විසිල් 5යි බල්ටි 2යි. 2018 දි අපිට මොකද වුනේ?

2018 වර්ෂය තුල තිරගත කල සිංහල චිත්‍රපට එක මිටට ගත් කළ, ලාංකේය සිනමාව මත ක්ෂේත්‍රය හඳුනා නොගත් අය පිනුම් ගසා ඇති බව පැහැදිලිවම කිව හැක. හ⁣රයක් නොමැතිව, දැක්මක් නොමැතිව, දැනුමක් නොමැතිව කළ නිර්මාණ ලාංකේය සිනමාව තව තවත් ආපස්සට ගෙන ගිය, එලෙසම ප්‍රේක්ෂකයන් ලාංකේය සිනමාවෙන් තව තවත් දුරස් වූ වසරක් ලෙස 2018 වර්ෂය හදුන්වා දිය හැකිය.

ජනවාරි 19 වෙනිදා 2018 වසරේ පළමුවන චිත්‍රපටය වූයේ ප්‍රගීත් රත්නායකගේ “ආදරෙයි මං” ය. එය කිසිදු ආදරයක් නැතිව ආ වේගෙන්ම ගැලවී ගියේය. ඉන්පසු එක දිගට ආ චිත්‍රපට වැලක්ම වැලේ වැල් නැතිවම ගැලවුනි. අනුරුද්ධ ජයසිංහ ගේ “එක දවසක අපි”, උදයකාන්ත වර්ණසූරියගේ ” මධුර චාරිකා”, බෙනට් රත්නායකගේ “නෙලා”, බී.සිරිතුංගගේ “පෝරිසාදයා”, අර්ජුන කමලනාත් ගේ “කුසල්”, කල්‍යාණ චන්ද්‍රසේකරගේ “සේයා”, සංජීව සංකල්ප දසනායකගේ “යම රජ සිරි”, සුමිත්‍රා පීරීස්ගේ “වෛෂ්ණාවී”, සුමිත් රෝහණ තිත්තවැල්ලගේ “පුංචි අන්දරේ”, ඒවාට අයත් විය.

මේ කිසිඳු චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තේ නැත. වැලඳ ගන්නට තරම් දෙයක් මෙහී තිබුනේ නැත. “මධුර චාරිකා” වැනි චිත්‍රපටවල යම් සාධනීය ලක්ෂණ තිබුණද හේමසිරි ලියනගේ වැනි නළුවන් ප්‍රධාන චරිත වලට යොදා චිත්‍රපටයක් ගොඩ දා ගත හැකිදැයි කල්පනා කල යුතු ප්‍රශ්නයකි. ඔහු ඉතාමත් දක්ෂ නළුවෙකු සේම, අද්වීතිය ලෙස එම චරිතයේ රඟපෑවද, චිත්‍රපටයක් තනිව ඇදගෙන යාමේ හැකියාව නම් ඔහුට නැත.

අප්‍රේල් 05 වනදා සිට තිරගත කිරීම ආරම්භ කළ ,ඉන්දීය නළු නිළියන් යොදවා සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “බිම්බාදේවී හෙවත් යශෝධරා” චිත්‍රපටය නම් පැල් බැඳ ගෙන දිව්වේ, තවමත් මේ සිරිලක තුල බෞද්ධාගම හා ජාතක කතා ‘මාර්කට් “කිරීමට හැකි නිසාය. හැට,හැත්තෑ දශකය තුල තිබූ තිරයේ පෙන්වන වෙහෙර විහාර වලට දෝත් මුදුන් තබා ‘සාදු’ කියා වදින ප්‍රේක්ෂක ප්‍රජාවක් තවම ඉතිරිව සිටින නිසා සුනිල් ආරියරත්නලාට කොහොමෙන් කොහොමෙන් හරි ගොඩ යෑමට පුළුවන.

ගෞතම බුදුන් හෝ යශෝධරා කී සැනින්ම බෞද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වෙන රසික සැදැහැ සැදැහැවතියන් චිත්‍රපට ශාලාවලට ඇතුල්වෙන්නේ පන්සල් වලට ඇතුල් වෙනවා වගේය. සුනිල් ආරියරත්නලා මැජික් පෙන්වන්නේ ඔය ට්‍රික්ස් අල්ලාගෙනය.

“යශෝධරා” ගොඩ ගියද, ඉන්පසු ආ හැම චිත්‍රපටයටම වැටුනේ රිවර්ස් ගියර් එකමය. ‘පත්මාවත්’ , ‘බාහුබාලි’ මෙන්ම රජිනි කාන්ත් , සූර්යා, අජිත්, විජය වැනි අයගේ ඉන්දීය චිත්‍රපට මෙන්ම ‘බ්ලැක් පැන්තර්’, ‘ ජුරාසික් වර්ලඩ්’ ‘ ස්පයිඩර් මෑන් රිටර්න්’ ‘ඇවෙන්ජර්’ වැනි චිත්‍රපට ලාංකේය සිනමා ශාලා ගණනාවකම දෙදරවමින් , විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයකින් අධිසාර්ථකව පෙන්වන කල , සිංහල චිත්‍රපටවලට ඒවා හා ගැටෙන්නට නොහැකිව දවසකින් දෙකින් ගැලවෙන විට සිතෙන්නේ තවමත් ලාංකේය සිනමාව තුල පිනුම් ගසන්නේ මෝඩයෝද කියාය.

ඉන්පසු තිරගතවුණු උදයකාන්ත වර්ණසූ⁣රියගේ “වස්සානේ සඳ”, ලලිත් ප්‍රේමරත්නගේ “රයිගමයයි ගම්පලයයි”, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්”, ⁣රොහාන් පෙරේරාගේ “ගෝල්”, හා සුමිත් කුමාරගේ “ඇලඩින් හා පුදුම පහන” වැනි චිත්‍රපටද දියවී ගියේ වතුරට දැමූ අයිස් කැට මෙනි. සංස්කරණය කළ පිටපත දමා එය මුළින් නොදිවූ කළ සංස්කරණය නොකෙරූ ‘සෙක්ස්’ පිටපත තිරගත කල ‘දැවෙන විහඟුන්’ එවරද ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා නොගත්තේ ලංකාවේ ප්‍රේක්ෂකයන් ලංකාවේ ‘සෙක්ස්’ බැලීමට ඇති අකමැති කම නිසාදැයි විටෙක සිතේ.

ඉන්පසු තිරගත වූ ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝර සරප”, උපාලි ගම්ලත්ගේ “කළු හිම”, හර්ෂ උඩකන්දගේ “කොළඹ සන්නිය රිටර්න්ස්”, හා සුනේත් මාලිංග ලොකු හේවාගේ “නිදහසේ පියා” වැනි චිත්‍රපට අතුරෙන් ‘ඝර සරප’ සම්මිශ්‍ර ප්‍රතිචාරයක් ලැබීය. එය තරමක් ‘හයි ලයිට්’ වූ අතර “කළු හිම” නේපාලය ආශ්‍රිතව තැනූ හොඳ චිත්‍රපටයක් වුවද එය හරියට මාකට් කර ගැන්මට බැරි විය. විශේෂයෙන් ටෙලි නළුවන් ලෙස ප්‍රසිද්ධ වූ නිරෝෂන් විජේසිංහ, කාවින්ද සිල්වා වැනි නළුවන් ප්‍රධාන චරිත වලට යොදවා එය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ රූගත කලද, ලංකාවේ අය හරහා නම් මාකට් කිරීමට නොහැක.

චරිතාපදානයන් අර්ධ වාර්තා කරනයන් ඔස්සේ චිත්‍රපට කර ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන පල විපාකය සුනෙත් මාලිංග ‘නිදහසේ පියා” පෙන්වා විඳින්නට ඇත. ආයෙත් කිසිදු දිනයක ඔහු අර්ධ වාර්තාමය චිත්‍රපට නම් කරන එකක් නැත. ‘කොළඹ සන්නිය රිටර්න්ස් ‘ ගැන නම් ‘සොරිම’ කියා සිතේ.

“ධර්මයුද්ධය” තැනූවන් යලිත් ජැක්සන් ඇන්තනීව යොදවා “උදුම්බරා” නමින් ස්පෝර්ට් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට ගොස් ඇන ගත්තේ වගේ වගක් නොමැතිවය. අමීර් ඛාන්ගේ “දන්ගල්’ ශෛලියට යන්නට ගොස් “උදුම්බරා” ආපස්සට කැරකුනේ ජැක්සන්ගේ රංගන ප්‍රතිරූපයටද හානි කර ගෙනය. එහී අධ්‍යක්ෂණය කේ.එස්.චමන්ත්රාජ් නම් අධ්‍යක්ෂක වරයෙකුගෙනි.

2018 වසරේ අවසන් චිත්‍රපට 5 වූයේ, ලාල් ප්‍රියදේවගේ “යාළු මාළු යාළු”, චන්ද්‍රන් රත්නම් ගේ “මැතිව්”, නාලක විතානගේ ගේ “සරුංගල්”, සුනිල් ප්‍රේමරත්නගේ “ටවුමෙ ඉස්කෝලේ” හා ලාල් ප්‍රියදේව ගේ “අතුරු මිතුරු හරි අපූරු” ය. එම චිත්‍රපට අතුරින් ‘මැතිව් ‘ හැරෙන්නට අනිත් ඒවා නම් ‘සරුංගල්’ මය.

සිංහල චිත්‍රපට 26ක් 2018 වසර තුල තිරගත කලද, ඒ තුල ගැම්මකට ඇති චිත්‍රපට තිබුනාද?

“මධුර චාරිකා”, ” ඝර සරප” “දැවෙන විහඟුන්” “කළු හිම” ” මැතිව්” කලාත්මක ප්‍රවේශය තුල යාන්තම් ජාමෙ බේරා ගත් බව පමණක් කිව හැක්කේ. අවම වශයෙන් මෙම වසර තුල පවත්වන ‘සරසවිය’, ‘දෙරණ’ ‘හිරු’ ‘ සිග්නිස්’ සම්මාන උළෙලවල් වලටවත් යාන්තම් හෝ ගෑවෙන චිත්‍රපට තිබිය යුතුය. ඉහත කී චිත්‍රපට 5 යාන්තම් තොල කට තෙමා ගැන්මට ප්‍රමාණවත් වේ.

2017 වර්ෂයට සාපේක්ෂව බලන කල 2018 වර්ෂයේදී සිංහල සිනමාව තවත් ආපස්සට ගොස් ඇති අතර, තව තවත් ප්‍රේක්ෂකයන් ගෙන් දුරස් වී තිබුනි. වානිජ්‍යමය ලෙසත් චිත්‍රපට එකක් දෙකක් හැරෙන්නට අන් සියලු චිත්‍රපට අසාර්ථක විය.

මෙම බොහෝ චිත්‍රපට වානිජ්‍ය හා කලාත්මක වශයෙන් අසාර්ථක වූයේ ප්‍රේක්ෂක රුචිකත්වය හඳුනා නොගෙන ඔහේ ⁣මෝඩයන් මෙන් අධ්‍යක්ෂණය කෙරූ නිසාය. බහුතර චිත්‍රපට අඩු බජට් වලින් නිපදවීමද තවත් කරුණකි. ප්‍රේක්ෂකයන්ව තවත් රැවටීමට හැකි යයි ඔවුන් සිතයි. අවසානයේදී රැවටුනේ ඔවුන්මය. ‘හෝ ගාන පොකුණෙ’ අධි සාර්ථකත්වය නිසා එක දිගට ‘ඉස්කෝල’ චිත්‍රපට රැල්ලක් බිහිවිය. ළමා චිත්‍රපටද එයට සමගාමිව බිහිවෙන්නට විය. ලංකාවේ මෙතරම් ළමයි සංඛ්‍යාවක් සිටිනවාදැයි අසන තරමටම ළමා චිත්‍රපට බිහිවිය.

හැඟීමක් , දැනීමක් නැතිව ඇතැමුන් ඔ⁣හේ චිත්‍රපට කරති. මේවා නිර්මාණය කරණුයේ කාටදැයි නිර්මාණය කරන අයම දන්නේ නැත. අවම වශයෙන් ඔවුනගේ පවුලේ අයවත් ⁣මොවුන් නිර්මාණය කරන මෙම චිත්‍රපට නරඹනවා දැයි හරි ෂුවර් එකක් නැත.

මෙය මෙලෙසම ව්‍යාප්ත වුවහොත් ලාංකේය සිනමා කර්මාන්තය තනිකරම වෙන් වන්නේ මෝඩයන්ට පිනුම් ගැහීමට පමණි.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *