මෙවර Oscars මරුද?

සිනමා ලෝකයේ විචිත්‍රවත් රාත්‍රිය වන ඇකඩමි හෙවත් ඔස්කා සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 24 වන ඉරිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Dolby රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කාණ්ඩ 24ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරුණු මෙවර ඔස්කා සම්මාන උළෙලට ප්‍රධාන නිවේදන කර්තව්‍යයේ යෙදීම සඳහා කිසිවෙක් යොදා තිබුණේ නෑ. නිවේදකයෙක් හෝ නිවේදිකාවකගෙන් තොරව ඔස්කා සම්මාන උළෙලක් මීට පෙර පවත්වා ඇත්තේ දශක තුනකට ඉහතදී, එනම් 1989 වර්ශයේදී යි.

වෙනදාට වඩා මෙවර ඔස්කා සම්මාන උළෙලට වැඩි අවධානයක් යොමු වූයේ ලොව පුරා අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපට කිහිපයක්ම සම්මාන සඳහා නිර්දේශ වීම හේතුවෙන්. ඒ අතරින් Bohemian Rhapsody, A Star Is Born, Black Panther සම්මාන රැසකට නිර්දේශ වී තිබුණා.

බොහෝ දෙනා සිතූ පරිදි වසරේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ Bohemian Rhapsody චිත්‍රපටයේ Freddie Mercury ගේ චරිතයට පණ පෙවූ රමී මලෙක්. ඔහු වසරේ හොඳම නළුවාට හිමි Golden Globe සම්මානයත් මේ චිත්‍රපටය වෙනුවෙන්ම දිනාගත්තා. විනිශ්චය පිළිබඳව දෙවරක් නොවිමසන තරමට Freddie Mercury සංගීතඥයාගේ සැබෑ ජීවන ලක්ෂණයන් තමන්ට ආරෝපණය කරගනිමින් අති ප්‍රබල රංගනයක යෙදුණු රමී මලෙක් සඳහා අනිවාර්යයෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානය ලබා දිය යුතුයි යන මතය සම්මාන උළෙලට පෙර සිටම බොහෝ පිරිසක් ප්‍රකාශ කළා.

වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ඔලිවියා කෝල්මන්. ඒ The Favourite චිත්‍රපටය වෙනුවෙන්. හොඳම නිළිය වීම සඳහා රූපයෙන් අගතැන්පත් වීම අනවශ්‍ය සාධකයක් කියන දේ ඔලිවියා ලෝකයට හඬ ගා ප්‍රකාශ කරනවා. වසරේ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනාගත්තේ අල්ෆොන්සෝ කුවාරොන්. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ Roma චිත්‍රපටය වෙනුවෙන්. එය වසරේ හොඳම චිත්‍රපට අතරටත් නිර්දේශ වී තිබුණා. විශේෂත්වය වන්නේ Roma චිත්‍රපටය විදෙස් චිත්‍රපටයක් වුවත් හොඳම චිත්‍රපට අතරේ තිබීමයි. Roma වෙනුවෙන් වසරේ හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා.

වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කා සම්මානය දිනාගත්තේ Green Book චිත්‍රපටය. එහි රඟපෑ මහෙර්ශාලා අලි වසරේ හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගත්තා. ඔහුගේ පළමු ඔස්කා සම්මානය 2017 වසරේදී දිනාගන්නේත් හොඳම සහය නළුවා කාණ්ඩයෙන්. ඒ එම වසරේ හොඳම චිත්‍රපටය වුණු Moonlight වෙනුවෙන්. ඒ අනුව ඔස්කා සම්මානයක් දිනූ පළමු ඉස්ලාම් භක්තික නළුවා ලෙස මහෙර්ශාලා අලි 2017 දී ඉතිහාසගත වුණා. හොඳම සහය නිළිය ලෙස සම්මාන ලැබුවේ If Beale Street Could Talk චිත්‍රපටයේ Sharon Rivers ලෙස රඟපෑ රෙජීනා කිං.

ඇකඩමි සම්මාන ඉතිහාසයේ ප්‍රථම වතාවට සුපිරිවීර ශානරයේ චිත්‍රපටයක් හොඳම චිත්‍රපට ගොන්නට තේරී පත්වීම මෙවර කැපී පෙනුණු විශේෂත්වයක්. ඒ Marvel Studios විසින් නිර්මාණය කළ Black Panther චිත්‍රපටය. මේ පිළිබඳව විවිධ මත පළ වුණා. කලක පටන් ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් වන වර්ණභේදවාදයට අනුබල දීම යන්නෙන් මිදීම සඳහා අප්‍රිකානු සම්භවයක් සහිත නළු නිළියන් රඟන සිනමා නිර්මාණ වලට තැන දීමෙන් පෙර වැරදි කමා කරගැනීමේ උත්සාහයක නිරත වීමක් ද යන්න ඒ ආකාරයෙන් නැඟුණු ප්‍රබල ප්‍රශ්නයක්. 2008 වසරේදී ක්‍රිස්ටොෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කළ The Dark Knight චිත්‍රපටය ලෝකයේ මෙතෙක් බිහිවුණු ඉහළම ගණයේ සුපිරිවීර චිත්‍රපටයක් වුවත් එය හොඳම චිත්‍රපටයට හිමි සම්මාන සඳහා නිර්දේශ නොවීම සහ Marvel සමාගමෙන්ම පසුගිය වසරේ නිෂ්පාදනය කළ Avengers: Infinity War, Black Panther ට වඩා ඉතා ඉහළ මට්ටමක තිබුණු චිත්‍රපටයක් වුණත් හොඳම චිත්‍රපටය කාණ්ඩයට ඇතුළත් නොවීම වැනි හේතූන් ද බලපෑවා.

මෙවර හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේ Sony සමාගම විසින් නිෂ්පාදනය කළ Spider-Man: Into The Spider-Verse චිත්‍රපටයයි. 2006 සිට මේ දක්වා අඛණ්ඩව හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය සඳහා වන ඔස්කා සම්මානය දිනාගනු ලැබුවේ Walt Disney ආයතතය විසින්. මෙවර නිර්දේශ පහ අතරේ Incredibles 2 සහ Ralph Breaks The Internet යන Disney චිත්‍රපට දෙකක්ම තිබියදීත් වසර 13ක වාර්තාවක් බිඳ හෙළා Sony සමාගමේ Spider-Man චිත්‍රපටය සම්මානිත වීමත් කැපී පෙනුණු සිද්ධියක්.

ගායිකාවක් ලෙස ලෝකය පුරා ජනප්‍රියත්වයක් උසුලන ලේඩි ගාගා තම ප්‍රථම ඔස්කා සම්මානය මෙවර දිනාගත්තා. ඒ ඇය ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද දායක වුණු A Star Is Born චිත්‍රපටයේ Shallow ගීතය වසරේ හොඳම චිත්‍රපට ගීතය ලෙස සම්මානිත වීමත් සමඟයි. ඇයට වසරේ හොඳම නිළියට හිමි ඔස්කා සම්මානය සඳහා නිර්දේශයක් පවා හිමිවුණා. සිනමා රසිකයන්ගේ හද සසල කළ A Star Is Born චිත්‍රපට කතා පුවත 1939 වසරේ සිට කිහිප වරක්ම නිර්මාණය වූවක්. Aashiqui 2 ලෙස අපට සමීප වූවේ එහි ඉන්දියානු හැඩතල සහිත නිර්මාණයයි. මෙවර සම්මාන උළෙලේ දී මෙම නව A Star Is Born චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන නළු බ්‍රැඩ්ලි කූපර් සමඟ ලේඩි ගාගා ඉදිරිපත් කළ Shallow ගීතයේ සජීවී ගායනය සියල්ලන් වසඟ කළ මෙන්ම ඔස්කා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ සුන්දර මොහොතක් ලෙස ප්‍රශංසාවට ලක්වුණා.

Lady Gaga ‘Shallow’ ගයන අපූරුව. සහයට බ්‍රැඩ්ලි.

හොඳම චිත්‍රපටය
Green Book

හොඳම අධ්‍යක්ෂ
අල්ෆොන්සෝ කුවාරොන්, Roma

හොඳම නිළිය
ඔලිවියා කෝල්මන්, The Favourite

හොඳම නළුවා
රමී මලෙක්, Bohemian Rhapsody

හොඳම සහය නිළිය
රෙජීනා කිං, If Beale Street Could Talk

හොඳම සහය නළුවා
මහෙර්ශාලා අලි, Green Book

හොඳම ස්වීය (original) සිනමා ගීතය
“Shallow”, A Star Is Born

හොඳම ස්වීය තිරරචනය
Green Book

හොඳම අනුවර්තිත තිරරචනය
BlacKkKlansman

හොඳම ස්වීය පසුබිම් සංගීත සංයෝජනය
Black Panther

හොඳම විදෙස් චිත්‍රපටය
Roma

හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය
Spider-Man: Into the Spider-Verse

හොඳම වාර්තා චිත්‍රපටය
Free Solo

හොඳම වේශ නිරූපණය
Vice

හොඳම ඇඳුම් නිර්මාණය
Black Panther

හොඳම කලා අධ්‍යක්ෂණය
Black Panther

හොඳම කැමරාකරණය
Roma

හොඳම ශබ්ද සංස්කරණය
Bohemian Rhapsody

හොඳම ශබ්ද සංයෝජනය
Bohemian Rhapsody

හොඳම සිනමා සංස්කරණය
Bohemian Rhapsody

හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය
Bao

හොඳම කෙටි වාර්තා චිත්‍රපටය
Period. End of Sentence.

හොඳම දෘශ්‍ය ප්‍රයෝග
First Man

හොඳම කෙටි චිත්‍රපටය
Skin

Mahershala Ali සහය නලුවා සම්මානය අතැතිව
‘ලස්සන මොකටද ඔස්කාර්ස් ගන්න.’ – ඔලිවියා කෝල්මන්

-ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *