ලෝකය ජයගත් “Mutton”

හසන්ත දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද “Mutton” කෙටි චිත්‍රපටය තුර්කියේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් වන තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ 7 වන සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගෙන ඇත.

රටවල් 197 ක කෙටි චිත්‍රපට 7000කට අධික සංඛ්‍යාවක් අභිභවමින් මෙම ජයග්‍රහණය ලබා ඇති අතර ඒ සඳහා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් හසන්තට හිමි වී තිබුණි. තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන පීඨයේ ගරු පීඨාධිපතිතුමන් වන මහාචාර්ය යූසුෆ් අදිගුසාල් මහතා ඇතුළු සකර්යා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් අතින් ඔහු වෙත මෙම සම්මානය පිරිනැමුනි. ශ්‍රී ලාංකේය සිනමා කලාවට සහ කර්මාන්තයට ප්‍රමුඛතම දායකත්වය සපයන කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී ගෞරව උපාධි පාඨමාලාවේ විද්‍යාර්ථියකු වන හසන්ත දිසානායක මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ඔහුගේ විශ්වවිද්‍යාල අවසන් වසර නිෂ්පාදනය ලෙසිනි. මෙහි සුපරීක්ෂණය කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි විසිනි. මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලාංකේය සිනමාවට දායාද කළ විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය වන “ර්‍විය සිදුරු ” වෘත්තාන්ත චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද හසන්ත දිසානායකයි.

බි්‍රතාන්‍ය ලේඛක රෝල්ඩ් ඩාල්ගේ (Roald Dahl) ලෝකප්‍රසිද්ධ ”ලෑම්බ් ටූ ද ස්ලෝටර්” (Lamb to the Slaughter) කෙටි කතාව පාදක කරගනිමින් නවමු ආකෘතියකින් සහ අපූර්ව සිනමා භාෂාවකින් ඉදිරිපත් කර ඇති මෙම කෙටි චිත්‍රපටය මේ වනවිටත් භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ශිෂ්‍ය චිත්‍රපටය ලෙස සම්මාන දිනාගෙන ඇති අතර තවත් අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකම තරඟකාරී අවසන් වටයේ තරඟ කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියි.

හසන්ත ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර මීට පෙර 2016 වර්ෂයේ දී ද ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති කෙටි චිත්‍රපට උළෙලක දී ජනප්‍රියතම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට හසන්ත සමත් වී තිබේ.

මේ තරුණ සොදුරැ සිනමා නිර්මාණකරුවා සමග අප ඉදිරියේදී, චරණ හෙළවුඩ් සතියේ සිනමාවේ, සිනමා Talkies හරහා ඔහු ගැන සහ ඔහුගේ නිර්මාණ ගැන වැඩි දුර කතාබහක යෙදුමු.

හසන්ත දිසානායක ඔබට තව තවත් ඉදිරියේදී මෙවැනි නිර්මාණ කාර්යයන් හි යෙදීමට, හෙළවුඩ් නම ලෝකයට ගෙනයාමට ශක්තිය මෙන්ම ධෛර්‍ය ලැබේවා කියා හෙළවුඩ් අපි සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *