2022 දී ඉගිළෙන මාළුවෝ නැවතත්…..

2022 වසර ආරම්භ වෙද්දීම ඉඟිලෙන මාළුවෝ සිනමාපටය තිරගත වීමට සුදානම් වන පුවතක් දැන ගන්නට ලැබුණා. 2011 වසරේ පටන් ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සිනමාපටය මේ වසරේ මුල් කාර්තුවේ තිරගත කිරීමටයි මෙහි අධ්‍යක්ෂ  සංජීව පුෂ්පකුමාරගේ අදහස වී තිබෙන්නේ. ඒ නිසාම මේ කතා බහ නැවත සිනමා තිරයට එන ඉඟිලෙන මාළුවෝ ගැන ,

ඉඟිලෙන මාළුවෝ එහෙමත් නැත්නම් Flying Fish චිත්‍රපටය ඇත්තටම ලංකාවේ කවදාවත් සිනමා ශාලා වල ප්‍රදර්ශනය වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි ලංකාවේත් පුද්ගලයෝ 500ක් වත් නියම ඔර්ජිනල් Flying Fish චිත්‍රපටය දැකලා නැහැ. ඒ අයත් දැක්කේ විදෙස් සිනමා උළෙලවල් වලදී සහ මම ආරාධනා කරලා පෙන්වපු අවස්ථාවකදී විතරයි. බහුතරයක් දෙනා දැකලා තියෙන්නේ පහුගිය කාලයේ සිදුවුණු සිදුවීම් හරහා එළියට ආව රෆ් කට් එකක්. ඒ කියන්නේ සංස්කරණය වෙමින් පැවතුණු පිටපතක් තමයි එළියට ආවේ DVD කොපියක් විදියට.

මේ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් වන සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, මේ අය මගෙන් කරපු ඉල්ලීමක් තමයි පුළුවන් ඉක්මණින් මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න කියලා. මොකද ඒ අය නළු නිළියන් විදියට විශාල කැපකිරීමක් කළා මේ චිත්‍රපටයට. ඒ වගේම මේ චිත්‍රපටයේ කැමරාශිල්පියා වූ විශ්වජිත් කරුණාරත්නගේ සහ මගේ පලවෙනි චිත්‍රපටය.

ඉතින් මම හිතුවා බොහෝ අය ඉඟිලෙන මාළුවෝ එහෙමත් නැත්නම් Flying Fish චිත්‍රපටයේ රෆ් කට් එක විතරක් දැකලා තියෙන සමාජයට ඔර්ජිනල් ෆිල්ම් එක ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වෙද්දී සුදානම් කරගෙන යනවා.  

මේ වෙද්දී වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සාර්ථකව තිරගත වීමද මේ කාලයේ නැවත Flying Fish චිත්‍රපටය තිරයට ගෙන්න හිතුවේ කියන කාරණාවත් ඔබටත් මතුවන ප්‍රශ්නයක් විය හැකි නිසාම ඒ ගැනත් අපි කතා කළා.

මේ චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය විසින් අනුමත කරලා තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපටයක් විදියට. මේ චිත්‍රපටයේ ස්වභාවයම වැඩිහිටි තේමාක් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. එතැනදී මම සැලකිල්ලට ගන්නේ වැඩිහිටියන්ට පමණයි දර්ශන නෙවෙයි. ඉඟිලෙන මාළුවෝ කියන්නේ මගේ ආත්ම ප්‍රකාශන සිනමාවේ පළමු සංදිස්ථානය. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය ලාංකීය සමාජය දකින්න ඕනේ කියලා.

චිත්‍රපටයක් කරද්දී අධ්‍යක්ෂවරයෙක් විශාල කැපකිරීමක් කරනවා. ඔහු එක රූප රාමුවක් නිර්මාණය කරන්න විශාල කැපකිරීමක් කරනවා. ඒ රූප රාමු සකස් වෙන්නේ රාමුගත කිරීම, නළුනිළියන් ස්ථානගත කිරීම, ශබ්දය, වර්ණ සහ ආලෝකය යන මේ සියළු සංඝටක ඇතුළත්ව. එතකොට මම කැමතියි මම නිර්මාණය කරපු රූප රාමුවක ආශ්වාදය නියමාකාරයෙන් සිනමා ප්‍රේක්ෂකයින් අත්දකිනවා බලන්න.

සිනමාකරුවෙක් විදියට මම කරපු මගේ පළමු චිත්‍රපටය නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීම මගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම එහි වැඩ කරපු නළු නිළියන්ට සහ අනෙකුත් කාර්මිකශිල්පින්ට එය අත්‍යවශ්‍යයි. ඒ නිසා මගේ සැලකිල්ල තියෙන්නේ මම කරපු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මිසක්දැනට තියෙන තත්වයන් නෙවෙයි. අනික් එක තමා දැනට වසර කිහිපයක සිටම මේ චිත්‍රපටය මුදාහරින්න කටයුතු කරලා තිබුණේ. ඒ කියන්නේ 2019/2020/2021 කියන මේ අවුරුදු තුනේම. මොකද මට මේ චිත්‍රපටයට ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය විසින් අවසරය ලැබිලත් කිසියම් කාලයක් වෙනවා. 2019 මම ලංකාවේ හිටියේ නැහැ. පසුගිය වසර දෙක කොවිඩ් වසංගත තත්වය නිසා සිනමාශාලා වසා දාලා තිබුණේ. ඒ නිසා මම හිතුවා ඉතාම කෙටි කාලයකට හෝ මේ චිත්‍රපටය මේ වසරේ නිදහස් කරන්න මොකද ඊට පසු මගේ ආසු කියන චිත්‍රපටයත් මහජන ප්‍රදර්ශනය සඳහා සුදානම් වෙලා තියෙන නිසා.

2013 විතර මේ චිත්‍රපටයේ රෆ් කට් එක කිසියම් පිරිසක් විසින් යූ-ටියුබ් මාධ්‍යට මුදාහැරලා තිබුණා. ඒක දැන් අපි ඉවත් කරගෙන තියෙනවා. ඒ එක්කම DVD කොපියක් එළියේ තියෙනවා. ඒකත්  ඇත්තටම රෆ් කට් එකක්. එහි වර්ණ ශබ්ද කිසිවක් පැහැදිලි නැහැ. ඒ නිසා රෆ් කට් එක බලපු අයට පවා ඔර්ජිනල් සිනමාපටය නැරඹීම තුළින් වෙනස් වූ නැවුම් වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියන සහතිකය මම දෙනවා. එළියේ තියෙන චිත්‍රපටය බලලා ලබන ආශ්වාදය ව්‍යාජ ආශ්වාදයක්. නියම සිනමා ආශ්වාදය බලන්න පුළුවන් සිනමාශාලාවේදී.

මේ චිත්‍රපටය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම තියෙනවා. ඒ නිසා සිංහල බස හඬ නැගෙන තැන් වලදී දෙමළ බසින් සහ දෙමළ බස හඬනැගෙන තැන් වලදී සිංහල බසින් උපසිරැසි යොදලා තියෙනවා. ඊට අමතරව මුළු චිත්‍රපටයම ඉංග්‍රීසි බසින් උපසිරැසි ගන්වලා ප්‍රදර්ශනය සඳහා සුදානම් කරලා තියෙනවා. ඒ නිසා කලින් රෆ් කට් එක තුළින් සමාජ ගත නොවුණු සිනමාත්මක කතාවක් මේ චිතරපටය නැරඹීම තුළින් සමාජගත වනවා කියන විශ්වාසය මට තියෙනවා.

කුළුදුලේ නිර්මාණය වුණු ඉඟිලෙන මාළුවෝ චිත්‍රපටය 2011වසරේ වැඩිම සම්මාන උලෙළවල් නියෝජනය කල චිත්‍රපටය. කොහොම නමුත් චිත්‍රපටයට අත්වුණු ඉරණම සහ ඒ අත්දැකීම කොහොමද සංජිව කියන නිර්මාණකරුවාට බලපෑවේ

ඒ සිදුවුණු සිදුවීම නිසා මට විශාල අවාසනාවන්ත සිද්ධි ගණනාවකට මුහුණදෙන්න සිද්ධ වුණා. සමහර වෙලාවට අදට පවා සමහර අය දකින්නේ මාව දේශද්‍රෝහියෙක් විදියට. ඒ මොකද කිසියම් කිසියම් කෙනෙක් ගැන එන පලවෙනි හැඟීම ඉතාමත් වැදගත්. ඇත්තටම කියනවා නම් ඒ කාලයේ හිටපු ආරක්ෂක ලේකම්, අද වර්තමානයේ ඉන්න ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් සෘජුව මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒකට ඒ අයව පෙළබෙව්වේ ඒ කාලයේ ආණ්ඩුව වටේ හිටපු කේවට්ටයෝ තුන්දෙනෙක්. ඒ අයගේ පුද්ගලික උවමනාවක් නිසා තමා මේකට මැදිහත් වුණේ. නමුත් CID එක කරපු පරීක්ෂණයෙන් පස්සේ තහවුරු වුණා මේක LTTE එකට සම්බන්ධවත් ඩයස්පෝරාවෙන් සල්ලි අරන්වත් කරපු චිත්‍රපටයක් නෙවෙයි කියන එක. මට විතරක් නෙවෙයි මගේ පවුලේ උදවියට සහ මෙහි රඟපෑ සම්පත්, ගයේෂා, කෞශල්‍යා වැනි අයටත් විශාල හානියක් සිද්ධ වුණා. ඒ ගැන මට තියෙන්නේ වේදනාබර අත්දැකීමක්. නමුත් වැදගත් දේ තමයි සිනමාකරුවෙක් විදියට අපිට එරෙහි වී සිදු කරන කිසිම දෙයකින් පසුනොබැසිම. මම ඉගෙන ගත්ත පාඩම තමයි පසුබෑමකට ලක් නොවී තමන්ගේ ඉලක්කය කරා යන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමා ඒ චිත්‍රපටයෙන් පස්සේ දැවෙන විහඟුන්, ආසු සහ ‘Peacock Lament’ වැනි චිත්‍රපට ත්‍රිත්වයක් ම නිර්මාණය කළේ. නමුත් මේ සිද්ධිය නිසා මට විශාල අගතියක් සිද්ධ වුණා. විශාල මානසික පීඩනයකට ලක් වුණා. ඒ පීඩනය අදටත් තියෙනවා. මොකද සමහර අය හිතන්නේ අපි රටට ජාතියට විරුද්ධව වැඩකරන අය විදියට.

කවදද මේ ඉඟිලෙන මාළුවෝ එහෙමත් නැත්නම් Flying Fish චිත්‍රපටය තිරගත වෙන්නේ

දැනට ජංගි හොරා සහ කවුරුවත් දන්නේ නැහැ තිරගත වෙනවා සහ තව චිත්‍රපට එන්න තියෙනවා. මම හිතනවා ඒ අතරේ මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. බොහෝ අය මේ චිත්‍රපටය ගැන සිනමා විචාර පවා ලිව්වා රෆ් කට් එක බලලා. දැන් ඒ විචාර ලියපු අයටයි, චිත්‍රපටයට විරුද්ධව සහ එකඟව හිටපු හැමෝමට නිවැරදි චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබෙයි. ඒ නිසා මම වඩාත් කැමතියි මේ චිත්‍රපටය බලලා චිත්‍රපටය ගැන කතා කරනවට.

සටහන – අනුෂා රණසිංහ 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *