හුස්ම කියන්නේ ජිවිතේ මැජික් එක – අනෝජා වීරසිංහ 

“Breathe with Anoja” පියවරෙන් පියවර මේ තියෙන්නේ ජීවිතය ගැන –
මගේ වෑයම සුබවාදීව ජීවිතය දිනන්න පුරුදු කරන එක.

නම ඇසු පමණින් රුව දුටු පමණින් ඔබ දන්නා චරිතයක්. කාලාන්තරයක් තිස්සේ නිහඩ වූ චරිතයක් වුවද යසපාලිත නානායක්කරයන්ගේ මොණරතැන්න චිත්‍රපටයෙන් පටන් සිනමාවේ ඇය කළ කී දෑ අදටත් ප්‍රේක්ෂක රසික හදවත් තුළ ලැඟුම් ගෙන ඇත්තේ බොහොම ආදරණිය විදියට.

ඉතා චාම් දිවිපෙවතකට නැඹුරු වෙමින් ජීවිතය හොයා යන ගමනේ අපිට අනෝජා වීරසිංහ නාමය කලාවේ නිර්මාණ රංග කාර්ය තුලින් ඈත් වුවත් නව පරපුරට නිවැරදි දැක්මක් හඬ පුහුණුවක් ලබා දෙමින් සිදු කරන අභින යෝගාශ්‍රමය තුලින් සිදු කරන කර්තව්‍යය අමතක කරන්න බැහැ.

ඒ එක්කම මේ දිනවල අනෝජා වීරසිංහ චරිතය අපිට සමීප වෙන්නේ සමාජ මාධ්‍ය තුල ප්‍රභල මාධ්‍යක් වී තිබෙන යූ ටියුබ් මාධ්‍යය තුලින් ඒ “Breathe with Anoja” නම් යූ ටියුබ් චැනලය තුළින්.

මොකක් ද මෙහි අරමුණ, මේ තුළ පියවරෙන් පියවර සමාජ ගත කරන්නේ මොනවද? ඒ ගැන දැන ගන්නට අපි කෙටි පිළිසඳරක යෙදුණා සම්මානිත සිනමා රංගන වේදිනියක වන අනෝජා වීරසිංහ සමඟ. මේ “Breathe with Anoja” ගැන ඇය කියූ දේ

මගේ “Breathe with Anoja” පළමු කොටසින් පවා මේ ගැන දැනුවත් කළා. මම අවුරුදු 15ක 20ක වගේ සැහෙන කාලයක් සියල්ලෙන්ම ඉවත් වෙලා හිටියා. එතැනදී මම හිස බූ ගෑව. ඒ වෙද්දී මගේ කොණ්ඩෙට ආදරය කළ විශාල පිරිසක් හිටියා. ඒ අය ගොඩක් දුක් වුණා. හැබැයි එහෙම වෙන්න මට හේතු වුණේ මගේ ජිවිතේ කුඩා කාලයේ ඉඳන්ම මම අත්වින්ද දේ. මේ සියල්ල මගේ යූ ටියුබ් චැනල් එක හරහා මම කතා කරනවා. මානසිකව මම පුංචි කාලේ ඉඳලම පසුබෑමකට ලක්වුණු කෙනෙක්. මට 35 -40 වගේ හොඳම වයස් කාලය වෙනකම් මේ මානසික තත්වය බලපෑවා. මට ජිවිතේ විවාහය වගේ දේවල් වලදී වැරදුණු තැන් එක්ක මගේ ජිවිතේ කඩා වැටුණු කෙනෙක්. ජීවිතය එපා වෙලා ජීවිතය නැති කර ගන්න තැනට පවා මම ගියා.

මගේ ජිවිතේ වෙනස් වෙන්නේ එංගලන්තයේ ලැම්ඩා ආයතනයේ ඉගෙන ගන්න වාසනාව ලැබීමත් එක්ක. මම 1987 නව දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබුණාම මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා මොන රංග පාසලෙන්ද සිනමාව ගැන හැදෑරීමක් කළේ කියලා. මම කිව්වම එහෙම ඉගෙන ගෙන නැහැ අධ්‍යක්ෂවරයා කියූ දේ ඒ චරිතය තේරුම් ගෙන කළා පමණයි කියලා ඔවුන් විශ්වාස කළේ නැහැ. අදටත් රංගනය ගැන හදාරන්න නිසි තැන් නැති නිසා සමහර රංගනය උගන්වන තැන් වලට ගිහින් අමාරුවේ වැටුණු ජිවිත කොයි තරම් තියෙනවද? කෙටියෙන්ම කියනවා නම් සමහර අය කන්‍යාභාවය පවා පූජා කරලා තියෙනවා නිළියක් වෙන්න තියෙන ආසාවට. දැන් තියෙන කලාව සහ කලාකරුවන් ගැන කියද්දී පුදුම දුකක් ඇතිවෙන්නේ.

ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂ පෝල් කොක්ස්ගේ Island චිත්‍රපටයේ රඟපාන්න. ග්‍රීසියේ රූ ගත කිරීම් තිබ්බේ. මට විශාල මුදලක් ඒ වෙනුවෙන් ලැබුණා. ඒ නිසා මමයි මගේ දෙවන මහත්තයයි දුවයි අපි තුන්දෙනාම යුරෝපයේ සංචාරයක් ගියා. මගේ මහත්තයා මහීන් කියන්නේ ඇවිදින පුස්තකාලයක් වගේ දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. සිනමාවට අමතරව චිත්‍රශිල්පින් ගැන සංගීතවේදීන් ගැන දැනුම්වත් වුණේ එයාගෙන්. යුරෝපයේ කලාව තියෙන්නේ ඉහල තැනක. ඒ නිසා මට ආසවක් ආවා මේවා ඉගෙන ගන්න. ඊට පස්සේ මම ගියා ලැම්ඩා එකට. මම ඉතින් ඒ යද්දී සම්මාන සහතික අරන් ගියා. නමුත් එතනට ගන්නේ පරීක්ෂණයක් තියලා. 3600ක් වගේ හිටියා ඔක්කොම අවසානයේ 36 දෙනයි ගත්තේ ඒ අතරට මමත් තේරුණා. ඒ ගියාම තමා මම දැන ගත්තේ මෙච්චර කල් හුස්ම අරන් තියෙන්නේ වැරදියට කියලා. ස්වභාව ධර්මයට අනුව අපි සතා සිවුපාවුන් කුරුල්ලන් දිහා බැලුවොත් පේනවා ඒ අය කෑගහන්නේ බඩෙන්. ඒ කියන්නේ ශක්තිය ජනනය වෙන්නේ උදරයෙන්.

හුස්ම කියන්නේ ජිවිතේ මැජික් එක. මම මේ කතා කරන්නේ අධ්‍යාත්මික මාර්ගයෙන් ඉහළට යන කෙනෙක් කියන දෙයක් නෙවෙයි. මේ කියන්නේ මම ලෞකික ජිවිතේ හැලහැප්පීම් එක්ක යන ගමනේ ඉන්න ජිවිත ගැන. අපිට ජිවිතේ තියෙන ලොකුම දේ හුස්ම. කෙටියෙන්ම ජිවිතේ කියන්නේ ආශ්වාස සහ ප්‍රාශ්වාස අතර තියෙන කාලය. හුස්මක් අරන් පිට කරනකම් විතරයි අපි ජිවත් වෙන්නේ. අපි හුස්මක් අරන් පිටකරේ නැත්නම් ඒ ජිවිතේ ඉවරයි. ඔය දේ තුළ තියෙන වටිනාකම කි දෙනෙක් දැනගෙන තියෙනවද?  යෝග භාෂාවෙන් කියනවානම් කාලය අවකාශය කියන්නේ මායාවන්. මම එතනට යන්නේ නැහැ.

මම යූ ටියුබ් එක හරහා මේ දේ දැනුම්වත් කරන්න මුලික වුණේ මේ වෙද්දී විශිෂ්ඨ නළුවෙක් වෙන පුබුදු චතුරංග. පුබුදු කියන්නේ නළුවෙක් වෙන්න කලින් ඉඳලම මගේ හොඳ ගෝලයෙක්. දවසක් මට ජයන්ත ධර්මදාස මහතාගේ ගෙදරදී හමුවුණාම පුබුදු සහ මාෂි මට කිව්වා. මේ දැනුම අපරාදේ අපතේ යවන්නේ යූ ටියුබ් නාලිකාවක් කරන්න කියලා. මට ඒ වෙද්දී අඩුම මුහුණු පොතක් වත් නැහැ.වට්සැප් විතරයි තිබ්බේ. මම කිව්ව මම ඒවාට වැඩි කැමැත්තක් නැහැ කියලා. ඒත් මට පුබුදු උදාහරණ පවා පෙන්නුවා. කොහොම හරි ඕක ඔහොම කාලයත් එක්ක මගහැරිලා ගියා.

ඔය අතරේ කොරෝනා ආවා. මිනිස්සු සෑහෙන්න මට දුරකථන ඇමතුම් අරන් දුක කියන්න ගත්තා. වට්සැප් එක පිරෙන්න පණිවුඩ එනවා. මම හිස බූ ගාලා පැත්තකට වුණෙත් මාව අමතක වෙලා යයි කියලා. ජුලියට්ගේ භූමිකාව,යකඩ පිහාටු,පුරසක්මන වගේ නිර්මාණ එකතුවෙන් පස්සේ මම ප්‍රධාන චරිතයක් කළෙම නැහැනේ. හැබැයි මේ දවස් එක්ක කතා කරනවා නම් මිනිස්සු ඉන්නේ පුදුමාකාර ආතතියකින්. ආදායම් මාර්ග ඇහිරිලා එදා වේල හොයාගන්න අමාරු වුණු හිරවෙලා ඉන්න ජිවිත වලට වචනයකින් හරි අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම් කියලා මටත් හිතුණා.

මොකක් ද මේ ජිවිතේ. ඉපදිලා අපි මොනවද කරන්නේ. මොනවද අපි අවසානයේ අරගෙන යන්නේ. මේ වගේ ප්‍රශ්න පත්‍රයක් මටම ආවා. අද වගේ මානසික මට්ටමක් මට එදා තිබුණානම් මගේ චිත්ත වේග පවා පාලනය කර ගත්තා නම් ජිවිතේ බොහෝ තැන් නිවැරදි කර ගන්න තිබ්බා. ඒ ඒ නිසයි මම ලබපු අත්දැකීම් මේ බෙදා දෙන්නේ. මම ලබපු සහ මම ඉගෙන ගත්ත දේ එක්ක අනුෂා හිතනවද මට මේ කතාව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. මම ඊළඟ හුස්ම ගත්තේ නැත්නම් ඔයාට හැඬු කඳුලින් ලියන්න වෙන්නේ ඒ අවසානය නේද? ඒක වෙන්න පුළුවන්. ඒක තමා සත්‍යය.

අද මම මේ තැන ඉන්නේ මට ආදරය කරන අය නිසා. ඇඳුම් ටිකක් බැග් එකේ දාගෙන මොණරාගල ඉඳන් කොළඹ ආව කෙනෙක් මම. ඒ නිසා මග තොටදී පවා මුණගැසෙන අය දක්වන ආදරණිය සෙනහස එක්ක මට හිතුනා ඒ අය වෙනුවෙන් මා දන්නා දේ දෙන්න ඕනේ කියලා.ඒ වෙනුවෙන් තමා මේ යූ ටියුබ් නාලිකාව පටන් ගත්තේ. ඉතාම ආදරෙන් මම මතක් කරන්න අවස්ථාවක් කර ගන්නවා ජිවිතේ කියන්නේ මොකක් ද කියලා හොයා යන ගමනේ මා දන්නා අල්ප මාත්‍ර වූ දැනුම බෙදා ගන්න පටන් ගත්ත මේ “Breathe with Anoja”  යූ ටියුබ් නාලිකාව එක්ක එකතු වෙන්න. මොකද මේ පියවරෙන් පියවර තියෙන්නේ ජීවිතය ගැන. එක කොටසක්වත් මග හැර ගන්න එපා.

යූ ටියුබ් එකත් දැන් රැල්ලට යන මාධ්‍යක් වෙලා තියෙනවා. දේශපාලන හෝ කලාව තුල වේවා අනුන්ගේ දේවල් හොයන යූ ටියුබ් නාලිකා කොතරම් තියෙනවා ද? ඒ රැල්ලට යන මාධ්‍ය තුළ උඩුගම් බලා පිනීමක් තමයි මම කරන්නේ. ජිවිතේ හැමදාම කළෙත් ඒ දේ. මගේ මේ වසර 66ක ජීවිතය තුළ කොච්චර සුන්දර මිනිසුන් හමුවෙලා තියෙනවද? ජිවිත ජය ගත්ත මිනිස්සු ඉන්නවද ඇයි අපිට බැරි ඒ ගැන කතා කරන්න. කුණු රසයටම ඇයි වහල් වෙන්නේ. ඒ නිසා අනෙකුත් ඒවාට තරම් සබ්ස්ක්‍රයිබස්ල නැති වෙන්න පුළුවන්. මගේ වෑයම තමා අසුබවාදීව ජීවිතය දකින්න පුරුදු කරන එක නෙවෙයි, සුබවාදීව ජීවිතය දිනන්න පුරුදු කරන එක.

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. සිකුරාදා වෙනකම් බලාගෙන ඉන්න අය ඉන්නව. ඔය අතරේ මගේ දුරකථන අංකය සටහන් කරලා තියෙන නිසා මට වට්සැප් පණිවුඩ රාශියක් එනවා. ඔය අතරේ සිදුවෙන එක් වැරදි දෙයක් තමයි කිසිම දැනුම් දීමකින් තොරව මාව මුණගැහෙන්න හෝ මගෙන් උපදේශන බලාපොරොත්තුවෙන් පැමිණෙන අය ඉන්නවා. මම ඉතාම කාරුණිකව කියන්නේ යෝගා වැඩමුළුවක හෝ මම යෝගා වල නිරත වෙලා ඉන්න වෙලාවල් වල පැමිණෙන අය මුණගැහෙන්න බැරි වෙනවා. යෝගා කියන්නේ ප්‍රාණයක් එක්ක ගණුදෙනුවක්. ඒ නිසා හිතුන ගමන් නවත්තන්න බැහැ. ඇතැම් අය බැන බැන යනවා. හැබයි ඒ අය එන්නේ එන්න කලින් එන්නද කියලා අහලාවත් නෙවෙයි. තනි තනියම ප්‍රශ්න විසඳන්න කාලයක් නැහැ. ඒ නිසා පැමිණීම හෝ දුරකථන ඇමතුමක් දෙනවා වෙනුවට ඕනෙම ගැටළුවක් තියෙනවා නම් අදාල කොටස පහතින් සටහනක් තියන්න කාරුණික වන්න. එහෙම නත්නම් වට්සැප් පණිවුඩයක් තියන්න. එහෙම එවපු ඒවාට ඉදරි සතියකදී උත්තර වීඩියෝවක් මඟින්ම යොමු කරන්න සූදානම්.

මේ දේවල් ගැන අපි කතාබහ කරන අතරේ කොහොම නම් අනෝජා වීරසිංහ කියන රූපණවේදිනිය අමතක කරන්නද? ඒ නිසා සිනමාව ගැන ඉදිරියේදී රංගනයෙන් දකින්න ලැබේවිද යන්න ගැනත් කෙටි කතාබහක නිරත වුණා.

මම කිසිම කලෙක සිනමාවෙන් සමුගත්ත කියලා කිව්වේ නැහැ. මොකද මට ඕනේ වුණේ සිනමාවෙන් සමුගන්නනෙවෙයි මට මාව හොයා ගන්න ඕනේ වුණා. ඒ නිසා තාවකාලික විරාමයකට ගියා. ඒ විරාමයකට ගිය කාලයේ පවා ආරාධනා ලැබුණා. හැබැයි මම හිස බූ ගාලා නිසා ලැබුණේ මෙහෙණි චරිත පමණයි. ලංකාවේ හැටි ඒ එක චරිතයක් කළොත් දිගටම එවැනි චරිත ලැබෙන්නේ. මට එතනට යන්න ඕනේ නැහැ. චිත්‍රපටි එකසිය ගණනක රඟපාලා දෙස් විදෙස් සම්මාන 35කට අධික ගණනක් ලැබිලා තියෙනවා. මගේ ජිවිතේ බලාපොරොත්තු නොවූ විදියේ දේවල් මම ලබලා තියෙනවා ඉන්න ගේ තියෙනවා රෝද හතර කැරකෙන වාහනයක් තියෙනවා. එතනින් එහාට මට ලොකු හීන නැහැ.මම නැවත රංග කාර්යයකට එනවා නම් එන්නේ ඒ තුළ යම් දෙයක් කරන්න තියෙනවා නම් පමණමයි.නැත්නම් මම මෙතෙක් කරපු නිර්මාණ තුලින් තියෙන අතීත මතකයන් එක්ක ලැබෙන ප්‍රේක්ෂක ගෞරව ආදරය ඔහොම්මම තියෙන්න අරිනවා.

මම රඟපෑ සිරිමැදුර කියන්නේ පරාක්‍රම නිරිඇල්ලගේ පළමු නිර්මාණය. එතකොට ජුලියට්ගේ භූමිකාව කියන්නේ ජැක්සන් ඇන්තනිගේ පළමු අධ්‍යක්ෂණය එය නිෂ්පාදනය කළෙත් මම.ඒ නිසා නවක ද ජේෂ්ඨ ද කියන එකට වඩා ඔහු තුළ තියෙන දැක්ම තුලින් මම මගේ අත්දැකීම් එක්ක තේරුම් ගන්නවා දෙයක් කළ හැකිද කියන එක.නව පරපුරේ මම දක්ෂතා සපිරි චරිත මම දකිනවා. මගේ මේ යූ ටියුබ් වැඩේ අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්නේ නදීර සේනානායක කියන්නේ තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ දැක්ම ගැන මට ඇති වුණු පැහැදීම එක්ක තමා ඔහු මේ දේට මා එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම කැමරා අධ්‍යක්ෂවරයා විදියට චන්න දේශප්‍රිය තමයි කටයුතු කරන්නේ.  

මේ වෙද්දී මම වැඩි කාලයක් මේ අභින ආශ්‍රමය තුළ ගත කරනවා. ගෙදර තරමට පහසුකම් නොතිබුණත් සිතට දැනෙන සුවය ගැන කියන්න බැරි තරම්. මගේ මේ කාමරය ඉස්සරහ තියෙන නුග වර්ගයට අයත් ගහක්. මේකේ අතු හරි දිගයි. බැල්කනි එකට ආවම මේ අතු අල්ලන්න පුළුවන්. මම ඒ අතු එක්ක කතා කරනවා. තද සුළඟක් එහෙම එද්දී මම අතු අතගාලා කියලා යනවා පරිස්සමෙන් ඔයා අද හරි ලස්සනයි කියලා. අපි එහෙම ස්වභාව දහම එක්ක කතා කරන්න ඕනේ. සමහර අය නම් කියයි අනෝජට පිස්සු ගස් එක්ක කතා කරනවා කියලා. ස්වභාව දහමේ විශ්වයේ කොටස් අපි කියන එක තේරුම් ගන්නේ නැහැ. ගොඩක් අය මේ විකාර ලෝකයේ මායා ලෝකයේ නට නටා ඉන්නවා. ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ. ඕක තමා අවසානයට මට කියන්න තියෙන්නේ.

  • අනුෂා රණසිංහ 

Directed by: Channa Deshapriya Director of photography: Channa Deshapriya Theme Music by: Gayathri Khemadasa Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe Makeup: Varuni Alponso Editor/Colorist: Striner Macklain Adams/Asanka Wickramasiri Recordist: Striner Macklain Adams Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd Coordinate by Mindup TV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *