මේ දූපත තුළ මෙතෙක් බිහි වී ඇති චිත්‍රපට හා අලුතින් එන ඕනෑම චිත්‍රපටයක් සංසන්දනය වීම වළක්වා ගැනීම මට අපහසුය එබැවින් රාත්‍රියේ නින්දට පවා රෝස පවුඩර් තවරා නින්දට යන නිළියන් සහ කටපාඩමින් දෙබස් කියවනා නළුවන්ව දැක හෙම්බත් වූ රටක සමාධි සහ බිමල් අපූරුවට ඔවුන්ගේ චරිත වලට සාධාරණයක් ඉටු කර තිබුණු බව සිතමි.
ආරම්භක දර්ශනයේ සිටම, ආයාසයකින් තොරව ගලා යන චිත්‍රපටය කුමක්දෝ නොසන්සුන් හැඟීම් ගොන්නක් මා තුළ ඇති කරනු ලැබීය. චිත්‍රපටයේ අවසානය තෙක්ම ඒ නොසන්සුන්භාවය මා තුළ තිබීම සත්තකින්ම අපහසුවක් විය. අත්‍යාවශ්‍ය දෙබස් පමණක් භාවිතා වී තිබූ මෙහි හදවතට වඩාත් සමීප ගුණය වන්නේ කෘතිමව නිර්මාණය කෙරූ යමක් ගෘහජීවිතයේ හමුනොවීම යැයි මම සිතමි. රාත්‍රී නින්දට අඳිනා ඇඳුම් වල සිට, නින්ද අතර හුවමාරු වන හැඟීම් වල ඝණත්වය පවා සිනමාහලේ අසුන් ගෙන සිටින්නන්ට දැනෙන සුළුය.
සමාධිගේ රංගනය අතිශයින් ආකර්ශනීයය! සාර්ථකය! සත්තකින්ම ඇය හා සමඟ කෝපය ජනිත කරවන සුළුය! “මොන ජරා ගෑණියෙක්ද මේකි” යැයි අපට සිතෙන සුළුය. ඒ හා සමානවම ඒ හැඟීමම කණපිට හරවන්නට තරම් භූපති නලින් දක්ෂය! කපටිය! ඔහු ඔහුට උවමනා තැනට අපව ප්ලේස් කිරීමට තරම් ශූරය! භූපති සාර්ථකය!
බිමල් ජයකොඩි මගේ ප්‍රියතම නළුවන් අතර කෙනෙකි. දැන් “මට” නම් ඔහු අවිවාදයෙන්ම ප්‍රතිභාපූර්ණ රංගවේදියෙකි. සාධාරණ ස්වාමිපුරුෂයාගේ සිට “මොන පිස්සු යකෙක්ද මේ යකෝ” තෙක් හැඟීම් විචල්‍යතාවයකට ලක් කිරීමේ ලා බිමල් සාර්ථක වී ඇත. සුජානි මේනකා වෙනුවට සත්තකින්ම සමාධිව විවාහකරගත් බිමල්ව දකින තරමටම බිමල් ස්වාභාවිකය. හැඟීම් අවුස්සන සුළුය! ඒ අතරම හැඟීම් බිම දා පාගන තරමටම නපුරුය! අශිෂ්ටය! අසංවේදිය! අසරණය! ව්‍යාකූලය! භූපතී සාර්ථකය!
චිත්‍රපටය පුරාම මගේ ඇස් අහකට ගත නොහැකි දර්ශනයක් වූයේ බිමල් සරම පමණක් ඇඳ පෙනී සිටින අවස්ථාවන් ය. බිමල්ගේ ඉදිරියට නෙරා ආ උදරය, නොකපන ලද රැවුල චිත්‍රපටය පුරාවටම ජනිත කෙරූ අපිළිවෙල ස්වාභාවය මට සිහිපත් කරේ “බඳිනකන් තමා ඔක්කොම ඊටපස්සේ ඔක්කොම ඉවරයි” යනුවෙන් නිතර අපට ඇහෙන උදාන වාක්‍යය. එහි ඊට වඩා වෙනස් යමක් ඉතිරිව තිබූ බව මම සිතමි.
බිමල්ගේ නිවසට අඳින ඇඳුම්, සමාධිගේ නිවසට සැරසෙන ඇඳුම් සහ දෙදෙනාම නිවසින් පිටතට යන විට සැරසෙනා ආකාරය වෙනම කතාන්දරයක් මා මනසේ සිත්තම් කොට ඇත. ඇඟට හිර, කර පමණට වඩා කැපුණු ඇඳුම් අඳිනා ගැහැණුන්ව වඩා වේගයෙන් විනිශ්චයට ලක් වේ. කාලයක් මගේ අම්මා ඒ වර්ගයේ ඇඳුම් නොඇඳීම පිළිබඳව මම ආඩම්බර වූ අයුරු චිත්‍රපටය පුරාම මට සිහිපත් කෙරීය. ඒ හා සමඟම පෙර නියම කරන ලද නියමයන් අනුව ජීවිතය ගෙවන බොහෝ ගැහැණුන්ව මට සිහිපත්වීම වළක්වාලිය නොහැකි විය.
මා තුළ ඇති වූ නොසන්සුන්භාවයට මරු පහරක් එල්ල වූ දර්ශනයක් වූයේ බිමල් අත්දිග කමිසයකින් සැරසී රැකියාවට යන දර්ශනයය. එය වෙනකෙකුට නම් සැලකිය යුතු තරම් වැදගත්කමක් සත්තකින්ම ජනිත නොකරන නමුත් ” අත් දිග ශර්ට් වල අත් නවලා ඇන්ඳම ඕන පිරිමියෙක්ව මාර ලස්සනට පේනවා/ මාර සෙක්සි” යන අදහස මනසේ නොව මුළු සර්වාංගයම පුරාම දරන්නියක් ලෙසට බිමල්ව එලෙස දුටු විටද ප්‍රථමයෙන් ” ශාහ් බිමල්” ලෙසටද ඉන්පසු ” බිමල් ශර්ට් අත නැව්වම මට එයා මාර සෙක්සි වෙන්නයි, මාර හැඬ ඇඟක් නැති, ටයර් පැනපු, බඩක් තියෙන සමාධි ඇඟට තද බ්ලවුස් ඇන්ඳම ශික් වෙන්නයි මේ මොන දෙපිටකාට්ටුකමක්ද මේ” යන ප්‍රශ්නය මා තුළම හට ගත් අතර පිටතට එය නොපෙන්වා හිඳීමේ වෑයම සාර්ථක කරගන්නට මට වෙහෙසෙන්නට විය.
චිත්‍රපටය පුරා යොදාගෙන තිබූ සෑම චරිතයක්ම ඉතා සකසුරුවමින් තමන් ලද අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට උත්සහ ගෙන තිබිණි. මීයක් වටා කැරකෙන ස්වාභාවයක් පෙන්වූ ත්‍රීවිල් රියදුරා චිත්‍රපටය මත ඇති කෙරූ බලපෑම සුළුපටු නැත. සියළු දොරවල් සැමට විවෘත නැත!
ජගත් මනුවර්ණ සුපුරුදු කලාපයෙන් බැහැරව රංගනයේ යෙදෙන නමුත් හුරුබුහුටිභාවයක් චිත්‍රපටයට රැගෙන එයි. ගිණි තියන්නට නියමිත යැයි මා සිතූ කෙනෙකු සුළඟක්ව හමා යයි!
දෙමාපියන් ලෙස රංගනයේ යෙදෙන හතරදෙනා තම දක්ෂතාවයන් කිසිසේත්ම පහත හෙලා නොමැති අතර කලබලය, කණගාටුව, පසුතැවීම, සංයමය සහ පුපුරා නොයා රැඳී සිටීමට ගන්නා ආයාසය යන සියල්ල මනාව තිරය මතට රැගෙනවිත් තිබේ! සමස්තයක් ලෙස සියල්ලෝම සාර්ථක උත්සහයක උරුමකරුවෝය!
භූපති දක්ෂ බව මා සිතන්නේ සමහර ස්ථාන වල එකම එක් දෙබසකින් චූදිතයාව නිර්දෝෂියෙකු කරන්නට ඔහු සතුව තිබූ හැකියාව නිසාය. භූපති කට්ටයෙකි! මනස හා සමඟ ඔහු සෙල්ලමේ යෙදෙයි! අප බොහෝ දෙනෙකු කිසිදිනෙක එළිපිට කියන්නට අදිමදි කරනා සමහර කාරණා හෙවත් සභ්‍යත්වයට එහා මායිමින් පිහිටා ඇති බව අප සිතනා නිසා අප හඬනගා නොකියන සිතුවිලි අප තුළද ඉතිරි බව භූපති හෙමිහිට කියාදෙයි! සමහර විටෙක ගල් ඔසවාගෙන පව්කාර ස්ත්‍රීය සොයා දිව ගියද ඒ යන අතර මඟ පවා අපිද වරදේ බැඳිය හැකි පෘතග්ජනයෝ හෙවත් අතිශයින් සාමාන්‍ය මිනිසුන් බව භූපති මතක් කර දී ඇත!
අතිශයින් තදබල උවමනාවකින් තම මුළුතැන්ගෙය පිළිවෙලට පිරිසිදුවට තබා ගන්නා බිරිඳද, ඒ බිරිඳම නින්දට යන අපිළිවෙල නිදනකාමරයද මට නම් සංකේතය! ඔබට කෙසේ වේදැයි මම නොදනිමි!
සමහර කාරණා සඳහා අතිශයින් සංවේදී වන අපට සමහර කාරණා නොදැනීම යා හැකිය. එය එහෙමය. චින්තන ධර්මදාස දැකල පුරුදු කෙනෙක් පිළිබඳව මෙලෙස ලිවීය. “බල්ලෙක් මැරිලා පටන් ගන්න ප්‍රේමය කැඩුනම මිනිහෙක් මැරිලවත් ගොඩදාන්න බැරි වෙනවා”.
මට එය හැඟෙන්නේ මෙහෙමය. “බල්ලෙක් මැරුණම හූ තියලා අඬන මිනිහෙක්ට/ ගෑණියෙක්ට පවා එකම ඇඳේ එහා පැත්තෙ ඉන්න එකා/ එකී අඬද්දි නොපෙනී යන්න පුළුවන්”. දැකලා පුරුදු කෙනෙක් පුරාවටම මෙකී සරල තේමාව නැවත නැවතත් පාර්ශවයන් දෙකකින් මට මුණගැසිනි!
ජීවිතය එහෙමය! එකම සයනය තුළ පවා ඉතා දිගු දුරක් තිබෙන්නට හැකිය! නොඇසී යා හැකිය! ඒ නොඇසී යාම තුළත්, වැළපීම තුලත් අපි සියල්ලන්ටම එක්තරා මොහොතකදි අපවම මුණ ගැසෙනු ඇත.
ඒ නිසාම දැකල පුරුදු ස්වාභාවයක් ඇතිවීම වැළැක්විය නොහැක!
-ෂෙනූ පෙරේරා-