මේ ටිකේ එළියට බැස්සොත් මොකද වෙන්නේ… Contagion

සාස්, කුරුලු උණ, චිකුන්ගුන්‍යා, එච් වන් එන් වන් වගේ නම් අපිට ඉස්සර විදෙස් පුවත් වල තවත් එක නිව්ස් එකක් විතරයි. එහෙමත් නැත්තං විදුසර පත්තරේ ආටිකල් එකක්. විභාගෙකට අහයි කියන බයට ඒ ගැන හෙවුවොත් මිසක් එතනින් එහාට අපි ඒක ගැන හොයන්න යන්නෑ. නමුත් දැන් තත්ත්වේ වෙනස්. කොවිඩ් නයින්ටීන් අපේ ගෙදර ළඟටම ඇවිත් තියෙන්නේ. මං මත්තේගොඩ නිසා, පළවෙනි රෝගියා මත්තේගොඩින් වාර්තා වුණු නිසා මට උපමාවක් විදිහට නැතුව නියමාර්ථයෙන්ම කියන්න පුළුවන්, ඔව්, අපේ ගෙදර ළඟටම කොවිඩ් නයින්ටීන් ඇවිත් තියෙන්නේ කියලා. ලෝකයම දණ ගහලා තියෙන්නේ. ව’ල්ඩ් එන්ජින් එකෙන් තුනෙන් එකක් නැවතිලා තියෙන්නේ. මක්කම කියන්නේ දැන් පිට්ටනියක් මැද පෙට්ටියක් විතරයි. වෙරෝනාව දැන් කොරෝනාව නිසා විසාලා මහනුවරක් වෙලා. ලෝකයේ කාර්යබහුලම නගරය නිව්යෝක්, අද බලු බල්ලෙක්වත් පාරක පේන්නේ නැතුව බිල්ඩිං ගොඩක් විතරක් ඉතුරු වෙලා. නමුත් අපේ බහුතරයකට තාමත් මේ ග්ලෝබල් පැන්ඩෙමික් එකේ බරපතලකම තේරෙන්නේ නැති පාටයි. ඒ නිසයි මේ මොහොතේ ලෝකයම ආපහු හොයාගෙන බලන්න පටන්ගෙන තියෙන ‘Contagion’ ෆිල්ම් එක අපිත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.

හොංකොං වල බිස්නස් ට්‍රිප් එකකට යන බෙත් කියලා කාන්තාවක් රිට’න් ට්‍රිප් එක එද්දී චිකාගෝ වලින් ගොඩබහිනවා පරණ ලව් එකක් එක්ක කොටු පනින සීන් එකකට. ඊට පස්සේ තමන්ගේ ගෙදරට ඇවිත් දවස් දෙකක් යද්දී ඇඟපත අමාරුවක් ඇවිල්ලා ෆිට් එකක් වගේ හැදෙන තත්ත්වයකට එනවා. ඉස්පිරිතාලෙට අරන් ගියාට පස්සේ හේතුවක් කියන්න බැරි විදිහට බෙත් නැතිවෙනවා. එයාගේ මහත්තයා මිච් ට හිතාගන්න බෑ මොකද්ද වුණේ කියලා. ආපහු ගෙදර එද්දී මිච්ගේ පොඩි පුතාත් උණ වැඩිවෙලා කටෙන් පෙණ දාගෙන නැතිවෙලා. ඉස්පිරිතාලෙන් මිච්ව ඉක්මනට අයිසලේට් කරලා ට්‍රීට්මන්ට්ස් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වෛරස් එකට ඔරොත්තු දෙන්න තරම් මිච්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍යසම්පන්න නිසා එයාට මේක වැළඳෙන්නේ නෑ. ඒක නං මං හිතන්නේ මුළු ෆිල්ම් එකම ලොකු ට්‍රැජඩියක් වටේ ගොඩනැඟෙන හින්දා කතාවේ මේන් ප්ලොට් එකේ ඉන්න මේන් කැරැක්ට’ එක ස්ථාවරව තිබ්බේ නැත්තම් කතාව හදන්න අමාරු වෙයි කියලා හිතලා එයාව නිරෝගී කේන්ද්‍රය කරගෙන ඒ වටා ප්ලොට් එක ලියන නිසා වෙන්න ඕනේ. එතනින් එහාට දිගඇරෙන්නේ එහෙම්පිටින්ම බය හිතෙන සිද්ධි සීරීස් එකක්. ඒක මේ දවස්වල බලද්දී වැඩිපුර බය හිතෙනවා අනිවාර්යයයි.

මේ ෆිල්ම් එක හදන්න ඉන්ස්පය’ වෙන්නේ 2009/2010 කාලේ ආව වෛරස් අවුට්බ්‍රේක් එක. සූකර උණ, කුරුළු උණ වගේ දේවල්. අපි මොනතරම් දියුණු වුණත් ගෝලීය වසංගතයකට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථාවකදී හැමෝම අසරණ වෙන විදිහ පෙන්නන්න ‘කන්ටේජන්’ ගත්ත උත්සාහය ඉතාම සාර්ථකයි. වෛරස් එකක්, ගංවතුරක්, නාය යෑමක්, සුළි කුණාටුවක්, සුනාමියක්, මොන යම් හෝ ආපදාවක් නිසා අපෝකලිප්ස් එකක් ඇතිවුණොත් මිනිස්සුන්ව බෙදන සමාජ ස්ථර සවිමත් වෙලා වැඩියෙන් දැනෙන්න ගන්න හැටි, සමාජ සම්මතයන් තුනී වෙලා මිනිස්සු වනගත ආකල්ප වලට යන හැටි, ඒවා ඉබේම නොදැනීම ඇතිවෙන හැටි ‘කන්ටේජන්’ ඔස්සේ හරියටම ඉදිරිපත් කරනවා. පරිසරය අපි හැමෝටම එකම හැන්දෙන් බෙදුවට, ඒක හොඳ කරගන්න බෙහෙත් හොයද්දී සමාජ ස්ථර ටික වෙනදාට වඩා ඉස්මතු වෙලා ඇති හැකි අය මුලින්ම වැක්සීන් එක අරගෙන කොහොමත් ගොඩ යන හැටි, ක්‍රමයෙන් පහළට ස්ථර එද්දී ඒ අවස්ථා හීන වෙන හැටි, ඒ නිසාම එක එක කණ්ඩායම් පෝලිම් පැනලා, බලවන්තයාව කිඩ්නැප් කරලා, අපිටත් අවස්ථාව දෙන්න කියලා ඩිමාන්ඩ් කරලා, තව එක දවසක් හරි නිරෝගීව ජීවත් වෙන්න, හුස්ම ගන්න උත්සාහ කරන හැටි, ශිෂ්ඨාචාරය කඩාගෙන වනචාරියා එළියට එන හැටි, ලෙඩ වුණු මිනිස්සු වෙනුවෙන් තමන් ගැනවත් නොහිතා වෙහෙසිලා අන්තිමට තමනුත් ඒ ලෙඩේ ගොදුරක් වෙලා වෛද්‍ය නිලධාරියෝ මියැදෙන හැටි, මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන් දේවල් සියල්ලම වගේ හැම අතින්ම නැරේටිව්ස් කිහිපයක් දාලා ලස්සනට කව’ කරන්න ‘කන්ටේජන්’ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ‘මේට්‍රික්ස්’ හදපු වැකොව්ස්කිලාගේ ‘ක්ලෞඩ් ඇට්ලස්’, විජේ සේදුපති ඉන්න ‘සුප’ ඩිලක්ස්’ වගේ පැය තුනකට කිට්ටු ලොකු රන්ටයිම් එකක් තියෙන අමුතු ෆිල්ම්ස් දෙකේ මේ විදිහට මල්ටි නැරෙටිව්, ඒත් එකිනෙකට ලින්ක් වුණු ප්ලොට් එකක් දිගහරින විදිහ මට මතක් වෙනවා.

ෆිල්ම් එකට ඉන්න බරසාර කාස්ට් එකෙන් වැඩේට තව වටිනාකමක් එනවා. ලෝරන්ස් ෆිෂ්බ’න්, කේට් වින්ස්ලට්, මැට් ඩැමන්, ග්වෙනෙත් පැල්ට්‍රෝ , ජූඩ් ලෝ, මැරියන් කොචීයා, බ්‍රයන් ක්‍රැන්ස්ටන් වගේ ඉන්න ඕන හොඳම අය දාලා මේ වැඩේ සාර්ථක කරන්න ෆිල්ම් එකේ අධ්‍යක්ෂ ස්ටීවන් සොඩබ’ග් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක වෛද්‍ය කටයුතු පෙන්නන ආකාරය හොඳ අධ්‍යයනයකින් පෙළගස්වලා තියෙනවා. කේට් වින්ස්ලට් නිරූපණය කරන එරීන් කියන බුද්ධි නිලධාරී වෛද්‍ය චරිතය වෙනුවෙන් ඇට්ලැන්ටා වල තියෙන එපිඩෙමික් ඉන්ටෙලිජන්ස් ස’විස් එකට ගිහින් බයෝහැසාඩ් එකක් ගැන හොයන බුද්ධි නිලධාරී වෛද්‍යවරුන්ගේ හැසිරීම් රටා පවා රිස’ච් කරන්න කේට් වෙහෙසිලා තියෙනවා.

