අවුරුදු සියය පැන්න අපේ පැරැණිතම සිනමා ව්‍යාපාරය

සරසවිය – මැයි 2, 2019
අරුණ ගුණරත්න

හිතුවක්කාර ගැටවරයෙකු වූ හෑන්ස් වැන් ද මේයර් ඇම්ස්ටර්ඩෑම් නගරයෙන් ඕලන්ද වෙළෙඳ නැවකට ගොඩ වනුයේ නාවිකයකු හැටියටය. ඔහුගේ නෞකාව මුහුද මැද දී අනතුරකට පත් වෙයි. මුහුදේ පාවී දිවි ගලවා ගන්නා ඔහු නොදැනුවත්වම පැමිණ ඇත්තේ ලංකාවේ වෙරළට ය. ඒ දෙවැනි රාජසිංහ රජ දවසයි. ඉතාම ත්‍රාසජනක මේ වෘත්තාන්තය ඇතුළත් වනුයේ ආර්.එල්.ස්පිට්ල් විසින් රචනා කරන ලද එඩඥපඥ බඩඥ ඹඩඪබඥ ඵචථඡභප පධචථඵ නම් නවකතාවේය. එය මට කියවන්නට ලැබුණේ ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව සුදු ගෝනා නමිනි. ළමා වියේ දී මට කියවන්නට ලැබුණු මේ අපූරු නවකතාව අදටත් මට වචනයක් පාසා මතකය. ලංකාවේ අතරමං වන හෑන්ස් මෙන්ම එය ලියන දොස්තර ආර්.එල්.ස්පිට්ල් ද ශත වර්ෂ කිහිපයකට පෙරාතුව සිට මෙරට ජීවත් වූ ඕලන්ද සම්භවයෙන් යුක්ත අය වූහ.

1640 වසරේ මාර්තු 13 වැනි දින විලියම් කොස්ටර් ගේ සිට ඉංග්‍රීසින් විසින් මුහුදු බඩ අත් පත් කර ගත් 1796 වසරේ පෙබරවාරි 16 වැනි දින ජෝහාන් එංගල්බීක් දක්වා ඕලන්ද ආණ්ඩුකාර සමය ඇතුළත මෙරට සමාජයට ලැබුණු බොහෝ දායාද එමටය. එම සියවසකට අධික කාලය ඇතුළත මෙරට පදිංචි වූ ඕලන්ද ජාතිකයෝ සමහරු එයින් පසුවද මෙරට රැඳී සිටිමින් නියම ලාංකිකයෝ බවට පත්වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් විවිධ කෙෂත්‍රයන්ගෙන් මෙරට විශිෂ්ටයන් බවට ද පත්වූහ. විසි වැනි සියවසේ නව කලා ප්‍රබෝධයේ පුරෝගාමියකු වන ලයනල් වෙන්ඩ්ට්, සුප්‍රකට ලේඛක මයිකල් ඔන්ඩච්චි, නාට්‍යවේදී ලුඩොවයික් , චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට්, ගෘහ නිර්මාණ ශිල්පී ඈෂ්ලි ඩිවොස්, දේශපාලඥයකු වූ පීටර් කෙනමන් මේ අතරින් සමහරෙකි.

පසුගිය සති කිහිපය ඇතුළත අපි ලාංකික සිනමා ඉතිහාස ගවේෂණයේ හෙළි දරව් කරන ලද මෙරට පමණක් නොව ඉන්දියානු සිනමාවේ ද ව්‍යාපාරය ගොඩ නැංවීමේ පුරෝගාමීවූ මදන් තියටර්ස් ලිම්ටඩ් ඉතිහාස කතාව ගෙන හැර පෑවෙමු. මෙරට සිනමා ඉතිහාසය සොයා යන කතාවේ අපේ මීළඟ අවධානය යොමුවනුයේ මෙරට ඇති පැරණිතම ලාංකේය සිනමා සමාගම කෙරෙහිය. නැතහොත් එහි හිමිකාරත්වය දරන පවුල වෙතටය. මෙරට සිනමා කෙෂත්‍රයේ සියවස ඉක්මවා ව්‍යාපාරයේ යෙදෙන පවුලක් වෙතැයි සිතීම එක් ආකාරයට විශ්වාස කළ නොහැකි තරම්ය.

එක් කාරණයක් වනුයේ ඉතිහාසගත කරුණු කාරණා ස්ථිර කිරීමට ඇති සාධක හිඟවීමය. එහෙත් නොඅනුමානවම එය මෙරට දැනටත් සිනමා ව්‍යාපාරයේ නියැළෙන පැරණිතම පවුලක් බව නම් සහතිකය. ඉතිහාසයට අනුව සිනමා කර්මාන්තයේ ඔවුන්ගේ දායකත්වයට වසර සියවස ඉක්මවා ඇත. ඔවුන් දිගු කලක්ම සිනමා කෙෂත්‍රයේ රැඳෙනුයේ ප්‍රදර්ශකයන් හැටියටය. මේ සියවසටම ඔවුන් දේශීය චිත්‍රපට නිපදවනුයේ දෙකක් පමණකි. ආනයනය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව ද සංඛ්‍යාත්මකව එතරම් විශාල නැත.

සියවසක් රැඳී සිටිය ද ඔවුන් මුල්වරට චිත්‍රපටයක් නිපදවූයේ 2007 වසෙර්ය. එය එම වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපට අතරින් දෙවැනි ස්ථානයට පත් විය. එමෙන්ම සරසවිය ඇතුළු සම්මාන උලෙළ රාශියකින් ඔවුන්ගේ මුල්ම චිත්‍රපටය සම්මාන රැසක් දිනා ගත්තේය. ඔවුන්ගේ මුල්ම චිත්‍රපටය අදටත් අල්ලලා යන ජාතියේ චිත්‍රපටයක් වන සිකුරු හතේය. දෙවැන්න පසු ගිය වසරේ තැනුණු පහ සමත් චිත්‍රපටයයි. මේ වූකලී ඉම්පීරියල් සිනමා සමාගමේ ඉතිහාසයයි. එහි නිර්මාතෘවරුන් වන වැන් ස්ටාරෙක්ස් පවුලේ වගතුගයි.

මෙරට සිනමා ඉතිහාසය ලියද්දී එහි දැනට නියැළෙන පැරණිතම නිෂ්පාදන සමාගම හා දේශිය සිනමා ව්‍යාපාරය ගොඩ නැඟූ පුරෝගාමී සිනමා සමාගම ලෙස ගෞරවය හිමිවනුයේ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමටය. එය අවිවාදාත්මකය. 1939 වසරේ දී මදන් අධිරාජ්‍යය බිඳ වැටෙද්දී ඔවුන් සතු සියලු දේපල මිලයට ගනු ලබනුයේ ද ඒ වන විට අවුරුදු දහයක් යාන්තම් ඉක්මවූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමය. ඔවුන් විසින් ගොඩ නගන ලද කොළඹ රීගල් මන්දිරය අදටත් මෙරට සිනමාහල් අතර ක්‍රියාත්මක පැරණිතම සිනමාහල යි. එමෙන්ම එය රූපශ්‍රීය අතින් ද තවමත් ගම්භීර බැව් කිවයුතු නොවේ.

එසේ නම් ඉම්පීරියල් සමාගම එයටත් වඩා පැරැණි වනුයේ කෙලෙස ද ? එහි ලා විශාලතම සාක්ෂිය නම් කොළඹ රීගල් සිනමාහල ආරම්භයේ භාවිත කරන ලද ප්‍රක්ෂේපණ යන්ත්‍රය සිලෝන් තියටර්ස් සමාගම මිලයට ගෙන තිබෙනුයේ ඉම්පීරියල් තියටර්ස් වෙතින් වීමය. මේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය නැවත පසුකලෙක මිලයට ගන්නා ඉම්පීරියල් වරු එය ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කොට ඇත්තේ සිය ඉතිහාසය කියන්නටය.

සිනමාව ආරම්භයේ එමගින් වාසනාව උරගා බලන්නට ලොව නන්දෙසින් සිනමා ප්‍රදර්ශකයෝ විවිධ රටවල ගම් නියම් ගම් සොයා ගියහ. ඒ සංචාරක සිනමා ප්‍රදර්ශකයන් හැටියටය. 1910 වසරේ පමණ මෙරටට පැමිණි එක්තරා පෝලන්ත ජාතිකයෙක් ලාංකික තරුණයකු වන හෑන්ස් ඇන්ඩ්‍රියස් වැන් ස්ටාරෙක්ස් නම් උද්යොගීමත් තරුණයෙකු සිය ව්‍යාපාරයේ සහායකු ලෙස එකතු කර ගත්තේය. 1894 වසරේ මාතලේ කයිකාවල දී උපන් හෑන්ස් ඇන්ඩ්‍රියස් මෙරට වතු වැවිලි පවුලක සාමාජිකයකු විය. මෙරට වතු වැවිලි ඉතිහාසය විමසා බලද්දී වැන් ස්ටාරෙක්ස් බ්‍රදර්ස් නමින් වතු කිහිපයක් ද සඳහන් වෙයි. මාතලේ ක්‍රිස්ටල් හිල් සහ එරමිනිය වතු අයත්ව තිබුණේ වැන් ස්ටාරෙක්ස් පවුලටය. එමෙන්ම හැටන් ප්‍රදේශයේ හැරිංටන් ඇන්ඩ් ආගයිල් එස්ටේට් ද වැන් ස්ටාරෙක්ස් පවුලට අයත් විය.

මෙරට තේ වතු ව්‍යාපාරය මුල් යුගයේ පවතින්නේ ඉංග්‍රීසීන් අතය. පසුකලක එක්වන දේශිය වතු ව්‍යාපාරිකයන් අතර ඕලන්ද සම්භවය සහිත වතු ව්‍යාපාරිකයන් හමුවන්නේ අල්පයකි. එබැවින් වැන් ස්ටාරෙක්ස් පවුල එහි විශේෂ අගයක් ගනියි. මේ පවුලේ සෙසු සාමාජිකයෝ අදට ද වැල්ලවත්තේ ඇලෙක්සැන්ඩ්‍රා හා චාල්ස්ටන් පෙදෙසේ පෙදෙසේ උරුමක්කාරයෝ වෙති. එකල මෙම ඉඩම් සාරවත් පොල් වගාවෙන් යුක්ත විය. වැන් ස්ටාරෙක්ස් පවුල සම්ප්‍රදායික වැවිලි ව්‍යාපාරයේ නියැළුණ වග විශ්වාස කළ හැකිය. ඒ ඕලන්ද යුගයේ පටන්මය.

වැන් ස්ටාරෙක්ස් පවුලේ හෑන්ස් ඇන්ඩ්‍රියස් තරුණයා සිය සම්ප්‍රදායික ජීවන වෘත්තියෙන් බැහැරව නූතන ලෝකය හා එක්ව සම්බන්ධ වනුයේ පෝලන්ත ජාතිකයා සමග ජංගම චලන චිත්‍රපට ප්‍රදර්ශනයට අත තැබීමෙනි. මෙකී පෝලන්ත ජාතිකයා සිය සමාගම නම් කරනුයේ ඉම්පීරියල් ටුවරින් සිනමා නමින්ය. ඒ වන විට හෑන්ස් අවුරුදු විස්ස නොඉක්මවූ තරුණයකු බව පෙනී යයි. පෝලන්ත ජාතිකයා ට 1915 වසරේ මෙරටින් පිට වන්නට සිදුවනුයේ පළමුවන ලෝක මහා සංග්‍රාමය සමගය. ඔහු මෙරටින් නික්ම යනුයේ හෑන්ස් ඇන්ඩ්‍රියස්ට සිය ශිල්පය මනාව උගන්වමිනි. පෝලන්ත ජාතිකයා ගේ ව්‍යාපාරයට නව පණක් දෙන හෑන්ස් එතැන් පටන් ගම් දනව් සිසාරා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පටන් ගත්තේය.

ඉම්පීරියල් නමින් ඉන්දියානු සිනමා සමාගමක් ද අතීතයේ පැවතිණ. මෙම සමාගම් දෙක ඉතිහාසයේ පවතිනුයේ සමකාලින සමාගම් ලෙසය. ඉන්දියානු ඉම්පීරියල් සමාගම මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය නිපදවීමේ ගෞරවය පසුකලක දිනා ගන්නා අර්දේශර් එම්.අයිරානිගේ සහායක අබ්දුලාලි යූසුෆාලිට අයත්ය. මුම්බායි නගරයේ මැජස්ටික් සිනමාහල පිහිටුවා ලන අබ්දුලාලි ද මුලින් ජංගම චිත්‍රපට ප්‍රදර්ශකයකු වූ නමුදු ඔහු කිසි කලක ලංකාවට පැමිණි වගක් පළ නොවෙයි.

ඔහු චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදෙනුයේ නැගෙනහිර ආසියානු රටවලය. එබැවින් මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයට එක්වූ ඉම්පීරියල් ටුවරිංග් සිනමා කම්පනි දේශීය සමාගමක් විය. එය 1930 වසරේ දී කතානාද සිනමාව පැමිනීමත් සමග හෑන්ස් ඇන්ඩ්‍රියන් විසින් සමාගම නවීකරණය කරනුයේ අභිනව ඉම්පීරියල් කතානාද චිත්‍රපට සමාගම ලෙස හඳුන්වාලමින්ය. ඒ දවස්වල ලිපි ශීර්ෂ එහෙමය. එය දැන් ජනප්‍රිය ව ඇත්තේ නිව් ඉම්පීරියල් ටෝකිස් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *