්‍රදානය කොට සිටී. අධ්‍යක්ෂවරයකුගේ ප්‍රථම නිර්මාණය ලෙස විශිෂ්ට ප්‍රතිභාවක් විශද කෙරෙන නිර්මාණයක් ලෙස විවාදයකින් තොරව විෂම භාග හඳුන්වනු කැමැත්තෙමි. එපමණකුදු නොව , මේ සිනමා කාර්යය සිංහල සිනමාවට ද නව්‍ය වූ අත්දැකීමක් රැගත් ප්‍රේක්ෂක හදවත හා බුද්ධිය ආමන්ත්‍රණය කළ නිර්මාණයක් ලෙස හැඳින්වීමට පසුබට නොවන්නෙමි.ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේ දී ප්‍රේක්ෂකයන් හුරු පුරුදු වී සිටින ලලිත් රත්නායක අධ්‍යක්ෂණවේදය , ඔහුගේ නිර්මාණ ගලා යාමට සලස්වන රිද්මය චිත්‍රපට අධ්‍යක්ෂණයට අවශ්‍ය ලෙස ගලපා ගැනීමට නම්‍යශීලී වී ඇති මුත්, ඔහුට ඉන් සම්පූර්ණයෙන් ම මිදෙන්නට හැකි වූවා ද කියාත් සිතෙන ලක්ෂණ විෂම භාග තුළ දක්නට ලැබුණු බව සටහන් කරමි.
විෂම භාග චිත්‍රපටය නරඹන කල්හි එහි තේමාවට සමීප තේමාවක් රැගත් තාල චිත්‍රපටය ද ප්‍රේක්ෂක මතකයට නැගුණේ යැයි සිතමි.එහෙත් ලලිත් රත්නායකගේ විෂම භාග තිර රචනය ඊට හාත්පසින් ම වෙනස්, මැනැවින් ගොතන ලද සංවිධිත, අර්ථපූර්ණ, සිනමා භාෂාව සිත්හි තබාගෙන රචිත අපූරු සිනමා ගෙත්තමකි.තිර රචක අධ්‍යක්ෂවරයාට තම නිර්මාණය සඳහා විෂය වී ඇති අත්දැකීම අධ්‍යාපනය, පලිබෝධනාශක හා කෘෂිකර්මාන්තය අතර ඇති විෂම සම්බන්ධය, පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වී මිය යන රජරට පළාතේ ජීවිත, පලිබෝධනාශක භාවිතයේ අයහපත් , අනිටු ඵල විපාක හා වකුගඩු රෝගය නිසා අසරණ වන දරිද්‍රතාව සමග පොරබදන පවුලක ජීවන අන්දරය ආදී පුළුල් පරාසයක සමාජ තතු විවරණය වන්නකි. ගුරු කේන්ද්‍රීය හා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාව හා එහි අනිටු ඵල ලෙස ජීවිතයේ ශෝකීය අත්දැකීමකට මුහුණ දෙන හා ඉන් අගතියට පත් ගැමි දරුවකුගේ ඛෙදවාචකය පිළිබඳ පුළුල් සමාජ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට සමත් වූ අධ්‍යක්ෂවරයකු විෂම භාග චිත්‍රපටයෙන් හමු වේ. සොහොයුරන් දෙදෙනකු ජීවත් වන පවුලක, රුවන්සිරි වැඩිමල් සොයුරා ය.කමලසිරි බාලයා ය. වැඩිමහල් සොයුරා සංගීතයට ලැදි, ඊට සහජ හැකියාවක් සතු දරුවකු ලෙස නිරූපිතය. බාලයා ගේ දක්ෂතා ඇත්තේ ගණිතය වැනි අනෙක් විෂය සඳහා ය.සංගීතයට නැඹුරු සීයාගේ ජාන රුවන්සිරිට ඇති බව පවසන්නේ ඔවුන්ගේ මව හීන් මැණිකාම ය.
ගණිතයට දස්කම් පෑමට විශේෂ දැනුමක්, සහජ හැකියාවක් අවශ්‍ය වන්නා සේ ම සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයයක දස්කම් පෑමට උපතින් ලද වාසනා ගුණයක් මෙන් ම රුචියක් ද අවශ්‍ය වේ.මේ දෙ අංශයෙහි ම එක්වර දස්කම් පාන්නෝ විරලයහ. විෂම භාග දෙසොහොයුරන්ගේ හැකියාවන් එකිනෙකට වෙනස් ය. සංගීතයට හපන් ගණිතය විෂයයෙහි දුර්වල රුවන්සිරි ගණිත ගුරුවරයාගේ කර්කශ, දැඩි දෝෂ දර්ශනයට,දඬුවමට පාත්‍ර වන්නේ එබැවිනි.ඔවුන් ජීවත්වන්නේ දුෂ්කර , වියළි පරිසරයක ය. පිරිසිදු ජලය ගෙන ඒමට ගම මැද දොළ වෙත දුෂ්කර පා ගමනකට පුරුදු වී සිටින්නේ වැඩිමහල් සොයුරා ය. ඔහු ගහ කොළට, ගලන දොළට ආදරේ යැයි හැඟේ. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයයකට ඇළුම් කරන ඔහු එකී දුෂ්කර ගමනින් ආස්වාදයක් ලබන්නේ ද කියාත් ප්‍රේක්ෂකයනට සිතේ.
පියා වකුගඩු රෝගයෙන් මිය ගොසිනි. හීන්මැණිකා දරු දෙදෙනා මෙන් ම තම පියා ද රැක බලා ගැනීමෙහි දුෂ්කර අභියෝගයට මුහුණ දෙන්නී,දර මිටි බැඳ නගරයට යවා විකුණා ලබන සොච්චම් ආදායමිනි.දරුවන්ගේ පාසල් ගමන ද වැඩිහිටි පියා රැක බලා ගැනීම ද ඈ හිස මත පැවරුණු වගකීම් ය.ගෙදර දොර වැඩට ඈ ට උදව් පදව් කරන බණ්ඩාර නම් පුද්ගලයා පිළිබඳ හීන්මැණිකාගේ පියා තුළ ඇත්තේ නොරිස්සුමකි.බණ්ඩාර ගෙදර බින්න බහීවී ය වැනි සැකයක් ඔහු තුළ වේ යැයි හැඟේ. එහෙත් ඈ පියාට දෙන පිළිතුර සාධාරණ එකක් බව ප්‍රේක්ෂකයන්ට වැටහේ. දරිද්‍රතාව ඔවුන්ගේ ජීවිත වටා දැවැටී වෙළී ඇති සෙයකි.
ගණිතයෙහි දුර්වල රුවන්සිරි තම බාල සොහොයුරාගෙන් මෙන් ම වැඩිහිටි සීයාගෙන් ද උදව් උපකාර පතයි.සීයා තම බුලත් හෙප්පුවෙන් පුවක් ගෙඩියක් ගෙන එය කපා භාග, කාල, වශයෙන් තුන් කාල හා එකක් දක්වා බෙදෙන’යුරු කියා දෙන මුත්, සාමාන්‍ය භාග, තුල්‍ය භාග, විෂම භාග හෝ මහා පොදු සාධක වැනි ගැඹුරු ගණිත ක්‍රම කියා දීමට තරම් උගත්කමක් ඔහුට නොවේ. ගණිත ගැටළුවට විසඳුම් සොයන්නට අපොහොසත් වුව හොත් පහ ශ්‍රේණියෙන් හතර ශ්‍රේණියට පහළ දැමීමේ ගණිත ගුරුවරයාගේ තර්ජනය හමුවේ රුවන්සිරි අසරණ වන මොහොතයි.කළු ලෑල්ල වෙතට යන්නට ගණිත ගුරුතුමා දෙන සුදු හුනු කෑල්ල අතැතිව, නොසෙල්වෙන ඔහුගේ මුවට නැගෙන , සීයා ගෙදර දී ගායනා කරනු ඇසුණු, හද කම්පාවට පත් කෙරෙන කවි ගායනයකින් ගණිත ගුරුතුමා නිහඬ වෙයි.ප්‍රේක්ෂාගාරයේ නෙත් මොහොතකට කඳුළින් තෙත් වෙයි .ගුරුවරයා ගණිත පාඩම අත් හැර පරිමාව හා ධාරිතාව විෂයට මාරු වෙයි.චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩි කාලයක් නිහඬව සිටින රුවන්සිරිගේ කවි ගායනය අසන , එහි අරුත වටහා ගන්නා, ප්‍රේක්ෂක නෙතක් කඳුළින් නොපිරුණා නම් එය ආශ්චර්යයක් වන්නේ යැයි සිතුණි. එය එතරම් සංවේදී කූටප්‍රාප්තියකි.
ආරම්භයේ සිට චිත්‍රපටය ගලා යන්නේ මන්දගාමීව ය.ගණිත ගුරුවරයා තම පංති කාමරය තුළ පාඩම කියා දෙන මොහොතෙහි, රුවන්සිරිගේ නිහඬ බව ඉදිරියේ කෝපාවිෂ්ට වන මොහොතෙහි හෝ සංගීත ගුරුතුමිය ගේ පංතියේ දී හා ගණිත ගුරුතුමා අතර වන සංවාද කිහිපය, හීන්මැණිකා ගේ නිවසෙහි දරුවන්, මව ඇගේ පියා, බණ්ඩාර අතර වරින් වර සිදුවන සංවාද හරුණු කල චිත්‍රපටයේ ප්‍රමුඛස්ථානය හිමි වන්නේ සිනමා භාෂාව සේ සැලකෙන රූප රචනාවට ය.සිනමාත්මක හා චිත්‍රපටමය මාධ්‍යය මැනවින් වටහා ගත් ප්‍රතිභාන්විත අධ්‍යක්ෂවරයකු එහි දී අපට හමු වේ. රුවන්සිරිගේ රංගනයෙහි විශිෂ්ටත්වය වන්නේ ඉතාම සීමිත වාච්‍යාභිනයකින් යුතුව, ආංගික හා සාත්විකාභිනය මගින් අතිශය සියුම් හා සංකීර්ණ මනෝභාව පළ කිරීමයි.වචනයෙන් පිළිතුරු නොදෙන එහෙත් ඔහුගේ මුහුණේ ලියැවෙන පිළිතුරු අප්‍රමාණය. බිය,තැතිගැන්ම, අසරණ බව විශිෂ්ට රංගනවේදියෙකුගේ රංගනයක් සිහිපත් කරවයි.සීමිත සංවාද භාවිතය හා මන්දගාමී ගලා යාම තිර රචනයෙන් හා විෂම භාග චරිත ,අවස්ථා හා සිදුවීම් විසින් ම අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූ රීතිය යැයි සිතේ. ඉන් චිත්‍රපටයේ මුඛ්‍ය තේමාවට හෝ සන්දර්භයට කිසිදු හානියක් සිදු වී ඇතැයි නොසිතේ.
විෂම භාගය කුමක්දැයි චිත්‍රපටයේ කතා නායක රුවන්සිරිට නොවැටහුණ ද චිත්‍රපටය මගින් අධ්‍යක්ෂ ලලිත් රත්නායකට පවසන්නට ඇවැසි වූ ජීවිතයේ සම්පූර්ණ භාගය පිළිබඳ වෘතාන්තය ප්‍රේක්ෂකයනට වැටහේ.හීන්මැණිකා හෝ ඇගේ පියාගේ චරිත මගින් ඔහු ජීවිතය දකින්නට උත්සාහ ගනී. දෙ අංශයක දස්කම් පානා දරුවන් හා ඔවුනට අකුරු කියා දෙන ගණිත ගුරුතුමා, සංගීත ගුරුතුමී,ඔස්සේ වර්තමාන අධ්‍යාපන රටාවේ යල් පැන ගිය පසුගාමී ස්වභාව මැනැවින් මතු කොට පෙන්වයි.පරිසරයේ,ස්වභාව ධර්මයේ ගහැටවලින් බැට කන, පීඩා විඳින ධෛර්යවන්ත මවක හා දරුවන් අතර සම්බන්ධය,වැඩිහිටි පියාගේ චරිතය, නිර්මාණාත්මක ප්‍රතිනිර්මාණයෙහි ලා ලලිත් රත්නායක ගේ අධ්‍යක්ෂණ භූමිකාවෙහි මැදිහත්වීම ඉතා ප්‍රබලය.දුෂ්කර ගමක චිත්‍රය,දරිද්‍රතාවෙන් පෙළෙමින් ජීවත්වීමට අරගල කරන පවුලක යථා ස්වරූපය, කැමරා අධ්‍යක්ෂකගේ නිර්මාණශීලී රූප රාමු හා සංකේත මගින් දැක ගන්නට අධ්‍යක්ෂවරයා සමත්ව සිටී. වේලෙන්නට වැලක එල්ලා තිබූ සුදු කමීස දෙකකින් එකක්, සුළඟට ගසාගෙන යන රූපය, පියා මිය යන මොහොතෙහි බිම පෙරළී තිබුණු ඔහුගේ බුලත් තට්ටුව,අපූරු සංකේතාර්ථ නැංවූ රූප වේ.අවස්ථාවොචිත සංස්කරණයෙන් චරිත හා සිද්ධි අතර සහසම්බන්ධය නොබිඳෙන අතර අවශ්‍ය තන්හි ම පමණක් භාවිත සංගීත නිර්මාණය මගින් චිත්‍රපටයෙන් මතුකිරීමට අපේක්ෂිත කටුකත්වය, පාළුව, කර්කශ බව,දරිද්‍රතාව, අපූරුවට නිර්මාණය කිරීමට චාමර රුවන්තිලකගේ නාද රටා සමත් වේ. පාලිත පෙරේරාගේ නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂණය, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණය, ද ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාගේ අවසාන ඉලක්කයට ළංවීමට මාහැඟි දායකත්වයක් පළ කොට ඇති ආනුශංගික අංශ වේ.
ආරම්භයේ දී කළු චරිතයක් ලෙස ගොඩ නැංවෙන හේමචන්ද්‍ර ගණිත ගුරුතුමා ගේ හද කම්පාවට පත්වන මොහොතෙහි ඔහුගේ රංහනයෙන් ජැක්සන් ඇන්තනි ප්‍රකට කොට සිටින්නේ විවිධ චරිත ස්වභාව ප්‍රතීයමාන කිරීමෙහි ලා ඔහු සතු විශිෂ්ට රංගන ප්‍රතිභාවයි. හීන්මැණිකා ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද, ඇගේ පියා ලෙස හේමසිරි ලියනගේ ද හීන්මැණිකාට උදව් පදව් කරමින් ජීවත්වන බණ්ඩාර ලෙස ප්‍රියන්ත සිරිකුමාර ද සංගීත ගුරුතුමිය වූ තිලක්ෂිණී රත්නායක ද විෂම භාග සම්පූර්ණ භාග කිරීමෙහි ලා ප්‍රබල දායකත්වයක් දැක්වූවෝ වෙත්.එහෙත් නිසැක වශයෙන් ම චිත්‍රපටයේ ආත්මය ලෙස හැඟෙන රංගන දායකත්වයට හිමි ගෞරව දිනා ගන්නේ පංකජ හා පන්සිළු වික්‍රමරත්න දරුවන් ය.ඔවුනත’රින් ද රුවන්සිරිගේ චරිතයෙහි ජීවත්වන පන්සිළු වික්‍රමරත්න වෙසෙසිය. විෂම භාග සිනමා මාධ්‍යය හඳුනා ගත් අධ්‍යක්ෂවරයකුගේ අපූර්ව කාර්යයක් බවට පත් වන්නේ ඉහත සඳහන් සියලු අංශයන් හි පරිපූර්ණත්වය නිසාය.
විෂම භාග වැනි චිත්‍රපට වඩ වඩාත් සිංහල සිනමාවට අවශ්‍ය යුගයක අපි ජීවත් වන්නෙමු. ප්‍රේක්ෂක රස වින්දනයට නිගා නොකරන,ඔවුනගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන ජීවිත හා සමාජ පරිඥානයෙන් යුත් මහරු සිනමා කාර්යයක සාර්ථක ප්‍රථිඵල නෙළා ගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යක්ෂ ලලිත් රත්නායක මෙන් ම ශ්‍රද්ධා චිත්‍රපට වෙනුවෙන් ඒ සඳහා අර්ථපතිත්වයෙන් සම්මාදම් වූ අළුදෙණියේ සුබෝධ හිමියන් ද සිනමා රසික ප්‍රජාවගේ කෘතඥතාවට, පැසසුමට ලක්වන්නෝ වෙති.