මේ ෆිල්ම් එකේ ඉන්න ඉන්ට්‍රෙස්ටිං කැරැක්ට’ එක තමයි ජූඩ් ලෝ නිරූපණය කරන ඇලන් ක්‍රම්වීඩි කියන බ්ලොග’. එයා තමයි තමන්ගේ ‘ටෘත් සීරම් නව්’ කියන බ්ලොග් එකෙන් මේ අමුතු වෛරස් එකෙන් ෆිට් එකක් හැදිලා නැතිවෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් දාලා මුලින්ම මහජනයාට වැඩේ පත්තු කරන්නේ. නමුත් ඊට පස්සේ එයා ඒක තමන්ගේ ආදායම් මාර්ගයක් කරගන්න ෆේක් නිව්ස් පතුරවන වැඩකට හරවගන්නවා. ෆෝසීතියා ගත්තාම ලෙඩේ හොඳවෙනවා කියලා, එයා වෛරස් එකෙන් ගොඩ ආවේ එහෙමයි කියලා සමාජයට බොරුවක් යවනවා. ඒක පුද්ගලික වාසියක් තකා සිද්ධ වෙන දෙයක්. මේ මොහොතේ සෝෂල් මීඩියා වලින් අපි ඒ දේ දකිනවා. ගිය අවුරුද්දේ බුද්ධි අංශේ හිටපු මාමලා බාප්පලා ආපහු මතු වෙන්න ගන්නවා. වට්සැප් එකෙන්, මෙසෙන්ජ එකෙන් ඒ අය මිනිස්සුන්ව හොයාගෙන යනවා. කම්වීඩිගේ බ්ලොග් එක රීච් හදාගත්තා වගේ අපේත් එහෙම රීච් හදාගන්න පිරිසක් පේන්න ඉන්නවා.
මැලේරියාවට දෙන හයිඩ්‍රොක්සික්ලෝරකීන් කොරෝනා වලට හරි යයිද කියලා පරීක්ෂණ සිද්ධ වෙනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා. ඒක අහලා හයිඩ්‍රොක්සික්ලෝරකීන් ඕවඩෝස් කරගෙන මනුස්සයෙක් මැරෙනවා. ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන් කියලා දැන් හෙළි කරනවා. අපේ රටෙත් කොරෝනා වලට බෙහෙත් හොයාගෙන එක එක වෙද්දු මතුවෙනවා. වෛරසය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද යන්න ජ්‍යොතිෂයෙන් විස්තර කෙරෙනවා. පදනම් විරහිතව කියන දේවල් වලට වඩා හරිම තොරතුරු අරගෙන පළ කරන්න මාධ්‍ය ක්‍රියා කළේ නැත්නම් මේ පැන්ඩෙමික් එක නවත්තනවා බොරු.

අපිට තාමත් මේකේ බරපතලකම තේරෙන්නේ නෑ. මේ ලියන මොහොතේදී ලංකාවේ කොරෝනා වැළඳුණු රෝගී සංඛ්‍යාව 142ක්. වෛද්‍යවරු පුන පුනා කියනවා ඉදිරි දින වල තමයි අවදානම් කාලය එන්නේ කියලා. ඒත් අපිට මේක දැනෙන්නේ නෑ. ඒ නිසා මේ මොහොතේ චැනල් වලින් යටගිය සොඳුරු මතක අවුස්සනවා වගේම, යක්කු ගස් නඟින වෙලාවට නැතුව, දවාලක මේ ‘කන්ටේජන්’ ෆිල්ම් එක පෙන්නනවා නම්, දවසක් ඇර දවසක් වත් පෙන්නන්න පුළුවන් නම් වටිනවා. එහෙමවත් මේ පැන්ඩෙමික් එකේ බරපතලකම අපේ මිනිස්සුන්ට ඉන්ජෙක්ට් කරන්න බලමු.

-ෂෙනාල් ගුණසේකර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *