ශෝන් මැක්ස්මස් දිසානායක ‘සුළඟ අප රැඟෙන යාවි’ ට මල් මිටක් තබයි.
සිනමාව තුල අප මායාවකට හසුවේ. තවත් විටෙක යථාර්ථය හා ගැටෙයි. නොඑසේ නම් ඒ දෙකම සමඟ බද්ද වේ. නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැඟෙන යාවී” තුළ අප මායාවත් යථාර්ථයත් අතර ගැටීමකට ලක්විය.
නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැඟෙන යාවි’ හරිම “හුරතල්ය”. ඔහු ඔහුගේ වස්තුබීජය, අර හුරතල් ‘ට්‍රැක්’ එක තුළ රැගෙන ගියේ මනා සංයමයකින්ය. ජිවිතයේ කටුක බව දරුවන්ගේ වැඩිමහලුන්ට භාර දුන් නුවන්,දරුවන්ට අර හුරතල් බව ඉතුරු කළේය.
දුෂ්කර වටපිටාවක කටුක නිවෙස් පරිසරයක වුවද මේ දරුවන් දෙදෙනා ජීවිතය වින්දේය. ඔවුන් ඔවුන්ට ඇස ගැටෙන හැම දෙයකින්ම සතුටු වන්නට විය. ගෙම්බෙක් නිවසට පැමිණීමේදිද ඔවුන් ගෙම්බාව පොල්කට්ටකින් වසා එතැන වින්දනයක් ලැබීය.
ඔවුන් සැලුනේ තම පවුලේ ජීවිකාවට සම්පූර්ණයෙන්ම උර දෙන සුද්දා නම් ගවයා නැතිවූ දිනදීය. එහෙත් තැවි තැවී ඔවුන් සිටියේ නැත. ඔවුනගේ ගවයා සොයා යන වීර චාරිකාව ආරම්භ කළේය.
මුලින්ම අප සිතුවේ වැඩිමහල් සොහොයුරු මේ ‘ඇඩ්වෙන්චර්’ එක කරාවි කියාය. වැඩිමහලාට උවමනා වූයේ බාලයාව නවතා තමා පමණක් මෙම චාරිකාව යෑමටය. බාලයා එක පයින් ඩෙගා නැටුවේ ඔහුටත් යා යුතුම බවය. කෙලෙසකවත් බාලයාව රැගෙන නොයමියි වැඩිමහලා තීරණය කෙරුවද අහම්බෙන් හෝ ‘චාන්ස්’ එක ලැබුනේ බාලයාටය. ඒ නවතා තිබූ එළවළු ලොරියක නැගීමෙනි. ඒ ලොරිය ගියේ කොළඹටය.
නුවන්ගේ ‘ඇඩ්වෙන්චර්’ එක පටන් ගත්තේ එතැන් සිටය. ‘සුළඟ අප රැඟෙන යාවි’ තුළින් නුවන් අපව අපූරු තල දෙකකට රැගෙන යයි. දුෂ්කර වූ කැලෑබද ගම්මාන ජීවිතයත්, කොළඹ ළමයින්ගේ කටුක වූ නන්නත්තාර ජීවිතයත්ය. නමුත් ඒ දෙක තුලින් ඔහු අපට හුරතල් සුන්දරත්වයකුත් මතු කළේය. කොළඹ ආ බාලයාව අලුතින් එකතු වූ නන්නත්තාර ළමා යහළුවන් මුහුදු වැල්ලෙන් වහන දර්ශනය ඉන් එකකි.
කැමරාව, කැමරා කෝණ ,ස්වභාවික දර්ශණ පසුතල හා වර්ණ සංයෝජනය ඉතාම ඉහළ මට්ටමක තිබූ අතර, චිත්‍රාල් සෝමපාලගේ සංගීතයේ නැවුම් බවක් තිබුණි. හිමාෂ ගේ ගීතය මිහිරිය. සමස්තයක් ගත් කළ සියල්ලෝම තම චරිත ගැන අවබෝධාත්මක වී තිබුණි. අයියා මලෝ ලෙස රඟපෑ ළමා නළුවන් දෙදෙනා මුළු චිත්‍රපටයටම ජීවය දුනි.
නුවන් ජයතිලකගේ කුළුදුල් වෑයම වූ “සුළඟ අප රැඟෙන යාවී” ළමයි පමණක් නොව වැඩිහිටියෝද නැරඹිය යුතුම චිත්‍රපටයකි.
-ශෝන් මැක්ස්මස් දිසානායකගේ –
චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පැවැත්වුනේ පසුගිය 15 වෙනිදාය. මාර්තු 22 සිකුරාදා සිට MPI හා LFD මණ්ඩල සිනමාහල් වල සුළඟ අප රැඟෙන යාවී තිරගත වේ.