60 Plus “සුළඟ අප රැගෙන යාවි”
(ශෝන් මැක්ස්මස් ගේ සටහන)
ලංකාවේ සිංහල සිනමාපටයක් දින 60ක් පසු කරනවා කියන්නේ ඇත්තෙන්ම ප්‍රාතිහාර්‍යකි. සාමාන්‍යයෙන් ප්‍රතිහාර්‍යන් කරන්නේ දෙවි වරුන්ය. විශේෂයෙන් ලාංකේය සිනමාවට නම් ප්‍රතිහාර්‍යන් කළ හැක්කේ දෙවියන්ටම පමණි. එක දිගට පැය ගණන් ලයිට් කපන රටක, බෝම්බ ගසා ඇඳිරි නීතිය දමන රටක, කඩ ,හා දේපල කඩා ගිනි තබා ඇඳිරි නීතිය වැටෙන රටක, එම කාල වකවානුව තුලම, සිංහල චිත්‍රපටයක් දවස් 60ක් පසුකොට තිරගත වීම අයිෂර්‍යමත් නොවේද?විශේෂයෙන් ළමුන් හා සතෙකුව කේන්ද්‍රීය කරගත් චිත්‍රපටයක්?
එහෙත් සත්‍ය එයයි. මේ හැම බාධකයක්ම ,හැම අභියෝගයක්ම සුළඟට මැඩලන්නට හැකිවිය. සුළඟ අපව දින 60කටත් එහා රැගෙන යයි. නුවන් ජයතිලක ,මායා නවගත්තේගම සමඟ එක්ව “සුළඟ…. තුළින් අපව හුරතල් ට්‍රැක් එකක් හරහා ගෙන ගියහ. තවමත් ගෙන යයි.
නුවන් චිත්‍රපටය තුල දුක් කම්කටොලු වැඩිහිටියන්ට බාරදී, හුරතල් කම දරුවන්ට ඉතිරි කරයි. එහෙත් දරුවන්ද හුරතල් කම තමා ළඟ රඳවා ගෙන අර වැඩිහිටින්ගේ දුක් කම්කටොළු වලින් අඩක් තම කර මත තබා ගනියි. ප්‍රේක්ෂකයන් ද අර කම්කටොළු චිත්‍රපටයේ වැඩි හිටියන්ට භාරදී, දරුවන් සමඟ අර හුරතල් ට්‍රැක් එකේ යයි.
අනුවේදීනත්වය අභිබවා, චමත්කාරයත්, චමත්කාරය අභිබවා අනුවේදීනත්වයත් නුවන්ගේ සුළඟ අප රැගෙන යාවි තුළින් අප දකියි.
මෙය දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද අනිවාරයෙන් නැරඹිය යුතුමය.
‘සුළඟ අප රැගෙන යාවි’ හෙවත් ලාංකේය සිනමාවේ දියාරු කතාවලට දර්ශනීය රූප රාමු යෙදීම
(සහන් කසීර වික්‍රමසිංහගේ සටහන)
අධ්‍යක්ෂ නුවන් ජයතිලක ය. කුළුඳුල් සිනමා නිර්මාණය ය. මනරම් දර්ශන තල භාවිතයෙහි ඉව ඇත්තෙකි. ස්වභාවික සෞන්දර්යය උපරිමයෙන් භාවිතයේ සමතෙකි. නිර්මාණෝචිතව කැමරා කෝණ තෝරාගැනීමේ හපනෙකි. ආලෝකකරණය පිළිබඳ වෙනස් කියවීමක් ඇත්තෙකි.
නමුත් සිනමාපටය පුරා දිවෙන කතා වස්තුව විශ්වසනීයත්වයේ නාම මාත්‍රයක් හඳුනන්නේ නැත. චිත්‍රපටය මුල සිට ම අප දකින්නේ නිවසේ එදිනෙදා වැඩට උදව් උපකාර කරන; වැඩි කලබලයකින් තොර ; කාරුණික දරුවන් දෙදෙනෙකි. නමුත් අධ්‍යක්ෂවරයා දරුවන්ගේ මවට ඒ බව පවසා නැත. ඇය දවස මුළුල්ලේ කරන්නේ දරුවන් ට බැණ වැදීමය. මේ දරුවන් නොව මරුවන් යැයි පලි ගැසීම ය. ඇපල් නොව කැවිය යුත්තේ වස ටිකක් යැයි සාප කිරිම ය. නිර්මාණකරුවා රිදී තිරය මත ඉදිරිපත් කරන දරුවන් දෙදෙනාගේ බාහිර පෙනුම සහ ඔවුන්ගේ හැසිරීමට කිසිදු සාධනීය සම්බන්ධතාවක් නොමැති අර්ථකථනයක් සහිතව බුරා පනින මවගේ චරිතය සමස්ත චිත්‍රපටයට ම බාධාවක් ගෙන දේ.
පවුලේ ආදායම සරි කර දෙන සුද්දා නම් වසු පැටවා අසල්වාසී හේනකට පනින දර්ශනයේ ගෙවිලිය වන ලංකා බණ්ඩාරනායක සහ ගොවියා දක්වන ප්‍රතිචාරය දුටු විට මෙතරම් වෙලා චිත්‍රණය කළ මනරම් දර්ශන තල සඳහා කළ කැපවීම අපතේ යැයි සිතිණ. අධි රංගනයක් ලෙස හැඳින්විය හැකි එකම අවස්ථාව එය නොවන අතර අයිරාංගනී සේරසිංහ සහ ප්‍රියංකර රත්නායක හැරෙන්නට අනෙක් පළපුරුදු නළු නිළියන් වන සුරංගා රණවක ; සම්පත් ජයවීර සහ සුජීව ප්‍රියලාල් වැන්නන් ද තම තමන්ගේ සුපුරුදු චරිතය ම රඟපානවා විනා අධ්‍යක්ෂවරයෙක්ගේ අවශ්‍යතාවක් හෝ පාලනයක් මත රඟපානවා යැයි සිතීම අපහසු ය. මේ චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් වන දරුවන් දෙදෙනාගේ මව ගේ චරිතයට පණ පොවන සුරංගා රණවක ගේ දුර්වල රංගනය සමස්ත නිර්මාණය පුරා ඉස්මතු වේ. දිගින් දිගටම දෙබස් කියමින් පෙනී සිටින සුරංගා ට වඩා සුද්දා ලෙස රඟ පෑ වසු පැටවා වුවද ඉදිරියෙන් සිටින බව නිර්දය ලෙස පවසන්නට වන්නේ සුරංගා වැනි නිළියකගෙන් මෙවැනි අපරික්ෂාකාරී රංගනයක් අපේක්ෂා කළ නොහැකි බැවිනි.
විවේක කාලය වන තුරුම කතා පුවතක් සොයමින් වරා මලක් සේ පාව ගිය “සුළඟ අප රැගෙන යාවි” යළිත් පණ ලබන්නේ කුඩා දරුවා එළවළු ලොරියක නැගී කොළඹ ආ පසු ය. කොල්ලුපිටිය ක්‍රෙස්කැට් පසු කරන ලොරිය ඉන් අනතුරුව කොටුව කාර්ගීල්ස් ගොඩනැගිල්ල පසු කර යන විට අප සිතන්නේ එය වරාය හරහා මැනිං මාර්කට්ටුව ට යන බව ය. නමුත් සංස්කාරක වරයා අපට වඩා නිර්මාණශීලි ය. ළමයෙක් රැගත් ලොරිය ක්‍රෙස්කැට් වලින් පසුව කාර්ගීල්ස් පසු කර ගොස් නැවත ගාලු මුවදොර ඇති කින්ග්ස්බරි වට රවුමත් ඉන් අනතුරුව පිටකොටුවත් නැවතත් කොටුව කාර්ගීල්ස් ගොඩනැගිල්ලට වම් පස ඇති කොමර්ෂල් බැංකු ගොඩනැගිල්ලත් පසු කර මැනිං මාර්කට්ටුව වෙත යයි.
චිත්‍රපටයට පමා වී ආ වසන්තය උදා වන්නේ එතැනිනි. සේමිනි හෙන්නායක ලෙස පසු නාමාවලියේ නම සඳහන් පැල්පත්වාසී දැරිය පිවිසීමත් සමග එතෙක් පැවති උදාසීන බව දුරුව යන්නේ ය. ඇය ගැහැණු ලාස්‍ය අමතක කර ඇවිදින්නී ය. කොළඹ ජනාකීර්ණ නගර අතර තරමක් කුදු ව දුවන්නී ය. වීදියේ සැරිසරන දැරියකගේ භාව හැසිරීම් ස්වභාවික ලෙස ඉදිරිපත් කරන්නී ය. කිළිටි කොට කලිසමටත් ; කිළිටි ගවුමටත් කැපෙන අයුරින් සිරුර මෙහෙයවන්නී ය. වරක් සුමිත්‍රා පීරිස් විසින් අයිරාංගනී සේරසිංහ පිළිබඳ මෙසේ පැවසුවා ය. “අයිරාංගනී මුළු ඇඟෙන් ම රඟපාන කෙනෙක්” සුමිත්‍රා එදා පැවසූ දෙයට අංශු මාත්‍රයක් හෝ සමාන දෙයක් සෙමිනි නම් ළමා නිළියගෙන් උකහාගන්නටත් අප වෙත ඉදිරිපත් කරන්නටත් සමත් වූ නිසා ම අධ්‍යක්ෂවරයාට හිස නමා ආචාර කරමි. කොළඹ අහස යට සිට වැටෙන වල්ගා තරුවක් දැක ඇස් පියාගෙන “විශ් එකක් කරන” දර්ශනය මුල් භාගයේ අපගේ ඇස් පිනවූ ගහ කොළ; දිය ඇළිමෙන් ම සුන්දර බව ද කිව යුතුම ය.
ඒ හැරෙන්නට එක විනාඩියට සුද්දා සොයා ගැනීමටත් ; ගෙජ්ජිය පැළඳවීමටත් අධ්‍යක්ෂවරයාට තිබූ තදියම කුමක්දැයි තවම කල්පනා කරමි.